(මනෝප්‍රිය ගුණසේකර)

කොළඹ විශ්ව විද්‍යාලයේ ඇතැම් විභාගවලට ඉදිරිපත් වන සිසුන් මුදලට සමත් කරන බවට හා ඩිප්ලෝමා පාඨමාලාවන් සම්බන්ධ විභාග වලදී විශ්ව විද්‍යාල බලධාරීන් විවිධ අක්‍රමිකතාවයන් කරන බවට එම විශ්ව විද්‍යාලයේ කළමණාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව හදාරණ සිසුන් අල්ලස් කොමිසමට පැමිණීලි කර ඇත.

සමහර ආචාර්යවරුන් ඔවුන්ට හිතවත් සිසුන්ට විභාගයට පෙර විභාගයට එන ප්‍රශ්න හෙළි කරන බවටද සමහර ආචාර්යවරුන් මුදල් ලබාගෙන ලකුණු දී ඇති බවටද පැමිණීලි කරන සිසුන් ආචාරවරුන්ගේ උවමනාවන්ට අනුගත නොවන සිසුන් විභාග අසමත් කර ඔවුන්ගෙන් පළි ගැනීමට ක්‍රියා කරන බවටද චෝදනා කරති.

විභාග සඳහා සම්මත ක්‍රමවේද, කණ්ඩායම් ව්‍යාපෘති, ලකුණු දීමේ සම්මත ක්‍රමවේද, විශ්ව විද්‍යාල පාඨමාලාවන් සඳහා ඇති සම්මත ක්‍රමවේද, සියල්ල ඇතැම් ආචාරවරුන්ගේ උවමනාවන් මත උල්ලංඝණය කර ඇති බවටද විභාග සඳහා පෙනී සිටි ඇතැම් සිසුන් විභාග අසමත් කිරීමෙන් පසු ඒ පිළිබඳ ප්‍රශ්ණ කිරීමේදී අසමත් කළ සිසුන් යළි සමත් කරමින් ප්‍රථිපල ලේඛණ නිකුත් කර ඇති බවටද චෝදනා කරන සිසුන් ඒ සම්බන්ධයෙන් කළ පැමිණීලි විභාග කිරීමකින් තොරව උපාධි ප්‍රදානය කිරීමටද විශ්ව විද්‍යාල බලධාරීන් කටයුතු කරමින් සිටින බවටද පැමිණීලි කර ඇත.

විශ්ව විද්‍යාල බලධාරීන්ගේ මෙම ක්‍රියාකලාපය අල්ලස් පනත යටතේ වරදවල් බව පෙන්වා දෙන සිසුන් කොළඹ විශ්ව විද්‍යාලයේ ඩිප්ලෝමා පාඨමාලාවන්ගේ ගුණාත්මකභාවය ආරක්‍ෂා කිරීමට කටයුතු කරන ලෙසත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසත් අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටී.