(යොහාන් භාසුර)

ජීවන වියදම ඉහළ යෑමට එරෙහිව ‘ජීවන බර දරන්න බෑ’ යන තේමාව යටතේ ‘ජන අරගල ව්‍යාපාරය‘ කොළඹදී අද (25) පස්වරුවේ පැවැත්වූ විරෝධතාව අතරතුරදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්වයක් ඇතිවිය.

‘බඩු මිල, විදුලි බිල, ඉන්ධන මිල සහ බදු බර වහා අඩුකරනු’ යන ප්‍රධාන ඉල්ලීම් වෙනුවෙන් මෙම විරෝධතාව පැවැත්විණි.

මරදාන ටෙක්නිකල් හංදියේ සිට විරෝධතාකරුවන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැමිණ විරෝධය දක්වා ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පාගමනින් යෑමට උත්සාහ කිරීමත් සමග පොලිසිය බාධා කළේය.

එහිදී විරෝධතාකරුවන් පොලිස් අණ නොතකා ඉදිරියට යෑමට උත්සාහ කිරීම නිසා තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්දන ඒකකය මැදිහත්වීමත් සමඟ කළහකාරී තත්වයක් ඇතිවිය. විරෝධතාකරුවන් කැරලි මර්දන ඒකකය ද නොතකමින් ඉදිරියට ගිය ද ලෝක වෙළෙඳ මාධ්‍යස්ථානයෙන් එහාට යෑමට පොලිසියෙන් අවස්ථාව හිමිනොවීය.

‘ජන අරගල ව්‍යාපාරයේ‘ ප්‍රධානීන් ලෝක වෙළෙඳ මාධ්‍යස්ථානයේ සිට ජනතාව ඇමතීමෙන් පසුව විරෝධතාකරුවෝ විසිර ගියහ.

ඡායාරූපය: සුමුදු හේවාපතිරණ