උපුල් වික්‍රමසිංහ

සමාජ මාධ්‍යවල සහ අන්තර්ජාලයෙහි සංසරණය වන සරාගී, ප්‍රචණ්ඩ සහ වෙනස්කම් කොට සලකනු ලබන ඒකාකාර අන්තර්ගතවලට නිතර නිරාවරණය වීමෙන් ළමයින් තමන් ගැන සහ බාහිර සමාජය ගැන ඒවා මගින් තේරුම් ගැනීමට පෙලඹෙන බව The Digital Choices Shaping our Children’s health නමින් නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වේ.

සමාජ මාධ්‍ය, අන්තර්ජාල ක්‍රීඩාවල සිට කෘත්‍රිම බුද්ධිය දක්වා වන ඩිජිටල් පරිසරය මහජන සෞඛ්‍යයේ ප්‍රබල නිර්ණායක බවට පත්ව ඇති බවත් ළමයින් සහ යෞවනයන් ඒවායෙන් වැඩිමනත් බලපෑමට ලක්වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

සමාජ මාධ්‍ය, අන්තර්ජාල ක්‍රීඩා සහ කෘත්‍රිම බුද්ධිය භාවිතයට ඇබ්බැහිවීමෙන් පුද්ගලයන්ගේ තනිකම වර්ධනය වීම සහ පුද්ගල සබඳතා බිඳවැටීම සිදුවන බව ද ඒවා අඛණ්ඩව භාවිත කිරීම මගින් ව්‍යායාමයෙන් තොර නින්ද සීමා වූ දිවිපෙවෙතකට අනුගතවීමට සිදුවන බව ද හෙළි කරන එම වාර්තාව, එයින් බෝ නොවන රෝග වැලඳීමේ අවදානමක් ඇති බවත් කියයි.

අන්තර්ජාල ලිංගික සූරාකෑම් හා අපයෝජන ගෝලීය වශයෙන් ඉහළ ගොස් ඇති බව කියන එම වාර්තාව, කෘත්‍රිම බුද්ධිය යෙදවුම් මගින් සකස් කරන ලද ලිංගික අපයෝජන ඡායාරූප, අසභ්‍ය ලිංගික අන්තර්ගත හේතුවෙන් ළමා ලිංගික අපයෝජනවල ද ශීඝ්‍ර ඉහළ යෑමක් පෙන්නුම් කරන බව සඳහන් කරයි. මේවායෙන් මානසික සෞඛ්‍ය, විශ්වාසය සහ ආරක්ෂිතභාවය පිළිබඳ දිගුකාලීන ප්‍රතිවිපාක ඇති කරනු ලබන බව ද එහි දැක්වේ.

අධික ලෙස අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය වෙත නිරාවරණය වීමෙන් කාංසාව, විෂාදය, නින්ද අඩුවීම සහ වැඩි වශයෙන් කේන්තියෑම වැනි තත්ත්ව උද්ගත විය හැකි බවත් එහි උපරිම මට්ටමට ගිය විට සිය දිවි නසාගැනීම් පවා සිදුවිය හැකි බවත් එම වාර්තාව කියයි.

මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් මේ වෙනවිට දරුවන්ට සමාජ මාධ්‍ය හා අන්තර්ජාල භාවිතය සඳහා සීමා පනවා ඇති බවත් තවත් රටවල් කිහිපයක් ඒ වෙනුවෙන් නීති පනවමින් සිටින බවත් කියන එම වාර්තාව, එම ආරක්ෂිත පියවරවලට සහාය දීමක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඊට අදාළ පර්‌යේෂණ සිදුකරන බව ද අවශ්‍ය තාක්ෂණික සහාය රටවලට ලබාදෙන බව ද සඳහන් කරයි.