සුජිත් හේවාජුලිගේ

කොළඹ නගරයේ දැවැන්ත ඇමති බංගලා විසිපහෙන් 16ක් සඳහා ඉදිරි සතියේ දී විවෘත ආයෝජන යෝජනා කැඳවීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් “ඉරිදා ලංකාදීප”යට පැවසීය.

මේ සඳහා කැබිනට් මණ්ඩලයේ ද අනුමැතිය ලැබී ඇත.

කොළඹ ඇමති බංගලා 25ක් වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ වසා දමා පවතී. මින් 16 ක් ආර්ථික වශයෙන් ඵලදායි ව්‍යාපෘතිවලටද නවයක් නිවාස සහ තානාපති කාර්යාලවලට ද කල්බදු (ලීසිං) පහසුකම් යටතේ ලබාදීමට අපේක්ෂා කෙරේ.

සමහර ඇමති බංගලා පිහිටි ප්‍රදේශ ආයෝජන ව්‍යාපෘති සඳහා නොගැලපෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඒවා නිවාස සහ තානාපති කාර්යාල සහ වෙනත් කාර්යාල සඳහා වෙන් කිරීමට රජය තීරණය කර ඇත.

ඇමති බංගලා වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ වසා දැමීම හේතුවෙන් ඒවා ජරාවාස වෙමින් පවතින බව වාර්තා වේ.

ඇමැති බංගලා තුනක් විශේෂ අධිකරණ පිහිටුවීමට ද, එක් ඇමති බංගලාවක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ද  පසුගිය කාලයේ දී භාර දෙනු ලැබීය.

ඇමැති බංගලා කිසිවක් තම රජයේ ඇමැතිවරුන්ගේ පාවිච්චියට නොයොදන බවට ජාතික ජන බලවේග රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.