වත්කම් බැරකම් නීතියත් බලවත් වෙයි   

සුජිත් හේවාජුලිගේ

පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත වූ දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතෙන් අල්ලස හා දූෂණ පිටුදැකීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අලු‍ත් හයියක් ලැබෙන බව එහි නිලධාරීහු පවසති.

2023 අංක 9 දරන මුල් දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීමේදී මතු වූ ප්‍රායෝගික, පරිපාලනමය සහ තාක්ෂණික ගැටලු‍ රැසක්ද  මෙමගින් නිරාකරණය වන බවද ඔවුහු කියති.

මූලික පනතේ සිංහල සහ ඉංග්‍රීසි පාඨ (Texts) අතර පැවති නොගැළපීම් සහ අර්ථ නිරූපණය සම්බන්ධ නීතිමය ගැටලු‍ නිරාකරණය කිරීමද මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් (Centralized Electronic System) මගින් අදාළ පාර්ශ්වයන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ   ගැනීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම සහ විධිමත් කිරීමද පනත් කෙටුම්පතෙන් සිදුවේ.

තවද ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනවලට අනුව, මාධ්‍ය සමාගම්වල හිමිකරුවන්, සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ගේ වත්කම් බැරකම් ඉදිරිපත් කිරීමට අදාළ වගන්ති මෙන්ම වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කරන අයකු සමඟ මාස 6කට වඩා එකට වෙසෙන අයගේ වත්කම් ප්‍රසිද්ධ කිරීම පිළිබඳ නීතිමය රාමුව පැහැදිලි කිරීමද දූෂණ වැරදි සම්බන්ධයෙන්   කරන විමර්ශන ක්‍රියාවලීන් සහ නඩු පැවරීමේ කටයුතු ප්‍රමාදයකින් තොරව කඩිනම් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සැලසීමද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නිලධාරී මණ්ඩලයේ සහ කොමිෂන් සභාවේ පරිපාලන ව්‍යුහය වඩාත් ස්වාධීන සහ ශක්තිමත් ආයතනික රාමුවක් බවට පත් කිරීමද මෙම සංශෝධන පනතින් කෙරෙනු ඇත  

මෙම සමස්ත සංශෝධනවල මූලික අරමුණ වන්නේ මෙරට දූෂණ විරෝධී නීතිය වඩාත් විනිවිදභාවයකින්, වගකීමකින් සහ ප්‍රායෝගිකව ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට මඟ පාදාගැනීම බව රජය පවසයි.   

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත ඉකුත් (08) වැනිදා පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව  සම්මත විය.