සුජිත් හේවාජුලිගේ

යාපනයේ ගුවන්තොටුපොළ වෙනුවෙන් පවරා ගැනුණු ඉඩම් වෙනුවෙන් ඒවායේ හිමිකරුවන්ට අදාළ වන්දි මුදලට අමතරව මානුෂීය  දීමනාවක්ද අතීතයට බලපාන පරිදි ගෙවීමට කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පැවසීය.

අදාළ ඇස්තමේන්තු සකස් කිරීම අවසන්වූ පසු, ඉඩම් පවරා ගැනීමේ ගැසට් නිවේදනය නිකුත් කළ දින සිට මෙම දීමනා ගෙවීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

උතුරේ ඉඩම් සම්බන්ධයෙන් මේ දිනවල සමාලෝචනයක් කරගෙන යන බවත් උතුරේ ඉඩම් ගැටලු‍ නිරාකරණය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුකමිටුවක්ද පත්කර ඇති බවත් අමාත්‍යවරයා කීවේය.

යුද ගැටුම් සමයේදී ආරක්ෂක අංශ අත්පත් කරගත් ඉඩම් බහුතරයක් නැවත පවරා දී ඇති බවත් ඉඩම් සමාලෝචනයෙන් පසු ජනතාවගේ සෙසු ඉඩම් ද පවරාදීමට කටයුතු කරන බවත් විජිත හේරත් පැවසීය.

ආරක්ෂක අංශ භාරයේ තවමත් පවතින බොහෝ ප්‍රදේශවලටද ජනතාවට ප්‍රවේශ වීමට අවස්ථාව සලසා ඇති බව ඔහු වැඩිදුරටත් කීවේය.