ශ්‍රී ලංකා ජනරජය හිවුණේ මෙහෙමයි


1972 මැයි 22 වැනිදා මෙරට සම්පූර්ණයෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස් වී, සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් බවට පත්වූ බව බොහෝ දෙනකුට අද අමතකව ඇත.   


හැත්තෑව සමගි පෙරමුණ ආණ්ඩුව සමයේ ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්කිරීමට ප්‍රමුඛත්වය ගත්තේ ලංකා සමසමාජ පක්ෂය විසිනි.   


හැත්තෑ දෙකේ මැයි විසි දෙක සිට එය ජනරජ නිවාඩු දිනයක්ව පැවැතුණි. නමුත් හැත්තෑ අටේදී එම නිවාඩු දිනය අවලංගු කෙරුණි.   


එක්දහස් නවසිය තිස්හහේදී එන්. එම්. පෙරේරා ඇතුළු නායකයන් ලංකා සමසමාජ පක්ෂය පිහිටුවා ගැනීමේ මූලික අභිප්‍රාය වූයේ ද ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයෙන් නිදහස් කරගැනීමය.   
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, ලංකා කොමියුනිස්ට් පක්ෂය එක්ව 1968 දී මහනුවර බෝගම්බර පිටියේදී සමගි පෙරමුණක් වශයෙන් අත්සන් කළ කරුණු විසිහතක් ඇතුළත්ව තිබූ ලියවිල්ලෙන් නව ආණ්ඩුක්‍රම සංස්ථාවක් මගින් බ්‍රිතාන්‍යයෙන් සම්පූර්ණයෙන් නිදහස් වූ ජන රජයක් බිහිකළ යුතුය යන්න ඇතුළත්ව තිබුණි.   

 

ජනරජ ගීතයක් සඳහා රජය පත්කළ කමිටුවකින් ගීත රචකයන් වෙත ඇරියුම් කෙරුණි. කිසිදු සාර්ථක පබැදුමක් නොලැබුණි. පසුව ඒ සඳහා රටේ ප්‍රකට ගීත රචකයන්ට ද ආරාධනා කෙරුණි. එහිදී තෝරා ගැනුණේ මහගමසේකරයන් පබැඳූ ‘රත්න දීප ජන්ම භූමි’ ගීතයය. නමුත් සංස්කෘතික අමත්‍යංශයේ ඉහළම තැන්වලින් පවසා සිටියේ, එම ගීතයේ ජනරජ ව්‍යවස්ථාව ගැන කිසිවක් නැති බවය. “එහෙම නම් ජනරජ ව්‍යවස්ථාවට තනුවක් දාගෙන කියන්න” පිළිතුරු දුන් මහගමසේකර එතැනින් පිටවී ගිය බව ද ප්‍රකට කතාවකි.


1948 ලංකාවට ලැබුණු නිදහස හැඳින්වූයේ ඩොමීනියන් තත්ත්වයේ ලැබුණ නිදහසක් ලෙසය. එම ඩොමීනියන් තත්ත්වය යටතේ ලංකාවේ රාජ්‍ය නායකයා වූයේ, බ්‍රිතාන්‍යයේ කිරුළ හිස දරාගත් රජු හෝ රැජින වූ අතර ඔහුගේ හෝ ඇයගේ මෙරට නියෝජිතයා ලෙස ආණ්ඩුකාරවරයා කටයුතු කළේය. මේ අනුව ලංකාවේ නීතිමය කරුණු පිළිබඳව ඉහළම බලය තිබුණේ ප්‍රිවි කවුන්සිලයටය.   


ලංකා රාජ්‍යයේ නායකයා රැජින හෝ රජු වූ නිසා, ලංකා රජයට විරුද්ධව සිදුකරනු ලබන කුමන්ත්‍රණයක් හඳුන්වනු ලැබූයේ ද රජු හෝ රැජිනගේ ආණ්ඩුවට විරුද්ධව සිදුකරනු ලබන කුමන්ත්‍රණයක් ලෙසය.   
1962 ජනවාරි 24 වැනිදා යුද හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් පිරිසක් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය සිරභාරයට ගෙන, රාජ්‍ය බලය ලබාගැනීම සඳහා සිදුකළ අසාර්ථක කුමන්ත්‍රණයේදී ඔවුනට චෝදනා නැඟුණේ මහ රැජිනගේ රජයට විරුද්ධව සිදුකළ කුමන්ත්‍රණයක් ලෙසය. එම කුමන්ත්‍රණය පිළිබඳව මෙරට සිදුකරන ලද ක්‍රියාවලියේදී ඔවුහු වරදකරුවන් වූහ. නමුත් මේ පිළිබඳව අභියාචනයක් බ්‍රිතාන්‍ය​යේ ප්‍රිවි කවුන්සිලයට ඉදිරිපත් කරන ලද අතර එහිදී ඔවුන් නිදොස් කරන තීන්දුවක් ලැබිණ.   


හැට දෙකේ මෙම අසාර්ථක කුමන්ත්‍රණයට එවකට අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලකගේ ද නම ඈඳී තිබුණි.   


එහි අවසාන ප්‍රතිඵලය ලෙස 1962 පෙබරවාරි 26 වැනිදා මැදියම් රැයේ සිරිමාවෝ අගමැතිනිය වෙතින් නිවේදනයක් නිකුත් විය. එංගලන්තයේ මහ රැජිනගේ ලංකා ආණ්ඩුව විසින් යෝජනා කරන පරිදි, සර් ඔලිවර් ගුණතිලකගෙන් පසුව, ලංකාවේ අග්‍රාණ්ඩුකාරයා ලෙස විලියම් ගොපල්ලව පත්කිරීමට එංගලන්තයේ මහ රැජිනගේ කාරුණික එකඟත්වය පළවී ඇති බව එම නිවේදනයේ සඳහන් විය. එම පත්වීම 1962 මාර්තු 20 වැනිදා සිට වලංගු බව ද එම නිවේදනයේ සඳහන් විය. මෙහි විශේෂ්වය වන්නේ එම වේලාවටම බකිංහැම් මාලිගය විසින් ද එයාකාර නිවේදනයක් නිකුත් කරනු ලැබීමය. 

 
ඩොමීනියන් තත්ත්වය යටතේ ලංකාවේ පරිපාලන කටයුතු සිදු කෙරුණේ එලෙසින්ය.   
සෑම හමුදා, පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමෙහි බ්‍රිතාන්‍ය රාජ්‍ය ලාංඡනය අනිවාර්ය විය. යුද හමුදා නිලධාරියකු නිල ඇඳුමෙන් සැරැසී සිටී නම් තද වැස්සකදීවත් හිසට ඉහළින් කුඩයක් ඔසවාගෙන සිටීම තහනම් විය. එය බ්‍රිතාන්‍ය රාජ්‍යත්වය සංකේතවත් කළ ඔටුන්නට සිදුකරන අගෞරවයක් ලෙස සැලකුණි.   
හැත්තෑවේ මැතිවරණයෙන් සමගි පෙරමුණට, තුනෙන් දෙකක බලයක් සහිත රජයක් පිහිටුවීමට අවස්ථාව ලැබුණි.   


ඔවුන්ගේ මැතිවරණ සටනේ ප්‍රථම සහ ප්‍රධානම පොරොන්දුව වූයේ, ලංකාව බ්‍රිතාන්‍යයෙන් සම්පූර්ණයෙන් නිදහස් ජනරජයක් බවට පත්කීරීමට නීති සකස් කරන බවය.   


එනිසා සමගි පෙරමුණ රජයේ ප්‍රථම ප්‍රයත්නය වූයේ ජනරජ ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමය. එයට සහායක් ලෙස කලින් එකඟ කරගත් පරිදි ව්‍යවස්ථා කටයුතු පිළිබඳ ඇමැති ධුරයට නීති විශාරදයකු වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා පත්කෙරුණි. එම අමාත්‍යාංශ ලේකම් ධුරයට පත් කෙරුණේ ප්‍රකට නීතිවේදියකු වූ නොයෙල් තිත්තවැල්ල ය. එසේම ජනරජයක් බවට පත් කිරීමේදී අවශ්‍ය කටයුතු කිරීම සඳහා මූලික විය. එහි අමාත්‍යවරයා වූයේ එස්. එස්. ද කුලතිලක ය. ලේකම්වරයා වූයේ එවකට කීර්තිමත් පරිපාලන නිලධාරියකු වූ නිශ්ශංක විජේරත්න ය.   

 


එක්දහස් නවසිය හැත්තෑවේ ජුලි 19 වැනිදා කොළඹ රාජකීය විද්‍යාල නව රඟහලේදී සියලුම මන්ත්‍රීවරුන් රැස්වූයේ ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ වැඩකටයුතු සඳහා මුලපිරීමටය. මෙහිදී කතා කළ ව්‍යවස්ථා සම්පාදන අමාත්‍යය, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා පැවැසුවේ, රැස්වීම පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව තෝරා නොගෙන අලුත් නිවෙසකට ගොඩවැදුණේ අලුත් දෙයක් නිර්මාණය කිරීමේ අදහසින් බවය.   
කොළඹ රාජකීය විදුහලේ නව රඟහලේ රැස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ව්‍යවස්ථාදායක සභාවක් ලෙස කටයුතු කරමින් ජනරජ ව්‍යවස්ථා සම්මත කරගන්නා ලදී.   


පිරිත් සජ්ඣායනා මධ්‍යයේ 1972 මැයි 22 වැනිදා දහවල් 12.43ට යෙදී තිබුණ සුබ මොහොතින්, කොළඹ රාජකීය විද්‍යාලයේ නව රඟහලේදීම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ප්‍රථම අගමැතිනිය ලෙස දිවුරුම් දුන්නීය.


ලංකාව ජනරජයක් බවට පත්වීමත් සමඟ සිදු වූ සුවිශේෂ පරිවර්තනයන් බොහෝය. බ්‍රිතාන්‍ය පාලන සමයේ 1948-1972 දක්වා මෙරට හැඳින්වූයේ ‘සිලෝන්’ නැති නම් ‘ලංකාව’ නමිනි. ජනරජයක් බවට පත්වීමත් සමඟ අපේ රට ‘ශ්‍රී ලංකාව’ බවට පත්විය.   


1972 වසරට පෙර මන්ත්‍රීවරුන් මෙන්ම හමුදා ප්‍රධානීන්, වෙනත් අමාත්‍යාංශ, ආයතන ප්‍රධානීන් දිවුරුම් දුන්නේ මහ රැජිනට පක්ෂපාත වන බවය. නව ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසු සියලු දෙනාම දිවුරුම් දුන්නේ ශ්‍රී ලංකා ජනරජයට පක්ෂපාතව සිටින බවය.   

 

එක්දහස් නවසිය තිස්හතේදී එන්. එම්. පෙරේරා ඇතුළු නායකයන් ලංකා සමසමාජ පක්ෂය පිහිටුවා ගැනීමේ මූලික අභිප්‍රාය වූයේ ද ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයෙන් නිදහස් කරගැනීමය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, ලංකා කොමියුනිස්ට් පක්ෂය එක්ව 1968 දී මහනුවර බෝගම්බර පිටියේදී සමගි පෙරමුණක් වශයෙන් අත්සන් කළ කරුණු විසිහතක් ඇතුළත්ව තිබූ ලියවිල්ලෙන් නව ආණ්ඩුක්‍රම සංස්ථාවක් මගින් බ්‍රිතාන්‍යයෙන් සම්පූර්ණයෙන් නිදහස් වූ ජන රජයක් බිහිකළ යුතුය යන්න ඇතුළත්ව තිබුණි. 


කිසියම් නඩුවක අභියාචනය සඳහා ප්‍රිවි කවුන්සිලයට යොමු කිරීම වෙනුවට උපරිමාධිකරණය වෙත අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව උදා වූයේ 1972 මැයි 22 වැනිදායින් පසුවය.   


නව ව්‍යවස්ථාව සම්මත වීමත් සමඟ ලංකාව, සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් යනුවෙන් හැඳින්වෙන්නට වූ අතර, එම ව්‍යවස්ථාව මඟින් මෙරට ඒකීය රාජ්‍යයක් බවට පත්කෙරුණි. බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙමින් බුද්ධාගම ආරක්ෂා කිරීම සඳහා රජය බැඳී සිටින බව එහි සඳහන් විය. 1956 එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක රජයෙන්, සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වූ වග ප්‍රකාශ කළත්, සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස ව්‍යවස්ථාවට ඇතුළු වූයේ හැත්තෑ දෙකේ ජනරජ ව්‍යවස්ථාවෙන්ය.


සෝල්බරී ව්‍යවස්ථාව යටතේ පැවැති සෙනෙට් මණ්ඩලය අහෝස් වූ අතර, එක ව්‍යවස්ථාදායකත්වයක් බිහිවෙමින්, එය ජාතික රාජ්‍ය සභාව යනුවෙන් හැඳින්වෙන්නට විය. පසු කලෙක එය, පාර්ලිමේන්තුව, ව්‍යවස්ථාදායකය යනුවෙන් වෙනස් විය.   

 

අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව සහ අගමැතිනි සිරිමාවෝ

 


හැත්තෑ දෙකේ ජනරජ ව්‍යවස්ථාව යටතේ මෙරට, රැජිනගේ නියෝජිකත්වය අහෝසිව ගොස් ආණ්ඩුකාරයා වෙනුවට නාමික ජනාධිපතිවරයකු පත් කරන ලදී. එලෙස පත්වූ ප්‍රථමයා විලියම් ගොපල්ලව ය.   
ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වූ විට ජාතික කොඩියේ මුලු හතරේ නියම බෝපත් පෙනුම ලැබෙන සේ වෙනස් කළ අතර, 1972 මැයි 22 වැනිදා ජනරජ දින උත්සවයේදී මෙම සංශෝධිත කොඩිය ඔසවන ලදී.   
1948ට පෙර අප බ්‍රිතාන්‍ය රාජ්‍ය ලාංඡනය භාවිත කළ අතර, 1948 සිට 1972 දක්වා භාවිත කළේ පලාපෙති සහිත වෘත්තයක් තුළ සිංහයා සිටින අතර එහි මුදුනෙහි ඔටුන්නක් ද පහතින් ලංකා යන්න සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවන්ගෙන් සඳහන් විය.   


1972 මැයි 22 වැනිදා ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් පසුව, එතෙක් පැවැති රාජ්‍ය ලාංඡනය වෙනුවට ජනරජ ලාංඡනයක් සකස් කෙරුණි. මෙය සකස් කිරීමේ කමිටුව වශයෙන් කටයුතු කළේ, එවකට සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්ව සිටි නිශ්ශංක විජේරත්න, මහාචාර්ය නන්දදේව විජේසේකර, සෙනරත් පරණවිතාන, එම්. ආර්. ප්‍රේමරත්න, රෝලන්ඩ් සිල්වා, මැකී රත්වත්තෙ ඇතුළු පිරිසකි. 

 
එම ජනරජ සංකේතයේ මැද සිංහයා වටා පලාපෙති මෝස්තරයකි. මෙම චක්‍රය දරා සිටින්නේ පුන්කලසකි. පුන්කලසෙන් විහිදෙන වී කරල් දෙකකි. පුන්කලසේ දකුණු පස ඉරත්, වම් පස හඳත් දැක්වෙයි. ප්‍රධාන චක්‍රය මුදුනේ කුඩා චක්‍රය ඇතුළත ධර්ම චක්‍රය දක්නට ලැබෙයි. 

 
එම කාලයේ ජනරජ ගීතයක් සඳහා රජය පත්කළ කමිටුවකින් ගීත රචකයන් වෙත ඇරියුම් කෙරුණි. කිසිදු සාර්ථක පබැදුමක් නොලැබුණි. පසුව ඒ සඳහා රටේ ප්‍රකට ගීත රචකයන්ට ද ආරාධනා කෙරුණි. එහිදී තෝරා ගැනුණේ මහගමසේකරයන් පබැඳූ ‘රත්න දීප ජන්ම භූමි’ ගීතයය. නමුත් සංස්කෘතික අමාත්‍යාංශයේ ඉහළම තැන්වලින් පවසා සිටියේ, එම ගීතයේ ජනරජ ව්‍යවස්ථාව ගැන කිසිවක් නැති බවය.   


“එහෙම නම් ජනරජ ව්‍යවස්ථාවට තනුවක් දාගෙන කියන්න” පිළිතුරු දුන් මහගමසේකර එතැනින් පිටවී ගිය බව ද ප්‍රකට කතාවකි.   


ඒ සමගම ජනරජ ගීතය ද ලත් තැනම ලොප්ව ගියේය.  


එදා ජනරජ ගීතයක් ගැන කල්පනා කළ ද අද ද ජනරජ ගීතයක් නැත්තේ, ජනරජ ව්‍යවස්ථාවට තනුවක් දමාගන්නට බැරි වූ නිසා විය හැක.   

 

 

පීටර් කැනියුට් පෙරේරා