විජය-මාලනී යළි තිරයට එක් කළ ‘මිහිදුම් සිහින’


 

 

මීට වසර 34කට පෙර අප අතරින් වෙන්ව ගිය එච්.ආර්. ජෝතිපාලයන්ට සිටි රසිකයන් ප්‍රමාණය සැලකීමේදී එයට තරගයක් දිය හැක්කේ විජය කුමාරතුංගයන්ට පමණය.  


ඔවුන්ගේ අවමඟුල් උත්සව සඳහා පැමිණි ජනතාවගෙන් එය මනාව පැහැදිලි වෙයි.  
විජයගේ මරණය දේශපාලන ඝාතනයකි. විජයගේ රසිකයෝ මෙන්ම ඔහුගේ දේශපාලන අනුගාමිකයෝ ද එදා ඊට සහභාගි වූහ.  


ජෝතිපාලයන්ට දේශපාලනයක් තිබුණ ද ඔහුට දේශපාලන අනුගාමිකයන් සිටියා යයි කිව නොහැකිය. ඒ නිසා මේ රසිකයන් සැලකීමේදී වෙනසක් දැකිය හැකිය.  
ජෝතිට ලංකාව පුරාම මිතුරෝ සිටියහ. එක් වරක් හඳුනාගත් කෙනකුට ජෝති සදාකාලික මිතුරෙක් වෙයි. ඒ ජෝතිගේ හැටිය. අප තරු ගුණය ලෙස හඳුන්වන්නේ ද එයයි.  
මේ අතරින් විශේෂයෙන් ජෝතිටත් නළු නිළියන්ටත් දැඩි ලෙස ඇළුම් කළ ව්‍යාපාරිකයෙක් මස්කෙළිය ප්‍රදේශයේ සිටියේය.  


ජෝති මස්කෙළිය ප්‍රදේශයට ගියොත් මේ මිතුරා දැක ගන්නට යෑමට අමතක කළේ නැත. එම නිවෙසේ නවතින්නට අමතක කළේ නැත.  
ජෝති ‘සුමිතුරෝ’ චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට පටන් ගත්තේ ද මේ මිතුරාගේ නොමඳ අනුග්‍රහයත් සමගය.  
මේ නිසා ජෝති ‘සුමිතුරෝ’ චිත්‍රපටයේ ගී තනු නිර්මාණය කිරීම සඳහා සරත් දසනායකයන් ද කැටුව යන්නේ මස්කෙළියටය.  
කඳුකරයේ අපරිමිත සුවය පිරි මස්කෙළිය ප්‍රදේශය ඔවුන් තෝරා ගන්නේ, එය කොළඹ ගෙවන කලබලකාරී ජීවිතය මඳකට අමතක කරන්නටත් එක්කය.  


කඳුකරයේ සීතල ඔවුන් වඩාත්ම ප්‍රිය කරන විනෝදාංශයටත් අපූරුය.  
ජෝතිලා මධුවිතට ප්‍රිය නොකළා යයි කිවහොත් එය මුසාවකි. එය එකල බොහෝ කලාකරුවෝ ප්‍රිය කළහ.  
ජෝතිගේ ජනප්‍රියත්වය කොපමණ ද යත් මධුවිත සඳහා බොහෝ විටෙක මත්පැන්හල්වලින් ජෝතිගෙන් මුදල් ගත්තේ ද නැත.  


දවසක් ජෝති හා සරත් ‘සුමිතුරෝ’ ගී තනු නිර්මාණය සඳහා නැවතී සිටි නිවසේ අපූරු ඡායාරූපයක් බිත්තියේ එල්ලා තිබිණ. ඔවුන් නැවතී සිටි දින කිහිපයේම ​මේ සුන්දර ඡායාරූපය දසේගේ සිතේ කිසියම් හැඟීමක් ඇති කළේය.  
“මස්කෙළිය හරියට කාශ්මීරය වගේ. ඒ තරමට ලස්සනයි. අපි බොහෝ වෙලාවට මස්කෙළිය ප්‍රදේශයේ කඳු දිය ඇලි දැක ගන්න ඇවිද්දා. 
අපි නැවතී සිටි කාමරයේ තිබුණ අහිකුණ්ඨික කෙල්ලකගේ පින්තූරයක් මොකක්දෝ දුක්බර හැඟීමක් මගේ හිතේ ඇති කළා.  


“කඳුකරය පසුබිම් කරගෙන අහිකුණ්ඨික කෙල්ලක් මුල් කරගෙන ආදර කතාවක් මගේ හිතේ ඇති වෙන්න පටන් ගත්තා.”  
“කොළඹට පැමිණි මම මේ කතාව දයා විමලවීරට කිව්වා. එහිදී දයාත් මගේ මිත්‍රයකු වූ පී.ඇම්. ජිනදාසත් මේ කතාවෙන් චිත්‍රපටයක් කරමුයි කීවා.”
සරත් දසනායක ප්‍රථම වරට නිෂ්පාදනය කළ ‘මිහිදුම් සිහින’ චිත්‍රපටය ගැන 1979 ජුලි මාසයේ මා සමග කීවේ එසේය.  


ඊට සති කිහිපයකට පසු සෝමවීර සේනානායක හමු වූ සරත් දසනායක තමාගේ සිතට නැගුණු එම කතාව තිරකතාවක් ලෙස සකස් කරන්නට කීවේය.  
“දයාත්, මමත්, සෝමෙත්, උපාලි ධනවලවිතානත් මේ කතා සාරාංශයත් හිතේ තියාගෙන ආපසු මස්කෙළියට ගියේ තිරකතාවට පසුබිම් විය යුතු ස්ථාන බලන්නයි.”
දසේ එදා මා සමග කියන විට ​මේ සියලුම දෙනා ජීවතුන් අතර සිටියත් දයා, ​සෝමේ, උපාලි හෝ දසේ අද ජීවතුන් අතර නැත.  


මීට පෙර ‘සත්වැනි දවස’ නමින් සෝමවීර සේනානායක ලියූ චිත්‍ර කතාවක් සිනමාවට නැගෙමින් තිබිණි. එයද අහිකුණ්ඨික ජනතාවගේ චරිත රැගත් කතාවකි. එහි අහිකුණ්ඨික තරුණියගේ චරිතය රඟපෑවේ මාලනී ෆොන්සේකාය. එහි සින්දු කඩේ මහත්තයා ලෙස විජය කුමාරතුංග මාලනීට හරියටම ගැළපුණ ද එකල මාලනී විජය එකට රඟ නොපෑමේ ප්‍රතිපත්තිය මත එය කළ හැකි නොවීය.  
ඒ සඳහා මුලින්ම තෝරා ගැනුණේ රවීන්ද්‍ර රන්දෙණිය ය. ‘සත්වැනි දවස’ට රවීගේ හා මාලනීගේ ආදර ජවනිකා කිහිපයක් රූගත කළ ද පසුව එය වෙනස් වී රවී අබ්බඩාගේ චරිතයට (රැහේ නායක) වඩාත් කැමැත්තක් දැක්වීම නිසා ඔහු ඒ චරිතය රඟපෑවේය. සින්දු කඩේ මහත්තයා චරිතයට ආවේ සනත් ගුණතිලකය. ‘සත්වැනි දවස’ වර්ණ චිත්‍රපටයක් වූ අතර, ‘මිහිදුම් සිහින’ නිෂ්පාදනය කිරීමට අදහස් කළේ කළු සුදු වර්ණයෙනි.  
දයා විමලවීරගේ අධ්‍යක්ෂණය මෙන්ම ඔහුගේ කැමරාකරණය ඉතා සුමටය. ඔහුගේ රූප රාමු ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරවන්නකි. මේ නිසා අපේ ‘මිහිදුම් සිහින’ චිත්‍රපටය අධ්‍යක්ෂණය මෙන්ම කැමරාකරණය ද දයා විමලවීරට බාර දුන්නේය. ඔහු සිංහල සිනමාවේ ආරම්භක යුගයේ සිනමාකරුවකු වූ සිරිසේන විමලවීරයන්ගේ පුතාය.  

 

 

 

සංචාරක ගෝත්‍රික පිරිසක් වන අහිකුණ්ඨිකයෝ තම ජීවනෝපාය සලසා ගන්නට ලංකාව පුරාම ඇවිදිති. ඒ සඳහා ඔවුනට ඕනෑම තැනක තාවකාලිකව පදිංචි වීම සඳහා අවශ්‍ය දෑ ඇත.  
කූඩාරම් හදා ගැනීමට අවශ්‍ය තල් කොළ, ඒවා ඔසවාගෙ යෑම සඳහා අවශ්‍ය බූරුවන් පමණක් ​​නොව තම ජීවනෝපාය සඳහා අවශ්‍ය නාගයන්, රිළව් ආදී සතුන් ද ඔවුහු මේ ගමන්වලදී රැගෙන යති.  
අහිකුණ්ඨිකයන් පිළිබඳ කතාවක් රැගත් චිත්‍රපටයක් නිපදවීමේදී මේ සියල්ල රැගෙන දර්ශන තලවලට යා යුතුයි.  


එය තරමක් දුෂ්කර කාර්යයකි.


“මේ සඳහා අවශ්‍ය අහිකුණ්ඨිකයන් පිරිසක් සමග ඔවුන්ගේ සතුන්, ආම්පන්න අමාරුවෙන් හොයාගෙන අපි මස්කෙළිය බලා පිටත් වෙන්න කතා කරගත්තා.” දසේ ‘මිහිදුම් සිහින’ ගැන එදා කී කතාවයි ඒ.  
දසේ කොහොමටත් හිත හොඳ දක්ෂ සංගීත අධ්‍යක්ෂවරයෙකි. ඔහු චිත්‍රපටයක් නිපදවන බව දැන ගත් විට එකල ජනප්‍රිය කලාකරුවන් වූ විජය කුමාරතුංග, මාලනී ෆොන්සේකා, රෝයි ද සිල්වා, සුමනා අමරසිංහ පමණක් නොව​ ජෝති, ඇන්ජි, ලතා, මිල්ටන් මල්ලවාරච්චි, චන්ද්‍රිකා සිරිවර්ධන මෙන්ම සහෝදර වාදන ශිල්පීහු ද ඔහුට උදව් කරන්නට පොරොන්දු වූහ.  
ඔහු ලද විශාල ජයග්‍රහණය වූයේ එකල චිත්‍රපටවල එකට රඟ නොපෑමට තීරණය කර සිටි විජය - මාලනී ‘මිහිදුම් සිහින’ චිත්‍රපටයෙන් එකතු කරගන්නට දසේට හැකි වීමය. එය කොතරම් ආකාරයේ ගැළපීමක් ද වැටහෙන්නේ එහි ජවනිකා දකින විටය.  


“විජය - මාලනී එකට රඟපාන්නෙ නෑ කියලා නේද කිව්වෙ.” මම එදා සරත් දසනායකගෙන් ඇසුවෙමි.  
“ඔව්, ඒ වුණාට මම කතා කළාම දෙන්නා එකට රඟපාන්න කැමැති වුණා.” එදා දසේ කීවේ ජයග්‍රාහී ලීලාවෙනි.  
මෙම ගෝත්‍රික කණ්ඩායම් සිරිපාද සමයට මස්කෙළිය ප්‍රදේශයට ද එති. එහිදී ද ඔවුහු සාස්තර කියමින්, නයි හා රිළවුන් නටවමින් තම වේල සරි කරගනිති.  
කඳුකර පෙදෙසකට එන අහිකුණ්ඨික කණ්ඩායමක රූමත් තරුණියක වන වීණාත් (මාලනී), වතු අයිතිකරුවකු වන විජිතත් (විජය) ඇයට ආදරය කරන රැහේම සින්නා (රෝයි ද සිල්වා) වටා මේ කතාව ගෙතී යයි. විජිතගේ ආදර බලාපොරොත්තුවෙන් සිටින්නේ රාජිනී (සුමනා අමරසිංහ)ය. එය අනුවේදනීය කතාන්දරයකි.  


මේ කතාව තිරයට ගෙන ඒම සඳහා සීතල පරිසරයක විශාල දුෂ්කරතාවලට ලක්වන්නට රූපගත කිරීම් කණ්ඩායමට සිදු විය.  
කොළඹ සිට පෙට්ටිවල දමා රැගෙන ආ නාගයන් කිහිප දෙනකුම සීතල උහුලා ගැනීමට නොහැකිව මිය යෑම එක් ගැටලුවකි.  


“රාත්‍රියේ පෙට්ටිවල දමා වසන නාගයන් උදේට මියගිහින් වගේ සිටිනවා. ඒ නිසා හැමදාම උදේට ​මේ නයින් අව්වට තබා උණුසුම් කරන්නට සිදු වුණා. රූපගත කර ආපසු කොළඹට එන විට මේ නාගයන්ගෙන් වැඩි කොටසක් මිය ගිහින් තිබුණා.”
එදා සරත් දසනායක කීවේය.  


බූරුවන් මෙල්ල කිරීම ද ලෙහෙසි පහසු වූවක් නොවීය. කැමරා කෝණයට අවශ්‍ය වන පරිදි සූදානම් කර සිටින බූරුවෝ ඇතැම් අවස්ථාවලදී හිටි ගමන්ම කැමරා ආම්පන්න ද පෙරළාගෙන දුවන්නට පටන් ගනිති.  
පින්තූරයක් නිසා දසේගේ සිතේ ඉපදුණු ‘මිහිදුම් සිහින’ කළු සුදු චිත්‍රපටය තිරගත වූයේ 1982 සැප්තැම්බර් 3 වැනිදාය. එය ආදායම් අතින් ඉතා සාර්ථක චිත්‍රපටයක් විය. විශේෂයෙන්ම එහි විජය-මාලනීගේ ආදර ජවනිකා දැනුදු සිත් තුළ ප්‍රසන්න හැඟුම් ඇති කරවන්නකි. එය වාණිජ චිත්‍රපටයකට අවශ්‍ය අංගවලින් පිරී ගිය ද ප්‍රේක්ෂක හදවත් සසල කළ චිත්‍රපටයකි.  


ජෝති ගායනා කරන ‘සරා සඳේ’ ගීතය ‘මිහිදුම් සිහින’ චිත්‍රපටයේ එන්නකි. අද ද යූටියුබයෙන් ඒ ගීත ජවනිකාව නරඹන විට එකල විජය - මාලනීගේ ආකර්ෂණීය බව දැනුදු ප්‍රේක්ෂක සිත් සසල කරන්නකි.  
වඩාත් විශේෂ කරුණ වන්නේ එම ගීතය සඳහා 1982 වස​රේදී හොඳම පසුබිම් ගායකයා ලෙස ප්‍රථම වරට ජෝති සම්මාන ලැබීමයි. සරත් දසනායකට ‘මිහිදුම් සිහින’ චිත්‍රපටයේ සංගීතය වෙනුවෙන් කුසලතා සම්මානයක් එම උළෙලේදීම හිමි විය.  


එම සරසවි සම්මාන උළෙලේදී, ජෝති ඉතා චාම් ලෙස සැරැසී ‘සරා සඳේ’ ගීතය ගායනය කළේය. ලා පැහැ අත් කොට කමිසයකින් හා තරමක් තද පැහැයට හුරු ඊටම ගැළපෙන කලිසමකින් සැරැසී සිටි ජෝති සංයමයෙන් යුතුව එම ගීතය ගැයූ හැටි බොහෝ ප්‍රේක්ෂකයන්ගේ සිත් ගත්තේය.  
මා පසු දා උදේ ජෝති සොයා ඔහු එකල පදිංචිව සිටි මාලිගාවත්ත මහල් නිවාස කරා ගියේ සම්මානය ගැන ලියන්නටය. වෙලාව උදෑසන දහය පමණ වන විටත් ඔහු නිවෙසට පැමිණ සිටියේ නැත.  
ජෝතිගේ සහායකයකු වූ දාසගෙන් මා ජෝති ගැන ඇසූ විට ඔහු කීවේ “දැන් ඒවි” කියාය.  
දහය පමණ වන විට ජෝති සම්මානයන් තුරුලු කරගෙන ගෙට ගොඩ විය.  
“සම්මාන පොඩියට තිබුණට හරි බරයි දාස”යි ජෝති කීවේ දැඩි සතුටකිනි.  
“ඊයේ රෑ ජෝති අයියා හරි ලස්සනට සින්ග් කළා. ඇඳුමත් හරිම සිම්පල්.” යයි මා කී විට ජෝති ඇසුවේ, “ඇත්ත ද මල්ලි මම ඊයේ හොඳට සින්ග් කළා ද” කියාය.  


‘ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගායකයා’ එකල තරුණ මාධ්‍යකරුවකු, “ජෝති හොඳට ගීත ගැයුවා” යයි කී විට සතුටු වන්නට තරම් ඔහුගේ සිත කොතරම් පිවිතුරු හා නිහතමානී විය යුතු ද?  
‘මිහිදුම් සිහින’ ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය චිත්‍රපටයක් වූ අතර, එය මුදල් අතින් සාර්ථක විය. ඒ සාර්ථකත්වය නිසාම දසේ ‘පනී මලර්කල්’ නමින් ‘මිහිදුම් සිහින’ චිත්‍රපටයට දෙමළ දෙබස් කවා පිටපත් කර ලංකාව පුරා ප්‍රදර්ශනය කෙළේය. එහෙත් දෙමළ දෙබස් කැවූ චිත්‍රපටයට ප්‍රේක්ෂක සහභාගිත්වය ඉතා අල්ප විය.  


‘මිහිදුම් සිහින’ චිත්‍රපටයට දායකත්වය දැක්වූ බොහෝ දෙනකු අද ජීවතුන් අතර නැත.  
විජය, ජෝති, රෝයි, දයා විමලවීර, මිල්ටන් මල්ලවාරච්චි, ඇන්ජිලින් ගුණතිලක, සෝමවීර සේනානායක මෙන්ම නිෂ්පාදක සරත් දසනායක ද ඒ අතර ප්‍රධානය.  
එහෙත් අමනාප වී එකට රඟපාන්නට අකැමැතිව සිටි විජය - මාලනී ‘මිහිදුම් සිහින’ තුළින් යළි තිරයට එක්වූවා මෙන්ම එය ජෝතිට ප්‍රථම සම්මානය ද ගෙන ආවේය. එය දැනුදු නරඹන විට හදවත සසල කරන චිත්‍රපටයකි. එයිනුත් ‘සරා සඳේ’ ගීත ජවනිකාව විශේෂය. 

 

 

රොඩ්නි විදානපතිරණ