ලංකාවේ උමා මහේෂ්වරන්ලා මාලදිවයින අල්ලා ගත් හැටි


ලෝකෙන් ටිකක්

 

ඒ මීට වසර 33 කට පෙරාතුව නොවැම්බරයේ දවසකි. හරියටම නොවැම්බර් තුන් වැනිදාය.   


 පෙරදා රැයේ සුව නින්දක් බලාපොරොත්තුවෙන් නින්දට ගිය මාල දිවයිනේ අගනුවර මාලේ වැසියන් පසුදා පාන්දර ජාමයේ ඇස් ඇරියේ විශාල වෙඩි වරුසාවක ශබ්දයටය. නින්දත් නොනින්දත් අතර සිටි ඔවුන් සෑහෙන වේලාවක් හතර දිග් බාගයෙන්ම ඇසෙන වෙඩි හඬට කන් දී ගෙන සිටියේ මේ ගැන හරි හමන් ආරංචියක් දැන ගැනීමට නොහැකිවය.   
 තවත් සෑහෙන වේලාවක් යනතුරුම කිසිම නිත්‍ය තොරතුරක් දැන ගන්නට නොහැකිව තුෂ්නිම්භූත ව සිටි ඔවුන්ට පසුව දැන ගන්නට ලැබුණේ මාල දිවයිනේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන අබ්දුල්ලා ලුතුෆි කුමන්ත්‍රණයක් දියත් කර මාල දිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදීව බලය හිමි කර ගෙන සිටි මොහොමඩ් ගයුම් බලයෙන් පහ කර මාලේ නුවර අත්පත් කර ගෙන ඇති බවය.   


 මීට පෙර 1980 සහ 1983 දී මාල දිවයින අල්ලා ගැනීමට තැත් කළ ද 1988 කැරැල්ලේ විශේෂත්වයක් වූයේ ඇමෙරිකානු ඩොලර් මිලියනයක පොරොන්දුවකට ශ්‍රී ලාංකික දෙමළ සටන්කාමී සංවිධානයක් වූ උමා මහේෂ්වරන්ගේ දෙමළ ඊළාම් මහජන විමුක්ති සංවිධානය (The People's Liberation Organization Of Sri Tamil Eelam) හෙවත් ප්ලොට් (PLOTE) සංවිධානයේ සාමාජිකයන් 80 දෙනකුගේ පිරිසක් ද මෙම කැරැල්ලට කුලී හේවායන් ලෙසින් එක්ව සිටීමය.   
 කුලී හේවායන් මාලේ අගනුවරට ඇතුළු වී වැඩි වේලාවක් යන්නට මත්තෙන් රටේ ප්‍රධානතම පරිපාලන මධ්‍යස්ථාන සියල්ලම ඔවුන් අතට ගෙන තිබිණි. ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, වරාය, රූපවාහිනී, ගුවන් විදුලි මධ්‍යස්ථාන මේ අතර විය. ඒ අතරතුර ජනාධිපතිවරයා අල්ලා ගැනීමට කුලී හේවායන් ජනපති මන්දිරය දෙසට යන දසුන මාලේ වැසියන්ගේ භීතිය දෙගුණ තෙගුණ කරවන්නක් වීය.   


 කෙසේ වෙතත් වෙනත් රාජ්‍යයක බලය අල්ලා ගැනීමේ කුමන්ත්‍රණයකට ලාංකික පිරිසක් හවුල් වූයේ ඇයි..?   


 මේ සම්බන්ධයෙන් දෙමළ ඊළාම් මහජන විමුක්ති සංවිධානයේ ප්‍රකාශකයකු වූ ස්කන්ධා තොරතුරු හෙළි කර තිබිණි. ඔහු සඳහන් කරන අන්දමට අබ්දුල්ලා ලුතුෆි උමා මහේස්වරන්ගේ දේශපාලන අනුගාමිකයකු නොවූවත් කුලුුපග මිතුරෙකි. කීප වතාවක්ම ඔහු හමුවට ආ අබ්දුල්ලා නිරන්තරයෙන්ම එවකට මාලදිවයින් ජනාධිපති වූ මොහොමඩ් අබ්දුල් ගයුම් හැඳින්වූයේ ඒකාධිපතියකු ලෙසිනි. “දවසකට ඩොලරයකවත් ආදායමක් නැති මිනිස්සු ජීවත්වෙන්න දඟලද්දී ඒකාධිපති ගයුම් ජනතාව පීඩාවට පත් කරනවා....” අබ්දුල්ලා නිරන්තයෙන් එසේ පවසන්නේ තමන් යළි මාල දිවයිනට ගියහොත් ඔහුගෙන් මැරුම් කෑමට සිදුවන බව ද සඳහන් කරමිනි.   


 මුස්ලිම් අන්තවාදයට උල්පන්දම් දෙන ජනාධිපති ගයුම් මේ සඳහා මාලදිවයින් තරුණයන් රොත්තක් ඊජිප්තුවේ පුහුණුවීම්වලට ද යොමු කළ බවට ද චෝදනා කළේය.   


 “මාලදිවයින අල්ලා ගැනීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් උමා මහේෂ්වරන්ගේ හෝ අබ්දුල්ලාගේ පැත්තෙන් කිසිම ගිවිසුමක් තිබුණාද නැද්ද කියා කිසි කෙනෙක් දන්නේ නෑ.... මේ සඳහා පක්‍ෂ ලේකම්වරුන් වත් දේශපාලන මණ්ඩලයවත් දන්නේ නෑ.... මාලදිවයින අල්ලා ගැනීමේ කුමන්ත්‍රණය ඒ දෙන්නා අතර තීරණයක ප්‍රතිඵලයක්...”   


 උමා මහේෂ්වරන් මේ සම්බන්ධ තීරණය ඔහු කෙළින්ම සිය කාඩර්වරුන්ට ඉදිරිපත් කළේ තනි තීරණයකටය. “ඔබලා මෙය මේ මොහොතේ වගේම ඉදිරියටත් තේරුම් ගත යුතුයි... අපි ජාත්‍යන්තර කණ්ඩායමක්... ඒ වගේම මේක විප්ලවකාරී අවස්ථාවක්... මාලදිවයිනේ හිතුවක්කාර අදූරදර්ශී පාලනයෙන් බැට කන ජනතාව වෙනුවෙන් අපි උදව්වක් කළ යුතු අවස්ථාවක්... ඒ මිනිසුන්ට සල්ලි නැතත් රටට ආදරෙයි.... ඔවුන්ට දැන් වුවමනා වෙලා තියෙන්නේ ඔවුන් පීඩාවට පත් කරන මේ අදූරදර්ශී පාලකයා එලවා දමන්නයි.... ”   
 මාල දිවයිනේ ගයුම් තමුන්ගේ රට අන්තගාමී ආගම්වාදයක් කරා ගෙන යනවා කියා ලුතුෆි අබ්දුල්ලා අපට පැහැදිලිවම පෙන්වා දුන්නා. මාලදිවයිනත් ලංකාවත් අතර තියෙන්නේ බොහොම සුලු දුරක්.... යම් විදියකට මේ ආගමික අන්තවාදය ලංකාවේ වැඩ කරන ජනතාව අතරටත් පැතිර ගියොත් විශාල ප්‍රශ්නයක් වෙනවා.... මේ අය අතර දැනටමත් තදින්ම ජාතිවාදය පැතිර ගිහින් තියෙනවා. ආගමික අන්තවාදයෙන් බොහෝවිට සිදු වෙන්නේ වැඩ කරන ජනතාව බෙදීමකට වාගේම විශාල විනාශයකටත් පාර කැපීමක්... ඒ වගේම ඔවුන් බලය පිළිබඳව කෑදරව සිතන පිරිසක් වෙන්නත් පුළුවන්....” 

 
 “ඒ වගේම ඔබලා මේ වනවිටත් දන්නවා දැන් මේ වෙද්දී අපි විතරක් තමයි ඉන්නේ ඉන්දීය හමුදාව අතින් නිරායුද වුණ... ලුතුෆි එකඟ වුණා මිනිස් වාසයක් නැති දූපතක අපට ආයුධ දීමට වගේම තියාගෙන ඉන්නත්. මේවා අපට පස්සේ හීන් සීරුවේ පොඩි බෝට්ටුවලින් ගෙන්න ගන්න පුළුවන්.. මේ හින්දයි මේ ගැන තනි තීරණයක් ගත්තේ.... අපි ඉක්මණින්ම මේ දෙය කළ යුතුයි. සමහරවිට මම කාගෙවත් උපදෙසක් ගන්නේ නැතිව මේ ගත්ත තීරණය වැරදි වෙන්න පුළුවන්... මේ මොනවා වුණත් අපි ගත්ත මේ තීරණය මීට කලින් කැස්ත්‍රෝ සහ චේ ගුවේරා කියුබාවේ බැටිස්ටා පාලනය ඉවත් කරන්න ගත් තීරණයටත් වඩා සාර්ථක තීන්දුවක් වේවි. අපි එක සතයක්වත් මාලදිවයිනට දෙන්නේ නෑ... එහෙම වුණොත් අපට මිනිසුන් වගේම සල්ලිත් නැති වෙන්න පුළුවන්... අපි කරන්නේ ඔවුන්ට උදව් කිරීම විතරයි.”   


 ලුතුෆිගේ ඉල්ලීම සෘජු මෙන්ම බොහෝ සරල එකක් විය. ඔහුට වුවමනා වූයේ මාල දිවයිනේ ඒකාධිපති පාලනය ඉවත් කර ජනතාවාදී පාලනයක් ඇති කිරීමට පමණි.   
 උමා මහේෂ්වරන් ලුතිෆිගේ සටනට උදව් කිරීමට මේ තීරණය ගැනීමත් තමන්ම මැදිහත් වී අසූ දෙනකුගෙන් යුත් කාඩර්වරුන් පිරිසක් රහසිගතවම මේ සඳහා පුරුදු පුහුණු කළේය. ප්ලොට් කණ්ඩායමේ මෙම කාඩර්වරුන් මාස ගණනාවක් තිස්සේ සංචාරකයක් ලෙසින් මාල දිවයිනට යමින් ද එමින් ද අනාගත ප්‍රහාරයට සැලසුම් සූදානම් කළේ ලුතිෆිගේ ආධාරකරුවන් සමග සාකච්ඡා පවත්වා වටාපිටාව සම්බන්ධයෙන් ද හොඳ අවබෝධයක් ලබා ගනිමිනි.   


 මේ අතර යුරෝපයේ සිටි තවත් කණ්ඩායමක් මෙම ප්‍රහාරයට යොදා ගැනීමට නැවක් මිලදී ගෙන තිබිණි. මෙසේ නැවක් මිලදී ගැනීමට කාරණා දෙකක් තිබිණි. එකක් මාල දිවයින් සහ ප්ලොට් සාමාජික කාඩර්වරුන් මාලේ නගරයේ මර්මස්ථානවලට ප්‍රවාහනය කිරීමටය. අනෙක ඔවුන්ගේ දිගු කාලීන සැලසුමක කොටසකි. ඒ, ඒ වනවිට ශ්‍රී ලංකා රජයට එරෙහිව ගෙන යමින් තිබූ වර්ගවාදී යුද්ධයේදී තමන්ට වුවමනා කරන ආයුධ ගෙන්වා ගැනීමටය.   
 කොයික වුණත් මාල දිවයිනට එරෙහි කැරැල්ලේ මහ මොළ කරුවෝ හතර දෙනෙක් වූහ. අබ්දුල්ලා ලුතුෆි සහ උමා මහේෂ්වරන් එහි සැලසුම්කරුවෝය. ප්ලොට් සාමාජිකයන් දෙදෙනකු වූ වසන්ති සහ පාරුක්ට පැවරී තිබුණේ එය මෙහෙයවීමය.   


 එහෙත් මෙහෙයුම පටන් ගන්නටත් පෙරාතුවම ඔවුන් කිසිසේත්ම නොසිතූ දෙයක් විය. ඒ ඔවුන් ප්‍රහාරයට යොදා ගැනීමට ගත් නැව රක්‍ෂණ ගාස්තු නොගෙවා තිබීම නිසා ශ්‍රී ලංකාව බලා පිටත් වීමට ඔන්න මෙන්න කියා තිබියදී ප්‍රංශයේදී රඳවා ගැනීමය.   


 මේ නිසා දැඩි අපහසුතාවට පත් කැරැලිකරුවන් වෙනත් විකල්ප සොයන්නට වූ අතර ඔවුන්ගේ අවසාන නිගමනයේ ප්‍රතිඵල වූයේ කල්පිටියේ දී ට්‍රෝලර් යාත්‍රා දෙකක් පැහැර ගැනීමය. මෙයින් එක යාත්‍රාවක නායකයා වූයේ වසන්තිය. අනෙකේ ෆාරුක් මෙන්ම ලුතුෆි වූහ.   


 ඔවුන්ගේ සැලසුමට අනුව බාබු විසින් මෙහෙයවන ලද කල්ලිය ගුවන් විදුලි ඇතුළු සියලුම සන්නිවේදන පද්ධති අල්ලා ගත යුතු විය. ෆාරුක්ගේ කල්ලිය කළ යුතු වූයේ ජනාධිපතිවරයා සහ ආරක්‍ෂක අමාත්‍යවරයා අත් අඩංගුවට ගැනීමය. ලුතුෆි සහ වසන්තිගේ කණ්ඩායම බලා ගෙන සිටියේ ආරක්‍ෂක මූලස්ථානය අත්පත් කර ගැනීමටය. ලුතුෆිගේ අනුගාමිකයන් බලාපොරොත්තු වූයේ ගොඩබිමේ දී මුණ ගැසෙන සහායකයන් ද සමග එක්ව පරිපාලන බලය අත්පත් කර ගැනීමටය.   
 විශාල බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳ ගත් මෙම කණ්ඩායම් දෙක ඔක්තෝබර් 30 වැනිදා මැදියම් රැයේ ලංකා භූමියෙන් නික්ම ගියේ නොවැම්බර් 2 වැනිදා වෙද්දී තම අරමුණු මුදුන් පත් කර ගැනීමේ අටියෙනි.   


 එහෙත් යළිත් වතාවක් ඔවුන් කිසිසේත්ම බලාපොරොත්තු නොවුණ අයුරින් මුහුදේ දී අකරතැබ්බයකට මුහුණ පෑමට සිදුවීය. ඒ අයහපත් කාලගුණය හේතුවෙන් ඔවුන්ගේ යාත්‍රාවල ගමන් මග වෙනස්වීමෙනි. සැඩ සුළඟත් සමග යාත්‍රා දෙකම ඕස්ට්‍රේලියාව දෙසට ඇදී යන්නට විය. ප්ලොට් සාමාජික පිරිසට මෙම දුෂ්කර අත්දැකීම කොහෙත්ම ඔරොත්තු නොදුන් අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අසනීප ගතියෙන් ද පොළෙන්නට වූහ.   


 “මේ වෙද්දී අපට කෑම කන එක අප්‍රිය වෙලා තිබුණා...” මෙම ගමනට එක්ව සිටි රහවන් පසු කලෙක කියා සිටියේය. මේ වනවිට නොවැම්බර් දෙවැනිදා මාලදිවයිනට ළඟා වීමේ සැලැසුම එහෙම පිටින්ම වෙනස්ව ගොස් තිබුණ අතර ඔවුන් මාලදිවයිනට ළඟාවූයේ නොවැම්බර් තුන් වැනිදා පාන්දර 4ට පමණය. එහෙත් ඒ වෙද්දී යාත්‍රාව නැංගුරම් ලෑමට නැව් තටාකංගනයේ ඉඩක් නොවිණි. එබැවින් පළමු යාත්‍රාව නැංගුරම් ලෑමට මැදියම් රෑය පමණ වනතුරු බලා සිටීමට සිදු විය. ඒ ලුතුෆි සහ වසන්තිගේ යාත්‍රාවය.
  ලබන සතියට...

 

 

 රංජන් වික්‍රමනායක