රජවරුන්ගේ මිටියාවතේ සැතපෙන පාරාවෝවරු


ලෝකෙන් ටිකක්

 

 

රජවරුන්ගේ මිටියාවත හෙවත් අරාබි බසින් වාඩි අල් මුුලුක් (Wadi al muluk) යනුවෙන් හැඳින්වෙන මිටියාවත ඊජිප්තුවේ උතුරු දෙස නයිල් ග​ෙඟ් බටහිරින් පිහිටි පැරණි තීබ්ස් නගරය (වර්තමානයේ ලුක්සෝර්) අසල පිහිටි ඩයර් අල් බහාරි පිටුපස බටහිර කඳු ආසන්නයේ පිහිටා ඇත. ක්‍රිස්තු පූර්ව 1539 සිට කි.පූර්ව 1075 දක්වා අවුරුදු 500 ක පමණ කාලයක් 18, 19 හා 20 වැනි රාජධානි පාලනය කළ සියළුම පාරාවෝ රජුන්ගේ හා රැජිනියන්ගේ මමී බවට පත්කරන ලද රාජකීය සිරුරු මෙහි ඇති හුණුගල් පර්වතවල සොහොන් ගැබ් තනා තැන්පත් කර ඇත. වර්තමාන​යේ මෙම ප්‍රදේශය හඳුන්වන්නේ රජවරුන්ගේ මිටියාවත (Valley of the kings) යනුවෙනි.   


ක්‍රිස්තු පූර්ව 16 වැනි සියවසේ සිට නව රාජධානිය පාලනය කළ පාරාවෝවරුන්ට රාජකීය සිරුරු හා එහි තැන්පත් කළ රත්රන් මැණික් හා ස්වර්ණාභරණ ඇතුළු වටිනා භාණ්ඩ සොරුන්ගෙන් ආරක්‍ෂාකර ගැනීමට සිදුවී ඇත. කුෆු මහා පිරමීඩයේ (ගීසා පිරමීඩය) මුදුනෙහි සවිකර තිබූ රන් තහඩුවද සොරුන් විසින් ගලවාගෙන ගොස් තිබූ බව වාර්තාවේ. මේ නිසා පාරාවෝවරුන්ට රාජකීය මමී සුරැකිව සඟවාතබා ගැනීමටත් ඒ සමග තැන්පත් කළ වටිනා භාණ්ඩ ආරක්ෂාකර ගැනීමටත් රහසිගත ස්ථානයක් සොයා ගැනීමට සිදුවී තිබේ. මේ සඳහා ඔවුන් තෝරාගෙන ඇත්තේ නයිල් ගඟේ බටහිර ඉවු​රේ පිහිටි තීබ්ස් නගරය අසල කඳුවැටියක් ආසන්නයේ ඇති හුදකලා මිටියාවතකි.   
අතීත ඊජිප්තු රාජධානියේ පාලකයා මෙන්ම ජනතාවගේ හා ආගමික නායකයා වූයේ පාරාවෝවරුන්ය. පාරාවෝ යන්නෙහි තේරුම ‘‘විශාල නිවස’’ යන්නය. පාරාවෝවරුන් විශාල මාලිගාවල ජීවත් වූ නිසා පාරාවෝ නම යෙදී ඇති බව සඳහන් වේ. පාරාවෝවරුන් වන්දනාමාන කර ඇත්තේ ‘‘හෝරස්’’ නම් වූ හිරු දෙවියන්ටය.   
පිරමීඩ ගොඩනගා ඇත්තේ ආගමික පසුබිම මත මියගිය පාරාවෝවරුන්ගේ සිරුරු මරණින් පසු එළඹෙන ජීවිතය සඳහා සුරක්‍ෂිතව තැන්පත් කර තබාගැනීමේ අදහසිනි. මියගිය පාරාවෝවරුන් භාවිතකළ භාණ්ඩ හා මරණින් පසු එළඹෙන ජීවිතයට අත්‍යවශ්‍යවන අනිකුත් භාණ්ඩ සොහොන් ගැබ්වල තැන්පත් කළේ එනිසාය.   

 


සමහරුන් සඳහන් කර ඇත්තේ පිරමීඩ හා රජවරුන්ගේ නිම්නයේ ඇති සොහොන් ගැබ් තනා ඇත්තේ වහලුන් බවය. අතීත ඊජිප්තුවේ වර්ග තුනකට අයත් වහලුන් සිටියද පිරමීඩ හා සොහොන් ගැබ් තනා ඇත්තේ ගොවියන් හා එහි වාසය කළ ජනතාව මිස වහලුන් නොවන බව පුරාවිද්‍යාඥයෝ සඳහන් කරති. රජවරුන්ගේ මිටියාවතේ ඇති හුණුගල් කඳු හාරා සොහොන් ගැබ් හා ඒවායේ සිතුවම් කර ඇත්තේ ඩාර්.එල්. මෙඩිනා ග්‍රාමයේ විසූ කම්කරුවන් විසින් බව හමුවී ඇති පුරාවිද්‍යාත්මක සාක්‍ෂි අනුව පැහැදිලි වේ.   
මෙම කම්කරුවන් සඳහා වැටුප් ලබාදී ඇත්තේ ධාන්‍ය වලින් වන අතර සොහොන් ගැබ් තනන කාලය තුළදී ඔවුන් නවාතැන් ගෙන සිටි ගොඩනැගිලිවල නටඹුන්ද හමුවී ඇත.   
18 වැනි 19 වැනි හා 20 වැනි රාජධානි පාලනය කළ සියළුම පාරාවෝ රජුන්ගේ හා රැජිනියන්ගේද ඉහල පෙළේ වංශවත් රාජ්‍ය නිලධාරීන්ගේද මමී හුණුගල් හාරා තනන ලද සොහොන් ගැබ්වල තැන්පත්කර තිබී ඇත. පුරා විද්‍යාඥයින් විසින් මෙම මිටියාවතේ තිබී සොයාගත් සොහොන් ගැබ් ගණන 63 ක් හා මිහිදන් කුටි 120 ක් වන අතර සොහොන් ගැබ් අංක කර ඇත. සොහොන් ගැබ්වල නිර්මාණ වෙනස්වුවද අත්‍යවශ්‍ය ලෙස කඳු තුළට බැස යා හැකි කොරිඩෝවකින්ද එයින් පසු සොරුන්ට ඇතුළුවිය නොහැකි ලෙස තැනූ ගැඹුරු විවරයකින්ද යුක්තය. අවසානයට වන්නට මිහිදන් කුටියේ මමී බවට පත්කරන ලද රාජකීය සිරුරු ශෛලමය මිනී පෙට්ටි තුළ තැන්පත්කර තිබේ. සොහොන් ගැබ් වැඩි ප්‍රමාණයක බිත්ති ආගමික පාඨ වලින් හා සිතුවම් වලින්ද වර්ණවත් මායාකාර රූපාක්‍ෂරවලින්ද කැටයමින්ද සරසා ඇත. බිත්ති මත කරන ලද සිතුවම්වලින් මියගිය රජු පොළව යට පිහිටි ලෝකයට අධිපති ‘‘අනුබිස්’’ දෙවියන් ඉදිරියේ සිටින අයුරු නිරූපණය වේ.   


රාත්‍රී පැය දොළහක කාලය තුළ හිරු දෙවියන් සංචාරය කරන අයුරුද සිතුවම් කර ඇත. ‘‘හොරෙන්හෙබ්’’ රජුගේ කාලයේ සිට ද්වාර ග්‍රන්ථයේ (Book of Gate) සටහන් වනුයේ හිරු දෙවියන් ද්වාර 12 ක් තුළින් ගමන් කරන අයුරුය. අඳුරු ගුහා ග්‍රන්ථ (Book of caverns) සිතුවම් අනුව පොළව යට දෙවියන් සිටින ලෝකය විශාල අඳුරු කාමරවලට බෙදා ඇති අතර හිරු එම අඳුරු කුටි තුළින් ගමන් කර පැමිණ මියගිය රජුට නැවත ජීවය ලබාදෙන තුරු බලා සිටින අයුරු නිරූපණය වේ. භූමදාන කුටිවල සිවිලිම තාරකා විද්‍යාත්මක රූප සිතුවම් කර ඇති අතර මියගිය රජු දෙව්ලොව සිටින අයුරු ඉන් නිරූපණය වේ.   


මියගිය පාරාවෝවරුන් භාවිත කල භාණ්ඩද සොහොන්ගැබ්වල තැන්පත්කර තිබේ. ටූටන්කාමන් රජුගේ මිහිදන් කුටියේ තිබී ඔහු භාවිත කළ පාවහන් යුගලද හමුවී ඇත. තුන්වෙහි ‘‘අමෙන්හොටෙප්’’ පාරාවෝ රජුගේ කාලයේදී බලවත් වංශාධිපතියන්ගේ සිරුරුද රාජකීය සිරුරු ආසන්නයේ තැන්පත් කර තිබී ඇත. මෙවැනි වඩාත් ප්‍රසිද්ධ සොහොන් ගැබක් වනුයේ KV 46 දරණ සොහොන් ගැබේ ති​බූ තුන්වෙනි ‘‘අඹෙන්හොටෙජ්’’ රජුගේ ප්‍රධාන බිස වූ ‘‘Tiye’’ රැජිනියගේ මව් පියන් වූ ‘‘යුයා’’ හා ‘‘තුයා’’ ගේ සිරුරු තැන්පත් කර තිබූ සොහොන් ගැබය. ‘‘Tiye’’ රැජිනියගේ පියාවූ ‘‘Yuya’’ ඊජිප්තු දෙවියකු වූ ‘‘මින්’’ දෙවියන්ගේ දෙවොලෙහි පූජකයකු බව සඳහන් වේ.   

 


පුරාවිද්‍යඥයින් සඳහන් කරන පරිදි බොහෝ සොහොන් ගැබ්වල තිබූ වටිනා භාණ්ඩ ඉවත් කරගෙන ඇති අතර සවර්ණාභරණ හා මැණික් වැනි වටිනා භාණ්ඩ මෙන්ම පුරාවස්තුද සොරුන් විසින් රැගෙන ගොස් ඇත. ක්‍රිස්තු පූර්ව පළමුවැනි ශතවර්ෂයේ ‘‘ස්ට්‍රැබෝ’’ පාරාවෝ රජුගේ කාලයේදී ග්‍රීක සංචාරකයන්ට මෙහි තිබූ සොහොන් ගැබ් 40 ක් නැරඹීමට අවස්ථාව ලැබී ඇත. කි. පූර්ව 1332 කි. පූර්ව 1323 දක්වා රාජ්‍ය පාලනය කළ ‘‘ටූටන්කාමන්’’ රජුගේ කුඩා සොහොන් ගැබ ‘‘රැම්සෙඩ්’’ රජුගේ සොහොන් ගැබෙන් පතිතවූ කුඩා ගල් කැබලිවලින් යුත් කුළුණුවලින් වැසී තිබීම නිසා සොරුන්ගෙන් ආරක්‍ෂාවී තිබූ බව සඳහන් වේ. 1922 දී ‘ටූටන්කාමන්’ රජුගේ සොහොන් ගැබෙන් සොයාගත් මහා ධන සම්භාරය කයිරෝහි පිහිටි ඊජිප්තු කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. මෙයින් පෙනී යන්නේ බොහෝ රාජකීය සොහොන් ගැබ්තුළ වටිනා සම්පත් තැන්පත්කර තිබෙන්නට ඇති බවය.   
අංක 20 දරණ දිගින් වැඩි සොහොන් ගැබ කි.පූර්ව 1472 සිට කි. පූර්ව 1458 දක්වා රාජ්‍ය පාලනය ගෙනගිය ප්‍රථම පාරාවෝ රැජිනිය ලෙස සැළකෙන ‘‘හැට්ෂෙප්සුට්’’ රැජිනියගේ මමිය තැන්පත් කළ කුටිය වේ. සොහොන් ගැබට ඇතුළුවන ස්ථානයේ සිට මීටර් 215 ක් දුරින් මීටර් 100 ක් පොළව තුළට ගමන්කර හුණුගල ඇතුළට වනසේ මෙය තනා ඇත. KV 5 දරණ විශාලතම හා සංකීර්ණතම සොහොන් ගැබෙහි 19 වැනි රාජධානියේ ශ්‍රේෂ්ඨ රජු ලෙස සැළකෙන ක්‍රි. පූර්ව 1279 සිට ක්‍රි.පූර්ව 1213 ​දක්වා රාජ්‍ය පාලනය කල දෙවැනි ‘‘රැම්සෙස්’’ රජුගේ බොහෝ පුතුන්​ගේ මමී තැන්පත්කර තිබූ බව වාර්තාවේ.   


සාම්ප්‍රදායික ඊජිප්තු ආගමික විශ්වාසයන්ට අනුව පාරාවෝවරුන් ‘‘හෝරස්’’ නම් හිරු දෙවියන්ගේ අවතාර ලෙස සැළකේ. මරණින් පසු ජීවිතයක් පිළිබඳ දැඩිලෙස විශ්වාස කළ පාරාවෝවරුන් මියගිය රාජකීයයන්ගේ සිරුරු විනාශ නොවී ඊළඟ ජීවිතය ලබන තෙක් තබාගෙන ඇත්තේ සිරුරු මමී බවට පත්කර සොහොන් ගැබ්වල තැන්පත් කිරීමෙනි. සොහොන් ගැබ්වල මියගිය රාජකීයයන් භාවිත කළ භාණ්ඩ මෙන්ම ඔවුන්ට අවශ්‍යවන භාණ්ඩද ගබඩාකර තිබූ මරණින් පසු එළඹෙන ජීවිතයක් පිළිබඳ විශ්වාස කළ ප්‍රථම ශිෂ්ටාචාරය වන්නේ පාරාවෝවරුන්ගේ ශිෂ්ටාචාරයයි.   

 


පුරාවිද්‍යාඥයින් සඳහන් කරන පරිදි මේ දක්වා හමුවී ඇති මමී තැන්පත්කර තිබූ ශෛලමය බහලුම් ගණන 13 කට වැඩිය. පැරණි ඊජිප්තු සමයේ ආරම්භ වූ පිරමීඩ ගොඩනැගීම ටොලමිගේ යුගයේදී අවසන් වී ඇත්තේ කාන්තාරයේ පවතින තාප සංචලනය නිසා බව ඉංජිනේරුවරු ප්‍රකාශ කරති. කාන්තාරවල නිතරම පාහේ සිදුවන උෂ්ණත්ව විචලනයන් නිසා පාෂාණ කුට්ටි ප්‍රසාරණය හා සංකෝචනය වීමෙන් ඒවා කැබලිවලට පත්වී පතිත වන බවත් එම නිසා පාරාවෝවරුන් පිරමීඩ ගොඩ නැගීම නවතා දමා ඇති බවත් ඔව්හු තවදුරටත් පෙන්වා දෙති. නව රාජධානි සමය අවසානයේ ඊජිප්තුවේ ආර්ථික හා දේශපාලන බලය පිරිහීයාමට පටන්ගෙන ඇත. තීබ්ස් නගරයේ සිටි පූජකයින් බලවත් වෙමින් සිට ඇති අතර උතුරු දිග ඊජිප්තුව ඔවුන්ගේ පාලනය යටතට පත්ව ඇත. බොහෝ සොහොන් ගැබ් විවෘත කිරීමත් වටිනා භාණ්ඩ ඉවත් කර ගැනීමත් සිදුවී ඇත්තේ මේ අවධියේ බව පුරාවිද්‍යාඥයෝ ප්‍රකාශ කරති. සමහර සොහොන් ගැබ් කොප්ටික් පූජකයින් විසින් නැවත ප්‍රයෝජනයට ගෙන ඇති බව එහි කර ඇති සටහන්වලින් පැහැදිලිවේ.   


18 වැනි රාජධානි සමයෙන් පසු යුගයේ පාරාවෝ රජුන්ගේ බිසවුන්ගේ හා දරුවන්ගේ මමී බවට පත්කළ සිරුරු තැන්පත් කිරීම සඳහා තීබ්ස් නගරයේ රජුන්ගේ මිටියාවතට නිරිත දිගින් පිහිටි මිටියාවතක් තෝරාගෙන ඇත. රැජිනියන් හා දරුවන්ගේ සිරුරු තැන්පත් කිරීම සඳහා වෙනම ස්ථානයක් තෝරාගත්තේ ඇයිද යන්නට පිළිතුරු සෙවීමට පුරා විද්‍යාඥයින් තවමත් අසමත්ය. මෙම මිටියාවතේ තිබී සොයාගත් සොහොන් ගැබ් ගණන 90 ට වැඩිය. මෙම ප්‍රදේශය ‘‘රැජිනියන්ගේ මිටියාවත’’ (The valley of the Queens) ලෙස හැඳින්වෙන අතර ‘‘අලංකාර ප්‍රදේශය’’ යන අරුත ඇති Ta.set Naferu'' යන නමින්ද හැඳින්වේ.  

 

 

ශාස්ත්‍රවේදී පී.ඩබ්ලිව්. ගුණතිලක   
(ඡායාරූප හා විස්තර අන්තර්ජාලයෙනි)