වේදිකාවේත්, පුංචි තිරයේත්, රිදී තිරයේත්, බැබළෙන කලාතරුවක් වන ඇය විවිධ ස්වරූපයේ මව්වත් ගුණයන්ට පණ දෙමින් පුංචි තිරයේ ප්‍රසිද්ධ මවක් වී සිටියි. ඇය අපට නැවතත් මවක ලෙස දකින්නට ලැබෙන්නේ මේ දිනවල ස්වාධීන රූපවානියේ විකාශනය වන වන වීදුරු තිර ටෙලි නිර්මාණය තුළිනි. එනම් මෙවර සැඳැල්ල හැඩ කරන්න අප හා කතාබහට එක්වූයේ ප්‍රවීණ රංගන ශිල්පිනි මාධනී මල්වත්තගේයි. මේ ඈ වෙනුවෙන් වෙන්කළ ඉඩකඩයි....
ප්‍ර කොහොමද මාධනී ජීවිතේ?
හොඳින් ඉන්නවා. මේ දිනවලත් සාමාන්‍ය පරිදි මගේ කලාකටයුතු කරගෙන යනවා. ඒ අතරම විශේෂ වැඩ කටයුත්තක් ලෙසින් මම ඉගෙන ගත්ත නාට්‍ය හා රංග කලාව නමැති ප්‍රායෝගික විෂය ඉගෙනගන්න කැමති තවත් පිරිසක් වෙනුවෙන් මගේ ඩිතිරුම්බය නාට්‍ය ඇකඩමිය හරහා (‘ඩිතිරුම්බය’ ඇකඩමි ඔෆ් තියටර් ආර්ට්ස්) ඒ දැනුම බෙදා දෙන්න කාලය වෙන්කරලා තියෙනවා. ඒ අනුව දැන් එහි තුන්වන කණ්ඩායමේ අධ්‍යාපන කටයුතු තමයි කෙරෙන්නේ. ඉතින් ඒ දේවල් එක්ක ජීවිතේ ගලාගෙන යනවා.
ප්‍ර වේදිකාවේත්, ටෙලි තිරයේත්, සිනමාවෙත් නිතර දකින්න ලැබෙන ඔබේ මේ දිනවල කලාකටයුතු කොහොමද?
වේදිකාව ගැන කතාකළොත් මීට වසර 15කට වඩා පැරණි උදය වික්‍රමරත්න සුද්දෙක් ඔබ අමතයි, නාලක විතානගේගේ රෝමය ගිනිගනී 11- ඊමේල් කුමාරයා, ජනක් ප්‍රේමලාල්ගේ මේක අපේ ආණ්ඩුවක් සහ කැලණි පාලම කියන වේදිකා නාට්‍යවලට සම්බන්ධවෙලා ඒවායේ රංගන කටයුතු කරගෙන යනවා. ඒ වගේම ඊ. එම්. ඩී උපාලි මහතාගේ තවත් අලුත් වේදිකා නාට්‍යයක පුහුණුවීම් කටයුතුත් මේ දිනවල සිදුවෙනවා. වේදිකාව පැත්තෙන්නම් ඒ දේවල් තමයි. ටෙලිනාට්‍ය ගැන කතාකළොත් වීදුරු තිර, සින්ටෝ, බේකරි ගෙදර වැනි මම රංගනයෙන් දායකවුණු ටෙලිනාට්‍ය කිහිපයකම විකාශනයන් මේ දිනවල විවිධ නාළිකා තුළ දක්නට ලැබෙනවා. සිනමාවේ ආසන්නතම නිර්මාණ දායකත්වය පුබුදු චතුරංගගේ අධ්‍යක්ෂණයක් වුණු කුණා චිත්‍රපටය. නමුත් එහි සංස්කරණ කටයුතු තවමත් අවසන් නැහැ. එයත් ඉදිරියේදී දැකගන්න ලැබේවි.
ප්‍ර ඔබ ටෙලිතිරයෙන් දකින්න ලැබෙන අලුත්ම නිර්මාණය වීදුරු තිර. ඒ ගැන මතකය අවදි කරමු?
ගයනි ආශිංශලාගේ තිර රචනය, රුෂාන් පෙරේරාගේ නිෂ්පාදනයෙන් සහ ශාන් ජයරත්නගේ අධ්‍යක්ෂණයෙන් කෙරුණු ලස්සන නිර්මාණයක් තමයි වීදුරු තිර කියන්නේ. එහි කතාවස්තුව රංගන ශිල්පීනී ශලිනි තාරකාගේ. ඒ කතා වස්තුව තමයි මේ නිර්මාණයට දායකවුණු හැමකෙනෙක්ම ලස්සනට නිරූපණය වෙලා ප්‍රේක්ෂකයා ඉදිරියට ඇවිත් තියෙන්නේ. ඇත්තටම මේ කතාව අපි දකින සාම්ප්‍රදායික කතාවලට එහා ගිය වෙනස් වූ කතා තේමාවක්. ලංකාවේ කලාවට අලුත් කතාතේමාවක් වුණත් මේ දේවල් අපි නිතර සමාජය ඇතුළේ දකින අහන දේවල්. ඉතින් ඒ වෙනසත් එක්ක වීදුරු තිර ටෙලිනාට්‍යය ඉදිරියේදී ප්‍රේක්ෂකයෝ අතර කතාබහට ලක්වන ජනප්‍රිය නිර්මාණයක් වේවි කියන විශ්වාසය තියෙනවා.
ප්‍ර වීදුරු තිරහි ඔබේ චරිතය ගැනත් කියමු?
ඒ ඒ කාලයට අනුවනේ අපට චරිත ලැබෙන්නේ. දැන් මමත් ලොකු පුතෙකුගේ අම්මෙක් නිසා බොහෝ අවස්ථාවල මට ලැබෙන්නේත් අම්මා කියන චරිතය තමයි. ඉතින් මේ චරිතය ඇතුළෙත් ඉන්නේ දරුවාට ඉතාම ළඟින් සිටින, ඉතාමත්ම ආදරය කරන, තමන්ගේ දුවගේ අනාගතය වෙනුවෙන් එහි සාර්ථකත්වය වෙනුවෙන් ඇපකැප වෙන අම්මා කෙනෙක්. එතනදි දුවගේ විවාහය නම් තීරණයේදී යෝජිත විවාහයක් හරහා හමුවන අයෙකු හට තම දුව විවාහ කරදීම නිසා මවත්, පියාත් ඇතුළු සමස්ත නාට්‍යයේ චරිත සියල්ලම විශාල ඛේදවාචකයකට මුහුණ දීමක් තමයි තියෙන්නේ. ඉතින් ඒ ඛේදවාචකයට මුහුණ දෙන මවක් තමයි ඒ චරිතයෙන් නිරූපණය කරන්නේ.
ප්‍ර විවිධ ස්වරූපයේ මව්වරුන්ගේ චරිත නිරූපණය කළ ඇති ඔබ ඒ චරිත අතර පෞද්ගලිකව කැමති චරිතයක් නැද්ද?
නැහැ. පොදුවේ ගත්තොත් ඉහළ ෙපළැන්තියේ නාගරික මවක් වුණත්, මධ්‍යම පන්තිය නියෝජනය කළත්, ඉතාමත් කර්කශ ජීවිත ගත කරන දුක් විදින මවක් වූවත් ඒ ඕනෑම අම්මා කෙනෙකුගේ චරිතයකට මම ආදරෙයි වගේම මම ඒ වෙනස නිවැරදිව ග්‍රහණය කරමින් චරිතයට උපරිම සාධාරණයක් කරන්න උත්සහා කරනවා. ඇත්තටම චරිතාංග රංගන ශිල්පිනියක් විදිහට මම ඒ වෙනස් චරිතවලට හරිම කැමතියි. මම හිතන්නේ අපිව ඒකාකෘති කරන්නේ අධ්යක්ෂකවරුන්මයි. අපි එක චරිතයකින් සාර්ථක වූ පසු අපට ආරාධනා ලැබෙන බොහෝමයක් චරිත අර මුල් චරිතයට සමානයි. නමුත් මම පෞද්ගලිකව කැමතියි ඒ අම්මා කියන චරිතය ඇතුළේත් වෙනස් වෙනස් මානයන්ට යන්න. ඉතින් වීදුරු තිර එවන් නිර්මාණයක්.
ප්‍ර ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ ඒ ලැබෙන ආදරය කොයි වගේද?
ඇත්තටම හැම කාලෙකම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. වේදිකාවත් එක්ක එකතු වුණාම අපිට ගම්- නගරවල මෙන්ම විවිධ රටවලත් යන්න අවස්ථාව ලැබෙනවානේ ඉතින් ඒ අවස්ථාවල ඒ ආදරය හොඳටම දැනෙනවා. ඒ උණුසුම් පිළිගැනීම්, ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතාමත් ඉහළයි. විවිධ චරිත ගැන විවිධ විදියට කතාවෙනවා. ඒ දේ තමයි කලාකරුවෙක් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ දේවල් වාසනාවක් කියලා තමයි මම හිතන්නේ.
ප්‍ර ප්‍රවීණ රංගන ශිල්පිනියක් විදිහට වර්තමාන කලාව සහ කලාකරුවා ගැන මොකද හිතන්නේ?
අද කලාව ගත්තොත් අදාළ මාධ්‍ය අනුව ඉල්ලුම වෙනස්. වේදිකාව තුළ නම් වැඩිම ඉල්ලුම ප්‍රහසනයට. ඒ අනුව ගොඩක් ප්‍රහසනයට බර නිර්මාණ වේදිකාව තුළ සිදුවෙනවා. නමුත් ප්‍රහසනය හරිම ප්‍රවේශමෙන් කරන්න ඕන දෙයක්. ඒ වගේම සිනමාව තුළත් මෑත කාලයේ තරගකාරී ලෙසින් චිත්‍රපට කිහිපයක් එළිදැක්වුණා. ඒවා ඉතාමත් හොඳ මට්ටමේ නිර්මාණ. මිනිස්සු අතරේ කතාබහට ලක්වෙන නිර්මාණ. ටෙලිනාට්‍ය තුළත් ආර්ට් වැඩ බොහෝමයක් ප්රේක්ෂකගත වුණා. ඒ වගේ නිර්මාණ ප්‍රේක්ෂකයා අතරට යන එක කලාවේ අනාගතයට හොඳ පිටිවහලක්. ඒ අතරතුර අවරගනයේ නිර්මාණත් යම්තාක් දුරට මේ ක්ෂේත්‍ර තුන තුළම අදත් දකින්න ලැබෙනවා. එදත් දකින්න ලැබුණා.
ප්‍ර ඔබේ පුතාත් දැන් කලාව තුළ දකින්න ලැබෙනවා?
ඔව්. පුතත් කලාවට යොමුවෙලා ඉන්නේ. ඔහු කුඩා කල ඉඳන්ම වෙෙළද දැන්වීම් වෙනුවෙන් තමයි බොහෝ විට සම්බන්ධ වුණේ. දැන් වේදිකා නාට්‍ය සහ ටෙලිනාට්‍යවලටත් රංගනයෙන් දායකවෙනවා. ඔහු 2024 වසරේ රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ ඉංග්‍රීසි අංශයේ හොඳම සහය නළුවා විදිහටත් සම්මාන හිමිකර ගත්තා. ඉතින් මම විශ්වාස කරනවා ඔහුත් කලාවෙන්ම ඉදිරියට යයි කියලා.
ප්‍ර වසර ගණනාවක වෘත්තීමය කලා ජීවිතය තුළ තවමත් සැබෑ නොවුණු හීත තිබෙනවා ද?
හීන කියනවාට වඩා මම කැමති ඒවා ජීවිතයේ ඉලක්ක කියලා අර්ථකතනය කරන්න. මොකද මම ඇත්තටම කැමති ඉලක්ක වෙනුවෙන් වැඩකරන්න සහ ඒවා පසුපස හඹා යන්න. මගේ ඇකඩමියත් ඒ විදිහේ ඉලක්කයක්. ඒ ඇකඩමිය හරහා ඔවුන්ගේ වේදිකා නාට්‍ය නිර්මාණ කිහිපයක් අධ්‍යක්ෂණය කිරීම තුළින් මම මගේ තවත් ඉලක්කයක් සම්පුර්ණ කරගත්තා. ඒ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂිකාවක් වීමේ බලාපොරොත්තුව. නමුත් ඒ හැමදෙනෙක්ම ආධුනිකයන් වීම නිසා මට තවත් ඉලක්කයක් තිබෙනවා ප්‍රවීණ වේදිකා නාට්‍ය රංගන ශිල්පීන් කිහිපදෙනෙක් සමඟ කරන නිර්මාණයක අධ්යක්ෂණ කටයුතු කරන්න සහ ටෙලි නිර්මාණයක අධ්යක්ෂණ කටයුතු කරන්න. ඉතින් ඉදිරියේදී ඒ ඉලක්ක සපුරාගන්න බලාපොරොත්තු වෙනවා.
දුලක්ෂි ලියනගේ