මගෙ මුළු ආත්වයේම තියෙන්නෙ නර්තන කලාව - නිලාන් මලිගස්පේ


අපේ ශරීරය සහ මනස ඒකාග්‍රව පවත්වා ගනිමින් ඉතා රසවත් මෙන්ම සියුම් ලෙස හැදෑරිය හැකි ලෝකයේ බොහෝ මිනිසුන් වැළඳගත් කලාවක් විදිහට බැලේ නර්තන කලාව හඳුන්වා දෙන්න පුළුවන්. ලංකාව තුළ එම කලාව ප්‍රගුණ කළ සහ මතු පරපුරට ද එම කලාව දායාද කිරීමට වෙහෙස වන බැලේ නර්තන ශිල්පියෙක් අපට හමු විය. ලාභ ප්‍රයෝජනයක් නොතකා කලාවේ උන්නතිය වෙනුවෙන් වෙහෙස වන ඔහු නමින් නිලාන් මලිගස්පේ වේ. අද අපේ කතා බහ ඔහු සමගයි.

මුලින්ම ඔබ ගැන හැඳින්වීමක් කළොත්...?

මම දේශීය සහ විදේශීය නර්තන කලාවන් දෙකම කරනවා. විශේෂයෙන්ම කරන්නේ බැලේ හෙවත් මුද්‍රා නාට්‍ය. දැනට අවුරුදු31ක් වෙනවා මගේ ඇකඩමි එක පටන් අරං. ඒකෙන් බිහිවුණ ගෝලයෝ ලංකාවේ වගේම පිටරටත් ඉන්නවා. මගේ කලා ජීවිතේට අවුරුදු 41ක් වෙනවා. මම Dancer කෙනෙක් වගේම Choreographerකෙනෙක් ද වෙනවා. දැනට ලංකාවේ චිත්‍රපටි, ටෙලිනාට්‍ය, රූපවාහිනී Visual, වේදිකා නාට්‍යවල ඇඳුම් නිර්මාණ වගේම නර්තන අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඒ වගේම වැඩිම ඔපෙරා සංඛ්‍යාවක නර්තන වින්‍යාස කරලා තියෙනවා. ඒ වගේම මම මේ අවුරුදු 31 තුළ කලා ආයතනයේ ළමයින් ගෙන් කිසිදු මුදලක් නොගෙන නොමිලේ තමයි කරන්නේ. අවුරුද්දක් පාසා දක්ෂ, උනන්දුවක් ඇති ළමයි තමයි ඇකඩමියට බඳවාගන්නේ. කලාව පැත්තෙන් යහපත් දෙයක් කරන එක තමයි මගේ අරමුණ.

ඔබට පුංචි කාලේ ඉඳන් තිබුණේ මොන වගේ හීනයක් ද?

පුංචි කාලේ ඉඳන් මට තිබුණේ බලාපොරොත්තු විතරයි. හීන මට තිබ්බේ නැහැ. මොකද හීන පාට වැඩී. මම කියන්නේ ප්‍රායෝගික වෙන්න කියලා. මම පුංචි කාලේ ඉඳන් කලාව, සෞන්දර්ය එක්ක තමයි කාලය ගත කළේ.  මට ඇත්තටම තිබුණේ සමාජ අධ්‍යයනය පිළිබඳ ගුරුවරයෙක් වීමේ බලාපොරොත්තුව. මොකද ඒ විෂයට සහ ඒ විෂය උගන්වන ගුරුවරුන්ට මම හරි ආසයි. නමුත් මට කලාව පැත්තෙන් ඉස්සරහට යනවා කියලා බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. අපේ ඉස්කෝලේ චිත්‍ර විතරයි සෞන්දර්ය විෂයකට තිබ්බේ. ඒ වගේම මට පොඩි ආසාවක් තිබුණා රඟපාන්න. මම වරකාපොල කියන ප්‍රදේශයේ හැදුණේ. ඉතින් හරිම සුන්දර පරිසරයක්. අපි චිත්‍රපටි බලලා ඇවිත් හවසට ඒවා පුහුණු වෙනවා.

කලාව ඔබ තෝර ගෙන තිබෙන්නේ වෘත්තියක් විදිහටද නැත්තම් විනෝදාංශයක් විදිහට ද?

මම ඉන්නේ වෙනම වෘත්තියක. 80 ගණන්වල දී මම බය වුණා ඒ තිබුණ තත්ත්වෙත් එක්ක. ඒ කාලේ අපේ තිබ්බ අරමුණු හිටපු දේශපාලනඥයන් විසින් මරලා දැම්මා. ඒ කාලේ කලාව වෘත්තියක් විදිහට කරන්න හිතන් හිටපු එක නැති වුණා. ඒ කාලේ යෙදිලා සිටි කලාකරුවන් ද රට දාලා ගියා. ඒ නිසා වෘත්තියක් විදිහට කලාව කරන්න හිටපු එක නැති වුණා. නමුත් මම කවදාවත් කලාව විනෝදෙට කරන් නෑ. මුලින් මම නැටුම් කලාව ආසාවට පටන් ගත්තට පස්සේ මට තේරුණා මේක විනෝදෙට කරන්න පුලුවන් දෙයක් නෙමෙයි කියලා. යම් කලාවක් ඇතුළේ සාරධර්ම තියෙනවා. අපි දෙයක් කරනව නම් හරියට කරන්න ඕනෑ. මම මේක විනෝදෙට කළානම්  මේ තත්ත්වෙට එන්නෙ නෑ. මම කලාව තෝරගත්තේ රටට කරන සේවයක් විදිහට. තරුණ පරපුර වෙනුවෙන් මම කරන සේවයක් විදිහට මේක කරනවා. ඒ විදිහට මම වෘත්තිය විදිහට නර්තනය තෝරගත්තේ නැති වුණාට මගේ මුළු ආත්මයේම තියෙන්නේ නර්තන කලාව.

ඔබ මේ කලාවට යොමු වුණේ කොහොම ද?

මගේ අක්කා කෙනෙක් හිටියා උඩරට නැටුම් සම්ප්‍රදායට යොමු වුණ කෙනෙක්. ඒ හරහා තමයි මට ආසාවක් ඇති වුණේ නැටුම් කරන්න ඕනෑ කියලා. ඉතින් මට දහම් පාසලේ, පාසලේ එක එක නිර්මාණ වලට දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒවගෙන් තමයි මට කලාවට එන්න ආසාව ඇති වුණේ.

අද වෙද්දී ඔබ ලොකු ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා. ඒ ගැන කතා කළොත්?

මේ වෙනවිට මගේ මුද්‍රා නාට්‍ය කීපයකටම දෙස් විදෙස් සම්මාන හිමිව තිබෙනවා. හොඳම Music Choreography Award එක හම්බවෙලා තියෙනවා. 2003 අවුරුද්දෙ දී බැලේ නර්තනයකට ලංකාවේ වැඩිම සම්මාන 8කට ආසන්න ගණනක් ලැබුණා. විදෙස් සංචාර වලදී ලොකු ප්‍රතිචාර ලැබෙනවා. 2023 දී ඉන්දියාවේ යෝගා Festival එකේ දී මැලේසියාව, ඉතාලිය, නේපාලය, ඉන්දියාව වගේ රටවලින් ලොකු ප්‍රතිචාර ලැබුණා. මම නර්තන ශිල්පියෙක් වුණාට හැම ක්ෂේත්‍රයකම වැඩ කරලා තියෙනවා. එක පැත්තකට කොටු වෙලා නැහැ. මම තව අලුත් දෙයක් විදිහට ශ්‍රවණ ආබාධිත ළමයින්ට ලාංකීය ශ්‍රාස්ත්‍රීය ගීත වලට Perform  කරන්න අවස්ථාව ලබලා දුන්නා. ලාංකීය භාවාත්මක නර්තන යනුවෙන්. ඒක මගේ නිර්මාණයක්. ඒ වගේම මම Body and Mind relaxation යනුවෙන් Dancing true සහ Music true කොහොමද මනුස්සයෙක් ශරීරය සහ මනස නිරවුල් කරගන්නේ කියන වැඩසටහන් හඳුන්වලා දුන්නා. ඊට ගොඩක් ඉල්ලුම තිබෙනවා. ඒ වගේම මම නර්තන කලාවට කරන ලද සේවය වෙනුවෙන් කොලඹ යොවුන් කලා ශිල්පියාට හිමිවන සම්මානය සහ විභූති සම්මානය වගේම නර්තන කලාවට සිදුකළ සේවයේ ඇගයීමක් ඇතුළු ජයග්‍රහණ ගොඩක් ලබලා තියෙනවා.

දැන් මේ වෙද්දී සිදු කරන වැඩ කටයුතු මොනවද?

ජනතාවගෙන් ඈත් වෙමින් පවතින අපේ රටේ  බැලේ නර්තන කලාව  කොහොම හරි ඉදිරියට අරගෙන යෑමේ අරමුණෙන් මම කටයුතු කරමින් සිටිනවා. අවුරුද්දකට අලුත් බැලේ නර්තනයක්  කරනවා. මේ පාර ලොවීනාගේ කතාව කරනවා. ලංකාවේ මෑත භාගයේ සිදුවුණ ආදර කතාවක් ඒක. ඊට කලින් සිංහබාහු, විජය කුවේණි වගේ ගොඩක් නර්තන කරලා තියෙනවා. ඓතිහාසික කතා, ළමා කතා වේදිකාවට  අරගෙන ඇවිත් තියෙනවා. ඒ අතර 2002 දී නර්තනයේ විස්මය, 1998 දී කඩතොලු නිමේෂය, 2004-2005 දී මට මා ද අහිමිව ඇත, 2010 දී පිස්සු නොවෙයි හැටි, ගල් වූ මල්, 2013 දී සුදු පරවියෝ,සප්ත නාරි, දොම්පෙට යන පාර, 2014දී කුවේණි සහ විජය, නර්තනයේ විස්මය, සිදුරුකළ පියාපත්, 2015 දී මාංචු සහ මල්, ශ්‍රී ලාංකේය භාවාත්මක නර්තනය (ශ්‍රවණාබාධිත දරුවන් සඳහා), 2016 දී චක්‍රය බිඳීයයි, 2018 දී සිංහ, 2019 දී නොසැලෙන මනස කියන නිර්මාණ මම සිදුකළ නිර්මාණ කිහිපයක් වෙනවා.

ඉදිරියට මොන වගේ වැඩකටයුතු ද කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ?

ඉදිරියට මේ නර්තන කලාව තවදුරටත් දියුණු කරමින්, නවාංග එක් කරමින්  කරන්න බලාපොරොත්තු වෙනවා. මේ රටේ විනාශ වෙමින් යන තරුණ කොටස් වෙනුවෙන් යමක් කරන්න අදටත් මම වැඩ කරනවා. බැලේ කියන්නේ ලෝකෙ තිබෙන හොඳම සැහැල්ලු නර්තන අයිතමයක්. ඒ වගේම නිර්මාණශීලීන් බිහි කරන නර්තනයක්. දරුවන් මේ කලාව තුළින් ඉදිරියට යවනව නම් ගොඩක් ප්‍රශ්න අඩුයි. ඉතින් මං ළඟට එන දරුවන්ට මම නටන්න වගේම පොෙළාවේ පය ගහලා ජීවත්වන විදිහත් උගන්නවා. කලාකරුවා කියන්නේ දෙවියත් මනුස්සයත් අතර සිටින කෙනෙක් විදිහට මම දකින්නේ. ඒක අද සමාජය තේරුම් අරන් තියෙන්නේ හරි අඩුවෙන්. ඉතින් මට ලොකු හීන නෑ. මට තියෙන බලාපොරොත්තුව තමයි පියවරෙන් පියවර හරි මේ රටේ දූ දරුවන්, හා කලාව වෙනුවෙන් යම් සේවයක් කරන්න.

මේ වැඩ කටයුතු සිදු කරද්දී පැමිණි බාධක අභියෝග මොනව ද?

ඇත්තටම අපි මේ එක බැලේ නර්තනයක් අවුරුද්දක් පමණ පුහුණුවීම් කරනවා. සංගීතය, ඇඳුම් පැළදුම්, ප්‍රවාහන පහසුකම් වගේ දේවල් සපය ගන්න ඉතාම අමාරුයි. මේ සඳහා  Scholarship එකක් හොයා ගන්න ඉතාම අමාරුයි. මොකද උදව් කරන්න මිනිස්සු නැහැ මේවට. ගොඩක් වෙලාවට වර්තමානයේ මිනිස්සු අනුග්‍රහය දක්වන්න රුචි කරන්නේ බොහෝ දුරට හිස් දේවල් වලට. හරයාත්මක දෙයකට අතහිත දීමට දක්වන උනන්දුව ඉතා අල්පයි. මේ තත්ත්වය කලාව ඉදිරියට ගෙන යාමේ දී තදින් බලපානවා. මට ඕනෑ සමාජය වෙනස් කරලා යහපත් අරමුණක් ලබා දෙන්න. එතනදි කොහොමත් අභියෝගයක් තිබෙනවා.

සුදර්ශනි කෝණාර