“දමයන්ත පෙරේරා..? ඒ කවුද..?”
ඔහුගේ නියම නම අසන කෙනෙක් දෙබැම හකුළුවමින් එසේ ඇසුවහොත් එය පුදුමයක් නොවේ.
“කෝපි කඩේ සුවඳා..”
“ආ.. එයාව නොදන්න පොඩි ළමයෙක්වත් ඉන්නවායැ..”
ඇත්තය. දමයන්ත පෙරේරා කවුදැයි නොදනිතත් සුවඳා ගැන නොදන්නා කෙනෙක් නැත. නියම නම යටපත් කරගෙන රඟ පෑ චරිතයක නමින් ඉස්මතු වූ නළුනිළියන් සිටින්නේ අතළොස්සකි. දමයන්ත පෙරේරාත් ඒ අතර ඉදිරියෙන්ම සිටින්නේය.
මහරගම විද්‍යාකර විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සමයේ පටන්ම ඔහු රංගනයට මෙන්ම නැටුමටත් එක සේ දක්ෂතා දැක්වීය . ඔහු පහත රට පමණක් නොව උඩරට නැටුම් ද හැදෑරුවේය. ඔහුගේ දක්ෂතා මැනවින් හඳුනාගෙන සිටියේ පාසලේ සංගීත ගුරුතුමිය වූ දයා අල්විස්ය. ඇය පාසලේ හැම කලා කටයුත්තකටම ඔහු සම්බන්ධ කළාය.
පාසල් අවධියෙන් පසුව ඔහු වේදිකා නාට්‍යවලට එක් වූයේය. ඔහු රඟ පෑ වේදිකා නාට්‍ය සංඛ්‍යාව තිහකට අධිකය. ඔහු කෝපි කඩේ සුවඳා බවට පත් වීමත් අපූරු කතාන්දරයකි.
ඒ දිනවල දමයන්ත සිටියේ ආචාර්ය සාලමන් ෆොන්සේකාගේ රංගන පාඨමාලාවක් හදාරමිනි. ඔහුගේ මිතුරෙකු වූ එස්. කේ කීර්ති ස්වාධීන රූපවාහිනියෙන් මෙහෙයවූ , ඇන්ඩෲ ජයමාන්න විසින් පවත්වන ලද තිර පිටපත් රචනා වැඩමුළුවකට සම්බන්ධ වී සිටියේය.
“මේ වැඩමුළුවේ පිටපත් රචනා ප්‍රායෝගික පුහුණුවක් තිබ්බා.. ඒකට කීර්ති ලියලා තිබ්බේ කෝපි කඩේ කියලා කතාවක්.. මේකේ සුවඳා කියන චරිතය රඟ පාන්න පුළුවන් ද කියලා කීර්ති අපේ පාඨමාලා කණ්ඩායමේ කීප දෙනෙකුගෙන්ම අහලා තිබුණා.. ඒත් චරිතයේ ස්වභාවය හින්දා හරි, ඉගෙනීමට බාධාවක් වෙයි කියලා හරි කවුරුවත් කැමති වුණේ නෑ.. මගෙන් ඇහැව්වම මම කැමති වුණා.. හැබැයි ඒ චරිතය මගේ වෘත්තීය ජීවිතයේ කඩඉමක් වෙයි කියලා නම් මම හීනෙකින්වත් හිතුවේ නෑ..” සුවඳා චරිතය පිළිබඳව කතා කරමින් දමයන්ත පෙරේරා කීවේය.
1987 ආරම්භ කළ කෝපි කඩේ දෙවන කථාංගයෙන් සුවඳා කලඑළි බැස්සේය. එය ජනප්‍රිය වූයේ අදහා ගන්නට නොහැකි තරම් වේගයෙනි.
“සුවඳා කියන්නෙ ගමේ රස්තියාදු ගහන මෝඩ පහේ කොල්ලෙක්.. කේ. ඩී. සිරිපාලයි මායි කතා වෙලා ඒ චරිතය ගොඩනැඟුවේ.. කොණ්ඩේ ඉස්සරහට පීරමු, දතක් අඩු කරමු, සරම මෙහෙම අඳිමු, උඩට ඉරිච්ච බැනියමක් ඇඳලා බෙල්ලට සුරයක් දාමු කියලා තීරණය කෙරුවේ අපිමයි.. සුවඳා ඔළුවට අතින් ගහගන්න එක, ඇවිදින ක්‍රමය ප්‍රේක්ෂකයෝ හුඟාක් ප්‍රිය කළා..” ඔහු කීවේය.
එවකට දමයන්ත පෙරේරා සේවය කළේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේය. එහි සේවක සගයෝ ඔහුගේ රංගන ජීවිතය සාර්ථක කර ගන්නට දැඩි සහයෝගයක් දුන්හ. ඔහු රූගත කිරීම්වලට යද්දී ඔහුගේ කාර්යයන් තමා වෙත පවරා ගන්නට ඔවුන් කිසි විටෙකත් අදිමදි කළේ නැත.
“මම බත්තරමුල්ලෙ ඉඳලා අයි ටී එන් එකට යන්නෙ බස් එකේ.. සුවඳා චරිතයයි මායි මොන තරම් වෙනස් ද කියනවා නම් මිනිස්සු කවදාවත් මාව අඳුනා ගත්තෙ නෑ.. සමහර විට මං ළඟම ඉන්න මිනිස්සු ඊයේ විකාශය වුණ කොටසේ සුවඳගෙ චරිතය ගැන කතා කර කර යනවා.. මම ඕනෑකමින් ඒවා අහගෙන යනවා.. ඒක හරි අපූරු අත්දැකීමක්..” ඔහු සිනාසෙමින් පැවසුවේය.
එහෙත් 2005 කෝපි කඩේ 1000 වෙනි කථාංගය විකාශය වූවාට පසුව ඔහු තමාට ඒ තරම් ජනප්‍රියත්වයක් උරුම කර දුන් සුවඳාට සමු දුන්නේය.
“එහෙම සමු ගන්න පසුතැවිල්ලක් දැනුණෙ නැද්ද..?” මම ඇසීමි.
“නෑ.. ඒකට හේතු කීපයක්ම තිබ්බා.. ඒ වෙනකොට කෝපි කඩේ පිටපත්වල ගුණාත්මක භාවය අඩු වෙලා තිබුණා.. ඒ වගේම මට මගේ වෘත්තීය ජීවිතයයි, රංගන ජීවිතයයි සමතුලිත කර ගන්න අමාරු වුණා.. ප්‍රධානම හේතුව තමයි හුඟක් අධ්‍යක්ෂවරු හිතුවා මට රඟ පාන්න පුළුවන් සුවඳා වගේ සැහැල්ලු චරිත විතරයි කියලා.. ඇන්ටිගනී වේදිකා නාට්‍යයේ බැරෑරුම් චරිතයකට සෝමලතා සුබසිංහ මහත්මිය මාව තෝරාගත්තම හුඟක් අය ඇගෙන් ඇහුවලු ඇයි ඔය චරිතෙට සුවඳව ගත්තෙ කියලා.. ඒත් ඇය කියලා තිබුණේ මම සුවඳෙක් ගැන දන්නෙ නෑ.. මගේ හිතේ ඇඳිලා තියෙන චරිතයට ගැළපෙන කෙනා මම ගත්තා කියලා.. මංගල දර්ශනයෙදී ලැබුණ ප්‍රතිචාරවලින් පස්සෙ හැමෝම හිතන්න ඇති ඇය මං ගැන තිබ්බ විශ්වාසයට මම සාධාරණය ඉෂ්ට කළා කියලා..” ඔහු කීවේ තෘප්තිමත් හඬකිනි.
රන් හිරු රැස් 2 ටෙලි නාට්‍යයේ රඟ පෑ චරිතය ගැන ද ඔහු කතා කළේ ආශාවෙනි. හැත්තෑ එකේ කැරැල්ල පසුබිම් කර ගත් එහි රූගත කිරීම් තිබුණේ මග්ගොන පැත්තේ ගල්ගුහාවලය.
“ත්‍රස්තවාදී කණ්ඩායමක නායකයෙක් විදියට මම රඟ පෑවේ.. මේකේ ප්‍රධාන චරිතය රඟ පෑවේ රොෂාන් රවීන්ද්‍ර.. පිටපත ලිව්වේ මහාචාර්ය නිමල් සේනානායක. කැලෑ ඇතුළේ ලොකු කට්ටක් කන්න සිද්ද වුණා.. අධ්‍යක්ෂ සුමිත් තිත්තවැල්ල හදිසියේ මිය ගිය නිසා ටෙලි නාට්‍යය ඉබේම නතර වුණා.. තව දර්ශන කිපයක් විතරයි ඉතුරු වෙලා තිබුණේ.. විකාශය වුණා නම් ඒක ප්‍රේක්ෂක අවධානය උපරිමයෙන් දිනා ගත්ත ටෙලි නාට්‍යයක් වෙන්න තිබ්බා..” දමයන්ත පෙරේරා පැවසුවේය.
ජීවිතය සුන්දරයි, වටමළුව, සල්ලි පොකුරු, නිලංජනා, නටති අයෙක් සුරා මතින්, සැලමුතු පින්න, රෑ දනියෙල් දවල් මිගෙල්, සැපට දුකට සනී ඇතුළු ටෙලි නාට්‍ය හා චිත්‍රපටි කිහිපයකම රඟ පෑ ඔහු මේ දිනවල රොම්බ තෑන්ක්ස් වේදිකා නාට්‍යයේ රඟ පාන්නේය. මේ වන විට ඔහු සේවය කරන්නේ සොෆ්ට්ලොජික් රක්ෂණ සමාගමේ නිලධාරියෙකු ලෙසිනි.
“මම විශ්වය එක්ක ගනුදෙනු කරන, විශ්ව ශක්තිය අදහන කෙනෙක්.. මම විශ්වාස කරන්නෙ අපි කරන කියන දේවල්ම තමයි අපිටත් ප්‍රතිඵල විදියට ආපසු ලැබෙන්නෙ.. යහපත් දේවල් කළොත් යහපත, අයහපත් දේවල් කළොත් අයහපත.. ඊර්ෂ්‍යාව, කුහකකම, තණ්හාව අඩු කර ගත්ත පුද්ගලයෙක් බවට මාව පත් කරනවාට, මගේ සිත සුවපත් කරලා දෙනවට මම විශ්වයට ස්තුති කරනවා..” ඔහු කියන්නේය.
චන්දි කොඩිකාර