කෝච්චි නැති පාරවලට කාම්බෝජයෙන් අපූරු වාහනයක්


 

“අපට කෝච්චියක් එනතුරු ඉන්නවා කියන්නේ පිස්සු හැදෙනවා වගේ වැඩක්.” හෝන් ටික් කියයි. “මොකද අපේ රටේ කෝච්චියක් දකින එකත් දැන් හීනයක් වගෙයි. ඒ ගමන් බිමන්වලට හරි යන්නේ නොරිය. ඒක ඕනෑම වෙලාවක ඕනෑම තැනක ඕනෑම විදියට යන්න පුළුවන් ප්‍රවාහන සේවයක්.” හෝන් ටික් තවදුරටත් කියයි. ඔහු කාම්බෝජයේ ජනප්‍රියම ප්‍රවාහන මාධ්‍යය වන නොරි සේවක රියැදුරෙකි.   


නොරිය යනු කාම්බෝජයේ දුම්රිය සේවාව වෙනුවට එහි වැසියන් විසින් නිවෙසේදී සාදා ගන්නා ලද සරල වාහනයකි. එහෙත් නොරිය දුවන්නේ ද දුම්රිය පාරවලය.   
දශක ගණනාවක් තිස්සේ කැමරූජ් ගරිල්ලන් සමග දිගින් දිගටම පැවතුණ සිවිල් යුද්ධය හේතුවෙන් කාම්බෝජයේ රජයේ දුම්රිය සේවය වළපල්ලටම ගිය අයුරක් දක්නට ලැබුණ අතර ඊට විකල්ප සොයා ගැනීම ද ජනතාවටම කිරීමට සිදු විය.   
මේ නිසාම මීට දශක දෙකක පමණ කාලයක් තිස්සේ මගී ප්‍රවාහනයත් භාණ්ඩ එහා මෙහා ගෙන යාමත් වැඩිපුරම සිදු වන්නේ නොරිවලිනි.   


“කෙනෙක් ලෙඩ වෙන ඕනෑම වෙලාවක අපට පුළුවන් එයා ළඟ පාතක රෝහලකට ගෙනි යන්න. ඕනෑම රෑක පානක වුණත් අපි අපේ සේවය එක හිතින්ම ලබා දෙන්න අපි සූදානම්.” නොරියක කොන්දොස්තරවරයකු හැටියට වැඩ කරන ගැටයෙක් පැවසුවේය. 

 
අත්හරින ලද හමුදා වාහනයකින් හෝ නැතහොත් වෙනත් වාහනයකින් ගලවා ගන්නා ලද ඇක්සල් දෙකක් මත උණ බම්බු වේදිකාවක් තනා සකසා ඇති මෙම අපූරු වාහනයේ ගමන බිමන රේල් පාරේය.   
ඉන්ධනවලින් ක්‍රියා කරන කුඩා එන්ජිමක් කූඤ්ඤා ගසා බම්බු වේදිකාවේ සවි කර ඇත. බම්බු වේදිකාවේ කුඩා සිදුරකින් ඝනකම් පටියක ආධාරයෙන් එන්ජිමත් ඇක්සලයත් සම්බන්ධ කර ඇත්තේ කාම්බෝජ ගැමියන්ගේ තාක්‍ෂණ ශිල්පය කදිමට පෙන්නුම් කරමිනි. නොරිය දුවන්නේ කුඩා එන්ජිමෙන් ඇක්සලයට දෙන බලයෙනි.   


කාම්බෝජයේ දුම්රිය සේවාව නිරිතදිග කාම්බෝජයේ සිහානොක්විල් සිට නොම්පේන් නුවර හරහා තායිලන්ත දේශ සීමාව දක්වාම විහිද යයි. මුළු දුර ප්‍රමාණය කිලෝමීටර් සිය ගණනකි.   
දශක ගණනාවක් තිස්සේ කාම්බෝජයේ ඇදී ගිය සිවිල් යුද්ධයේ එක් ප්‍රතිඵලයක් වූයේ පොදු ප්‍රවාහන සේවා බිඳ වැටීමයි. කාම්බෝජයේ මහ පාරවල් ද දුම්රිය පාරවලටත් වඩා එවකට අන්ත දුෂ්කර විය. ගම්බද පාරවල් වැසි දිනවලට කුඹුරුවලට නොදෙවැනි විය. මේ නිසාම කාම්බෝජ වැසියන්ට සෑහෙන කාලයක පටන් විකල්ප ප්‍රවාහන සේවාවක ඕනෑකම ද යහමින්ම දැනෙමින් තිබිණි.   
1980 වසරේදී පමණ නොරිය නොහොත් බම්බු කෝච්චිය සොයා ගැනීම කාම්බෝජ වැසියන්ගේ දුක්ඛිත ගමනාගමනයෙහි ප්‍රතිඵලයකි.   


“නොරිය ආව මුල් කාලයේ දී බොහොමයක් අනතුරු සිද්ධ වුණා.” හෝන් ටික් කියයි. ඔහු එක් නැවතුම් පොළක සෙනඟ එකතු කර ගැනීමට ගන්නේ මිනිත්තු කීපයකි. ඔහු නොරි රියැදුරෙකි. ඔහු මේ රැකියාව ආරම්භ කර මේ වනවිට වසර දහයකටත් වැඩිය.   
“කොහොම වුණත් නොරියක දහ පහළොස් දෙනකු එක්ක සෑහෙන බඩු කන්දරාවකුත් දාගෙන යන්න පුළුවන්.” හෝන් ටික් සඳහන් කරයි.   
අද වනවිට නොරියක ගමන් කිරීම කොහෙත්ම අන්තරායකාරී නොවන තත්ත්වයට පත්ව ඇත. නිල නොවන අයුරින් මාර්ග නීති පද්ධතියක් පවා සැකසී ඇත.   


“එක දුම්රිය මාර්ගයක් විතරක් ඇති වෙලාවට නොරි දෙකක් එකට හමු වුණාම ඒ දෙකෙන් අඩුම බඩු තොගය ඇති නොරිය රේල් පාරෙන් අයින් කරගෙන අනෙක් නොරියට යන්න ඉඩ දෙනවා. මොන විදිහෙන් හරි නොරි දෙකේම එක වගේ බඩු පටවලා තියෙනවා නම් මේ දෙකෙන් දුම්රිය ස්ථානයට වඩාත්ම කිට්ටු නොරිය ආපසු හරවාගෙන යනවා.”   


පනස් හැවිරිදි ලෝන්ග් ස්කෝන්, බම්බු කෝච්වියෙන් පැමිණ ඇත්තේ බොහෝ දුර සිටය. ඒ සැමියාත් දියණියත් සමග ඇයගේ මවුපියන් බැලීමටය.   
 ඇය පවසන අයුරු නොරියක ගමන් කිරීම ද සුන්දර අත්දැකීමකි.   
“මට ඕනෑ වුණා වටේ පිටේ සිරි නරඹන ගමන්ම පුංචි විනෝදයකුත් ලබා ගන්න. ඇත්තටම ඒකට නොරිය හොඳ වාහනයක්.” ස්කෝන් කියයි.   


ඒ කොහොම වුණත් මිනිසාගේ දුක නිසාම බිහිවුණු කාම්බෝජයේ නොරිය අද වනවිට එරට ජනප්‍රියම ප්‍රවාහන මාධ්‍යය වී ඇත. එය සමස්ත කාම්බෝජ වැසියන්ගේ ජයග්‍රහණයක් වී ඇත්තේ එරටට විදේශ විනිමය ගෙනෙන සංචාරක ව්‍යාපාරයට ද එය විශාල රුකුලක් වී ඇති හෙයිනි.   

 

 

 

Norry - The unusal train නම් ලිපියේ සිංහල පරිවර්තනය  රංජන් වික්‍රමනායක