උඩරට මැණිකේ උඩරට යන හැටි


MOTOR SHOW මෝටර් ෂෝ

572 British Columbia උඩරට මැණිකේ අද වනවිට දෙමටගොඩ ධාවනාගාරය නවතා ඇති අයුරු

 

උඩරට මැණිකේ ගැන කතා කිරීමේ දී ඇය ගමන් ගන්නා මාර්ගයේ ඇති සුන්දරත්වය මෙන්ම ඇය ධාවනය කිරීම සඳහා එක් කර ගනු ලැබූ එන්ජින් පිළිබඳව ද කතා නොකරම බැරිය.   


කඩා හැලෙන දිය ඇළි, රටා මවන තේ වතු, අහස සිඹින කඳුගැට අතරින් දිවෙන දුම්රිය මගෙහි උඩරට මැණිකේ හැඩ වැඩ ගමනක යෙදුනේ මීදුම් සලු‍ ගත දවටා ගත් කෙල්ලක සේය.   


උඩරට මැණිකේට පෙම් බැඳි දුම්රිය ලෝලී ප්‍රේමවන්තයන් ගණන මෙතෙකැයි කිව නොහැකි තරම්ය.   
සිය බිරිඳගේ ජන්ම දිනය අමතක ඇතැම් දුම්රිය පෙම්වතුන්ට උඩරට මැණිකේ පෙම්බරියගේ වතගොත මතකය මෙම ලිපියට තොරතුරු සොයා ගිය ගමනේදී ඇය ගැන බොහෝ දේ මා හට ලබා දෙන්නට බොහෝ දෙනෙක් ඉදිරිපත් වූවෝය.   


ඔවුන් සතුව ඇත්තේද යකඩ හීන සමුදායකි.   

 

මුලින්ම මැණිකෙට යෙදූ M2 572 (British Columbia) එන්ජිම අද පහතරට මාර්ගයට යොදා ඇති අයුරු.

 

 

ඒ අතරින් ඇය ගැන ලියවුණු ඉපැරණි පත්තර පිටු පවා ජාතික ලේඛනාරක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් සොයා ඒවාද ආරක්ෂා කරන මරදාන නියෝජ්‍ය ගමනාගමන අධිකාරි කාර්යාලයේ දුම්රිය ස්ථානාධිපති නලීන් අබේසිංහ මහතා ඇය ගැන පැවසූ කතා රාශියකි.   


ඔහු පවසන ආකාරයට අද ඔබ උඩරට මැණිකේ ලෙස හඳුනා ගන්නා එම් 2 දුම්රිය කොළඹ ක්‍රමය (Colombo Plan) යටතේ කැනඩාවෙන් මෙරටට ලැබුණු ආධාරයකි.‍   


1956 අප්‍රේල් මස 23 වැනිදා උඩරට දුම්රිය ධාවනයට එක් වූ ඇය කාන්තා නම් ලද තුන්වැන්නිය වෙමින් අප රටේදී උඩරට මැණිකේ ලෙස හැඳින්වුවත් ඇය උපන් රට වන කැනඩාවෙන් ඇයට ලැබුණු මුල් නම වනුයේ M2 572 (British Columbia) බ්‍රිටිශ් කොලොම්බියා ය.   


කොළඹ ක්‍රමය යටතේ කැනඩාවෙන් මෙරටට ආධාර ලෙස ලැබුණ Class M2 වර්ගයේ දුම්රිය එන්ජින් ගණන පහකි. 

 
ඒ යටතේ M2-569 (Ontario) ඔන්ටාරියෝ, M2-570 (Alberata) අල්බරේටා, M2571-(Saskatchwan) සස්කච්වන්, M2-572 (British Columbia) බ්‍රිටිශ් කොලොම්බියා, M2-573 ක්විබෙක් දුම්රිය එන්ජින් මෙරට ලැබී ඇත.   


 1954 වර්ෂයේදී මෙම එන්ජින් පහ කොළඹ වරායෙන් මෙරටට ගොඩ බෑමත් සමග දුම්රියේ ගමන් මග තව තවත් ජවසම්පන්න විය.  


එය අප රටේ දුම්රිය ගමන් මග නව මාවතකට යොමු වූ කාලයකි. වාෂ්ප එන්ජින් යුගයෙන් නව යුගයකට මග සැදුණු කාලයකි.   


දුම්රිය එන්ජිම විදේශීය රටකින් මෙරටට ගෙන්වුවද එම දුම්රිය ධාවනය සඳහා අවශ්‍ය වන්නා වූ උඩරට මැණිකේ ප්‍රථම ධාවනයට ද යොදාගත් මැදිරි මෙරට නිෂ්පාදිත ලී මැදිරි බවට තොරතුරු ඇත.   
දුම්රිය මැදිරි නිෂ්පාදන ඉතිහාසය පිළිබඳ සොයා බැලීමේදී එය අප රටට අලු‍ත් දෙයක් නොවන්නේය. ඒ අප රටේ දුම්රිය මැදිරි නිෂ්පාදනයේ ආරම්භය 1918 දක්වා වූ අතීතයකට දිව යන්නකි. 

 

 වසර හැටක සැමරුම් ලාංඡනය

 


දුම්රිය ගමන ආරම්භක මුල් අවස්ථාවේදී ඒරොප්පේ සුදු මහත්වරුන්ගේ රටින් දුම්රිය මැදිරි මෙරටට ආනයනය කරනු ලැබූව ද පසුකාලීනව එම මැදිරි අප රටේම නිෂ්පාදනය කිරීම සඳහා වූ දක්ෂයන් බිහි විය.  
දුම්රිය මැදිරියක ආරක්ෂාව සැලසෙන බොගිය (රෝද සවි වන ආරක්ෂක කොටස) සහ පිටත රාමුව එංගලන්තයෙන් මෙරටට ගෙන්වා ලී මැදිරිය මෙරටදී නිෂ්පාදනය සිදු කර ඇත.   


එදා උඩරට මැණිකේ සඳහා යෙදවූ දුම්රිය එන්ජිම මෙරටට ආනයනය කිරීමට පෙර සිට එකී එන්ජින් සඳහා යෙදවූ ලී මැදිරි මෙරට දී නිෂ්පාදනය කර තිබූ බවට තොරතුරු ඇත.   


රත්මලාන දුම්රිය අංගන වැඩබිමේ සාප්පු අංක (23) විසි තුනෙහි එනම් වඩු කර්මාන්තායතනයේ උඩරට මැණිකේ සඳහා යෙදවූ ලීයෙන් නිමවූ දුම්රිය මැදිරි සකසා ඇති අතර එහි නිෂ්පාදන කටයුතු සඳහා බුරුම රටෙන් ආනයනය කළ ලී විශේෂ සහ තේක්ක, ඕක් ලී අමුද්‍රව්‍ය භාවිතකොට ඇත.   


නැවත නැවතත් කියවා රසවිඳිය හැකි දුම්රිය නමැති උප සංස්කෘතිය තුළ ඔබ අසා ඇති ගෑස් ලාම්පු, රේල් කරත්ත, ඩක්කු, සුද්දගේ වේදිකාව, යකඩ යකා, ට්‍රෑම් කාර් අතරට සුපිරි පැලැන්තියේ නෝනා මහත්වරුන්ට වෙන් වූ බිස්නස් ක්ලාස් එකක් වැනි ෆස්ට් ක්ලාස් මැදිරියක් ද එකල උඩරට දුම්රියේ වෙන්කොට තිබුණි.   
එදවස අද මෙන් නොව තදබදයක් නැත. තුනේ පංතියේ ටිකට් ගෙන ෆස්ට් ක්ලාස් එකේ ගමන් කරන්නන්ට ඉඩක් නැත.   


එම පහසුකම් සහිත විශේෂිත මැදිරි එදවස දුර ගමන් සඳහා යෙදවූ රුහුණු කුමාරි, යාල් දේවී දුම්රියන් තුළ ද පැවතුණ බවට තොරතුරු ඇත.   


එම ‍බිස්නස් ක්ලාස් මැදිරියේ මිනි රේල් බාර් එකක් පවත්වාගෙන ගොස් ඇති අතර එය සුපිරි පැලැන්තියේ නෝනා හාමුලා සහ සුදු මහත්වරුන්ට දුම්රිය ගමනේදී ලැබුණු විශේෂ පහසුකමකි.   


අද දවසේ රේල් බාර්, රේල් ක්ලබ් තිබුණේ නම් එය ඉවත් කරනතුරු මරාගෙන මැරෙන්නට මෙන් පිරිසක් බිහිවනවා නොඅනුමානය.   


කනවානම් කන්නත් බොනවානම් බොන්නත් හැකි ලෙස සැලසුන පහසුව ඇති ෆස්ට් ක්ලාස් මැදිරිය අද මෙන් නොව එය වචනයේ පරිසමාප්තියෙන්ම ෆස්ට් ක්ලාස් මැදිරියකි.   


බදුලු‍ ගමනේදී දැනෙන සීතල මග හරවා ගත හැකිවන පරිදි සුපිරි පැලැන්තියේ මහත්තැන්ලා විස්කි වීදුරුවකින් බ්‍රැන්ඩි බෝතලයකින් සලු‍ වනවිට අප්පු හාමිලා, බණ්ඩයියලාට කෝපි උගුරකින් සප්පායම් වන්නටද  උඩරට මැණිකේ දුම්රිය මැදිරිවල පහසුකම් සලසා තිබී ඇත.   

 

 මෙරටදී දුම්රිය ලී මැදිරි නිමවමින්

 


එදවස තිබූ රේල් බාර්, රේල් ක්ලබ් අද උඩරට දුම්රියේ හෝ වෙනත් දුර ගමන් සේවාවල ද දක්නට නැත. කාලයාගේ ඇවෑමෙන් එම සේවා පහසුකම ඉවත්ව ගොසිනි.   


දුම්රිය ලෝලීන් රාශියකගේ ආදරය අවධානය දිනාගත්තේ M2 දුම්රියේ තාක්ෂණික තොරතුරු සහ එන්ජිමේ ධාරිතාවයන් පිළිබඳව ද අපි සොයා බැලු‍වෙමු.   


දුම්රිය ධාවන බල උප දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු (ධාවන බල) කේ.ජී.එස්. බණ්ඩාර මහතා අප වෙත ලබාදුන් උඩරට මැණිකේ මංගල ගමනට යොදාගත් M2 දුම්රිය එන්ජිමේ දත්ත වාර්තාවන්ට අනුව M2 එන්ජිම කැනඩා සමාගමක් වන (General Motors) ජෙනරල් මෝටර්ස් නමැති ප්‍රසිද්ධ ආයතනයේ නිෂ්පාදිත G12 වර්ගයේ එන්ජිමකි.   


Diesel Electric වර්ගයේ දුම්රිය එන්ජිමක් වන එහි බල සැපයුම ටූ ස්ට්‍රෝක් වන අතර අශ්ව බල 1425 කින් සමන්විතය.   


 උපරිම වේගය පැයට කිලෝමීටර් 112 ක් සනිටුහන් වුවද ලංකාවේ දුම්රිය මගෙහි එම එන්ජිමේ ධාවනය කළ හැකි වේගය වන්නේ පැයට කිලෝමීටර් හැටත් හැත්තෑවත් අතර දුරකි.   


කඳු හෙල් අතරින් දිවෙන දුම්රිය මගෙහි අධික වේගයකින් ගමනේ යෙදීම අනතුරකට අත වැනීමකි.   
ටොන් හැත්තෑ නවයක් බරින් යුතු බව කියන M2 එන්ජිම ලා නිල් වර්ණයෙන් සහ තද නිල් සමග රීදී පැහැයෙන් වර්ණවත් කර ඇති අතර එහි Axel arrangement ක්‍රමවේදය A1A-A1A ලෙස සකසා ඇත.   


හැසිරවීමේ පහසු බව කියන M2 වර්ගයේ එන්ජින් ද‌ාහතරක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබී ඇති අතර එකක් කොටි ප්‍රහාරයට ලක්වී විනාශ වීම නිසා මේ වනවිට එන්ජින් දහතුනක් අප සතුව ඇත.   
මේ වනවිට තවමත් ධාවනයේ යෙදෙමින් මගී ප්‍රවාහනය සිදු කරන වසර හැටක ජන්ම දිනය සමරන දුම්රිය දෙපාර්තමේන්තුව සතු එකම Diesel Electric දුම්රිය එන්ජින් විශේෂය වන්නේ එදා කොළඹ ක්‍රමය යටතේ මෙරටට ලැබුණු M2 එන්ජින්ය.   

 

මුල්ම එන්ජිමට යෙදූ ලී මැදිරි

 


එම අපූරු සොහොයුරියන්ගේ නමින් ධාවනයේ යෙදෙන දුම්රිය එන්ජින් වන M2 අවුරුදු හැටක ආයු කාලයක් සපුරමින් 2014 වර්ෂයේදී අවුරුදු 60 ජන්ම දිනය සැමරූ අපූරු කතාවක් ද ඇත.   


එකී උපන්දින සාදය සංවිධානය කෙරුණේ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහ දුම්රියට පෙම් බඳින්නෙක් වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අසේල කුලතුංග මහතා ඇතුළු පිරිසකගේ මැදිහත්වීමෙනි.   


උඩරට මැණිකේ, රුහුණු කුමාරි, යාල් දේවි යන තරුණ ලියන් සිය වයස අවුරුදු හැට සපුරන ද‌ා එකී උපන් දිනය සිහිගන්වමින් අපූරු උපන්දින සාදයක් පැවැත්විණි.   


එය සිදුවූයේ 2014 වසරේදීය.   


කැනඩාව හා ලංකාව අතර පවත්නා වූ මිත්‍රත්වය සංකේතවත් කරමින් එදින සමරු ලාංඡනයක් ද නිමැවුණු අතර එම සමරුව එදා කොළඹ ක්‍රමයට මෙරටට ලැබුණු එන්ජින්වල සවිකොට ප්‍රදර්ශනයකොට තිබුණි.   
M2 එන්ජිමකින් උපන්දින චාරිකාවක් ද පැවැත්වුණු අතර එය කොළඹ සිට කන්කසන්තුරය දක්වා ගමන්කොට තිබුණි.   


එදා උඩරට මැණිකේ මංගල ගමන ඇරඹි M2 572 (British Columbia) බ්‍රිටිශ් කොලොම්බියා දුම්රිය එන්ජිමේ මේ වනවිට කාර්ය භාරය කුමක්ද?   


මේ වනවිට ඇයගේ භාරකාරීත්වය පැවරී ඇත්තේ දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ අධීක්ෂණ කළමනාකරු (ප්‍රධාන) ඩී.ඒ.ජී.එස්. කුලරත්න මහතාටය.   


මෙම කතාව ලියවෙන දින වෙනකොට ඇයට වයස අවුරුදු 67 කි. වෙනද‌ා මෙන් කඳුහෙල් නගිමින් දුෂ්කර ගමනක යෙදීමට ඇයට හැකියාවක් නොමැත.   


කඳු නැගීමට අපහසු මුත් ඇය මේ වනවිට තැනිතලා මාර්ගයන්හි විශාල බරක් අදිමින් සිටින්නීය.   
මගී දුම්රිය, බඩු දුම්රිය, තෙල් දුම්රිය ගමනට පණ දෙන මෙම පැරණි එන්ජිම විටෙක ගාල්ල උප ධාවනාගාරයේ සිට ගමනේ යෙදෙමින් පානදුර, අලු‍ත්ගම, ගාල්ල, මාතර, බෙලිඅත්ත යන ප්‍රදේශයන්හි සේවය සලසන්නේය.   


තවත් විටෙක ත්‍රිකුණාමලයේ සේවයට යමින් ගල්ඔය, මහව, ගල්ඔය, මඩකලපුව දක්වා සේවය සලසන්නේය.   
පැරණි මැණිකේ වන M2-572 (British Columbia) බ්‍රිටිශ් කොලොම්බියා එංජිම රැකබලා ගන්නා කුලරත්න මහතා පවසන ආකාරයට ඇය මේ වනවිට කඳු නැගීම සිදු නොකළ ද බරපතළ සේවා වාරයන් හි යෙදෙන්නීය.   
ඇය මෙන්ම ඇයගේ සනුහරය M2 එන්ජින් රැකබලා ගැනීමට දෙමටගොඩ ධාවනාගාරයේ පමණක් යොදවා සිටින සේවක කණ්ඩායම 170 කි.   


සෑම ගමන් වාරයක් අවසානයේදීම සුළු අලු‍ත්වැඩියා කටයුතු සහ නඩත්තු කටයුතු මෙන්ම ඇය හැඩ වැඩ කිරීම දෙමටගොඩ ධාවනාගාරයේදී සිදු කෙරුණද ඇය ගැන යෙදෙන බරපතළ අලු‍ත්වැඩියා කටයුතු සිදුකරනුයේ රත්මලාන දුම්රිය අංගන වැඩබිමේදීය.   


මේ වනවිට සිය ජීවිතයේ මැදි වියට එළැඹ සිටින ඇය කඳුරට මාර්ගයේ ගමනේ නොයෙදුන පහතරට දුම්රිය මගේ වැඩිම ආදායම් උපයන කෙටි දුර ධාවනයේ සුවිශේෂ වූ සේවාවක් ඉටුකරමින් සිටින්නීය.   

 

 

රේඛා තරංගනී ෆොන්සේකා