ආදි කාලෙ ජීවත් වූ ළමයින් ඇඳි චිත්‍ර


 

මේ, ලෝකයේ පැරණිතම චිත්‍ර ගැන කතාවකි. මේ චිත්‍ර, අත් පා සලකුණුවලින් නිර්මාණය වූ විස්මිත චිත්‍ර පෙළකි. මේවා හමුවී ඇත්තේ, ටිබෙට් සානුවෙනි. මේවා වසර 2,26,000ක් පැරණි බව මේ වනවිට තහවුරු කරගෙන තිබේ. මේ චිත්‍ර ප්‍රාග් ඓතිහාසික යුගයේ මේ ප්‍රදේශයේ විසූ ළමයින්ගේ නිර්මාණ ලෙස සැලකෙයි. 

මේ චිත්‍ර පළමුවෙන්ම හමුවී ඇත්තේ 2018 දී තිබ්බතයේ කිව්සාන් (Quesang) හි පොළොවෙන් ඉහළට මතු වූ ගල්තලාවකය. ඒ අසල තිබූ උණුදිය උල්පත් හේතුවෙන්, හුණුගල් තැන්පතු ඝනීභවනයවීමෙන් එම ගල්තලාව සැදී තිබේ. කාල නිර්ණ ක්‍රම අනුව, අනාවරණය වී ඇත්තේ මෙම චිත්‍ර මෙතෙක් හමුවී ඇති පැරණිම ලෙන් චිත්‍රවලට වඩා තුන් හතර ගුණයක් පැරණි බවය. 


මේවා සොයාගත් පර්යේෂණ කණ්ඩායම විශ්වාස කරන්නේ මේ චිත්‍රවල හිමිකරුවන් විය හැක්කේ වයස අවුරුදු හතක හා දොළහක ළමුන් දෙදෙනකු බවය. ඒ ළමයින් මොන මානව වර්ගයට අයත් දැයි තවමත් නිශ්චිතව හෙළිදරවු වී නැත. කෙසේ නමුත්, එම ප්‍රදේශයේ විසූ පැරණි මානවයා වූ ඩෙනිසෝවන්වරුන්ට (Denisovans) අයත් දරුවන් දෙදෙනෙකු විය හැකි යැයි විශ්වාස කෙරේ. 


ඩෙනිසෝවන් යනු සයිබීරියාවේ පමණක් නොව දකුණු ආසියාව තෙක් විසිර ගිය ඉපැරණි මානව වර්ගයකි. ජානමය වශයෙන් වෙනස් මානව වර්ගයන් වන මේ ‍ඩෙනිසෝවන් මානවයා නියැන්ඩර්තාල් මානවයාට දුරින් නෑකම් කියයි. තවමත්, අබිරහසක්ව පවතින මේ මානව විශේෂයට මේ නම තබා ඇත්තේ රුසියාවේ, දකුණු සයිබීරියාවේ ඇල්ටායි කඳුකරයේ ඇති ඩෙනිසෝවා (Denisova Cave) ලෙන්වලින් හමුවූ ඔවුන්ගේ ශේෂයන් නිසාය. ලෙන්වල කළ කැනීම්වලින් හමු වී ඇති ශේෂයන්ට අයත් වූයේ දතක් සහ ඇඟිල්ලක කොටසකි. ඔවුන් ආසියාව පුරා විසිර පැතිර සිටි බව අනාවරණය වූයේ එම ශේෂයන් විලේෂණය කිරීමෙන් අනතුරුවය. මුලින් ම මෙය එතරම් අවධානයට ලක් නොවුණත් පසුව 2020 දී, විද්‍යාඥයන් විසින් මේ ඩෙනිසෝවන් ජාන තිබ්බතයේ බයිෂ්‍යා කාස්ට් ලෙන් (Baishiya Karst Cave) වලින් සොයා ගනු ලැබුණි. ඩෙනිසෝවා ලෙන්වලින් බැහැරව ඒ ජාන හමු වූ ප්‍රථම වතාව එයයි. 


 

චීනයේ ගුවාන්ෂෝ (Guangzhou) විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්ට අනුව, තිබ්බතයේ කිව්සාන් ගල් තලාවෙන් හමුවුණු මේ ප්‍රාග් ඓතිහාසික කුරුටු චිත්‍ර, ප්‍රංශයේ, ස්පාඤ්ඤයේ හා ඉන්දුනීසියාවේ දැනට හමු වී ඇති පැරණි ලෙන් චිත්‍රවලට වඩා තුන් හතර ගුණයක් පැරණි ය. 


මේවා සැබැවින්ම චිත්‍ර කලා ගණයට වැටෙනවාදැයි සලකා බැලීමට ඔවුන් ඇමෙරිකාවේ නිව්යෝක් කෝනෙල් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා විශේෂඥයකු වූ තෝමස් අර්බන්ගේ මතය විමසීමක් කර ඇත. අර්බන් මීට පෙර, නිව් මැක්සිකෝවේ වයිට් සෑන්ඩ්ස් ජාතික වනෝද්‍යානයේ දී හමු වූ පා සලකුණු අධ්‍යයනය කර අත්දැකීම් ඇත්තෙකි. 


‘පළමු වන ඉඟිය අපට ලැබෙන්නේ මේ පා හා අත් සලකුණු සටහන් වෙලා තියෙන ට්‍රැවලින් (travertine) පාෂාණ විශේෂයෙන්. ඒවා බොහෝ විට පිහිටන්නේ උණු දිය උල්පත් ආශ්‍රිතව තැන්පත් වෙන හුණු ගල්වලින්. ඒවා පසුව ක්‍රම ක්‍රමයෙන් කාලයක් තිස්සේ ඝනීභවනයට පත් වෙන්නට ඇති.’ යැයි අර්බන් පවසා තිබේ. 


ලු‍සිත ජයමාන්න