අතුරුපස


පාසල් ගිය පුතා  


පාසල් ගොස් ගෙදර පැමිණෙන පුතාගේ මුහුණ එතරම් හොඳ නැති බව මව දුර තියාම දුටුවාය.  
‘අනේ අම්මෙ ... මට නම් බෑ ආයේ ඉස්කෝලෙ යන්න!’ අතේ තිබූ ෆයිල් වගයක් මේසය මත දැමූ පුතා කීවේය.   
‘ඇයි පුතා ඉස්කෝලෙ යන්න බෑ කියන්නේ?’ මව ඇසුවේ ආදරයෙනි.  
‘ඉස්කෝලෙ ළමයි හැමෝම මාත් එක්ක තරහයි! උන් මට බණිනවලු! ගුරුවරුත් මා එක්ක අමනාපයි!’   
‘එහෙම කියලා බෑනේ පුතා! හෙට යන්න ඕනැ ඉස්කෝලෙ!’  
‘අම්මා නම් කියයි! මට බෑ ...... බෑමයි!’ පුතාගේ මුරණ්ඩුකම දුටු මව උදහස් වූවාය.  
‘බෑ? උඹ නැතිව කොහොම ද ඉස්කෝලෙ වැඩ කෙරෙන්නෙ? උඹ නේද ඒකෙ ප්‍රින්සිපල්?’  


නරක ලෙඩක්  


රෝගියාගේ විස්තරය අසා සිටි වෙද මහතා ඔහුට මෙසේ උපදෙස් දුන්නේය.   
‘මේකට කෑමෙන් බීමෙන් පරිස්සම් වෙන්න වෙයි! එළවළු, මස්, මාළු අගුණයි. බත් පාන් වැඩිය කන්න එපා. තේ කෝපි කිරිපිටි අගුණයි. වාහනවල ගමන් අඩු කරන්න. කාටවත් උපකාර කරන්න එපා. ඇඟපත වෙහෙසවලා වැඩ කරන්න.’  
‘මේක නරක අසනීපයක් ද වෙද මහත්තයා ?’ රෝගියා ඇස් උඩ තබාගෙන ඇසීය.  
‘ඔව්! මේ දවස්වල කාටත් තියෙන ලෙඩක්!’ වෙද මහතා කීය. ‘ආර්ථික අමාරුව!’   


ඩස්ට් එක  


මැද පෙරදිග රැකියාවකට ගිය පුතා සතියකට පසු සිය මවට ඇමතුමක් ගත්තේය.   
‘මෙහේ හැම පහසුකමක්ම තියෙනවා අම්මෙ ...! දේශගුණේ නම් මට අල්ලන්නෙ නෑ. පුදුම රස්නයක්! සේරමත් හරි ඩස්ට් එක තමයි කාලා ඉන්න බැරි!’  


මහලු මව ස්නේහයෙන් මෙසේ පිළිවදන් දුන්නාය.   
‘මක් කරන්ටද පුතේ. මයෙ දෑතින් හදල දෙන කෑම බීම තරං උඹට වෙන මොකවත් හරියන්නෙ නැති වග මං නොදන්නවයැ...? ඒකවත් කාලා හිටින්!’  


ඉබ්බන්ගේ ගුවන් චාරිකා  


කොකුන් දෙදෙනකුගේ උදව්වෙන් අහසින් ගිය ඉබ්බාගේ ශෝකජනක අවසානයෙන් කලක් ගත විය.   
ඊළඟ නියඟය ද එළැඹිණි. ඒ වනවිටත් කොකුන් හා ඉබි පවුල අතර මිත්‍ර සම්බන්ධය එසේම පැවතුණි. අහසින් ගිය ඉබ්බාගේ බාල සහෝදරයන් තිදෙනා, දිනක් ඉරිතලා ගිය වැව් පිටරියක දී කොකුන් හා කතා කරමින් සිටියහ.  


‘මට දුක උඹල ගැනයි!’ කරවැල්හාමි කීවේය. ‘මේ පළාත නියඟෙන් කරකුට්ටං වුණාට අපේ අහ නම් බලන්න ලස්සනයි නිල්ල! ඒ වුණාට මොකද ඉතින් කරන්නෙ?’   


‘උඹලගෙ ලොකු අයියා කරගත්තු දේට අන්තිමේ අපටනේ දෝස්මුරේ වැටුණේ? කොහෙද ඉතින් උදව්වක්වත් කරන්නෙ?’ බකතපස් කීවේය. 

 
‘එහෙම කියන්න එපා!’ මද්දුම ඉබ්බා කීය. ‘ඒක වුණේ එයාගෙ කටහැකරකම නිසයි. අපි ලෑස්තියි දැන් වුණත් එහේ යන්න!’  


‘ඔව් ... ඔව් ... හොඳ ලීයක් හොයාගෙන දැන්ම යමු!’ බාලයා සහ චූටි ද එය අනුමත කළහ.  
මද්දුමයා සිය ශක්තිමත් ඉබි දත්වලින් ලීය සපාගෙන සිටිය දී, කොකුන් දෙදෙන පළමුව ඔහු රැගෙන ගමනාරම්භ කළෝය. ටික දුරක් යද්දී පහළින් ඉස්කෝලයක් පෙනුණි. ලොකු අයියාට කොල්ලන් විහිළු කළේ මෙතැන දී විය යුතුය.   


‘මේකද මචං අර පොට් එක?’ යි අසන්නට මද්දුමගෙ කට ඇරියා පමණි. බර හෑල්ලුවීම නිසා කලබල වූ කොක්කු පහළ බැලූහ. කළයක් බිඳෙන හඬක් ඇසුණි. කොක්කු ආපසු පැමිණ ඉතිරි ඉබ්බන් දෙදෙනාට සිද්ධිය පවසද්දී ඔවුන් කීවේ තමන් එය බලාපොරොත්තු වූ බවය. ‘ඕකගෙත් කට හොඳ නෑ!’  
මෙවර ගමනට එකතුවුණේ චූටිය. ඉස්කෝලය ද පසුකර බොහෝ දුරක් ගොස්, පස් පියුමින් සුසැ දි මනරම් විලකට ඔවුහු ළඟා වූහ. චූටිගේ සතුට නිම් හිම් නැති විය.   


‘නියමයි මචං!’ යි ඔහුට කියැවුණේ කොකුන් විලට පහත්වෙද්දී අහසේදීමය. පහළ ගල්තලාවක් මත ඔහුගේ පැතුම් සුණු විසුණු වී ගියේය.  


බාලයාට මේ පුවත දැන්වූ විට ඔහු එතරම් කම්පා වූයේ නැත. ‘මම දන්නවා ඔය පණ්ඩිතයන්ට දණ්ඩෙ යන්න බැරි විත්තිය!’ යි කියමින්ම දණ්ඩ හපා ගත්තේය. ගුවන් ගමන යළි ඇරැඹිණි.  


කරදරයක් නැතිව ගමනේ අඩක් පසුකරන ලදී. මෙවර වැරැදුණේ කොකෙකුටයි. එකවරම උගේ හොටෙන් දණ්ඩ ගිලිහී ගියේය. ඉබ්බා කරකැවී ගියමුත් කට ඇරියේ නැත.  


බකතපස් ඉතා ශූර ලෙස කරණමක් ගසා නිමේෂයකින් යළිත් දණ්ඩ අල්ලා ගත්තේය. අනතුර වැළකුණු මුත් මේ ක්‍රියාවෙන් පිනා ගිය බාලයා කට ඇරියේය.  


‘තෑන්ක් යූ මචං!’  
කම්මුතුයි. 

 

 

කලණ මිතුසඳ