අතරමංවූ මහසෙන් රජුට වතුර බොන්න මතුවූ ගල්ළිඳ


අදත් සීගිරි වනපෙතේ දිය නොසිඳෙන මේ ළිඳ වසර 1700 ක් පැරණිය  

ගල්ළිඳේ අවස්ථා දෙකකදී ගත් ඡායාරූප දෙකක්  

 

 

 

සීගිරිය නම්වූ විස්මිත කලා නිර්මාණය පිහිටි අඩවියේ දක්නට ලැබෙන ගල්ළිඳ තවත් එක් ඓතිහාසික නිර්මාණයකි. ගල්ළිඳ එනම් වූයේ එය ගල් අතුරෙන් මතුකරගත් උල්පතකින් සැදුම්ලත් ළිඳක් නිසාය. ගල්ළිඳ උල්පත ළිඳක් බවට පත්වන්නේ සීගිරි රාජධානිය බිහි වීමටත් වසර 150 කට පමණ ඉහතදීය.   

එක්තරා නියං සමයක මෙරට කීර්තිමත් රජෙකු වන මහසෙන් රජතුමා මහ ඝණ වනාන්තරයේ දී මෙම උල්පත මතුකරගෙන පිපාසයෙන් පීඩිතව මරණයේ එළිපත්ත මත වැදහොත් තම සේනාව මරණයෙන් බේරා ගත් බව ජනප්‍රවාද කථාවල සඳහන්වේ. එම ළිඳ ගල්ළිඳ වූවා සේම ළිඳ ඉහල කන්ද ගල්ළිඳ කන්ද නම් විය.   
ගල්ළිඳ මින්නේරි ජනතාව දේවත්වයේ ලා සලකනු ලබන මහසෙන් රජතුමා (දියවර දෙවියෝ) විසින් සොයාගෙන ඇත්තේ මීට අවුරුදු 1700 කට පමණ පෙරදීය. රජුගේ රාජ්‍ය පාලන සමය ක්‍රි.ව. 276 ත් 302 අතර වූ වසර 26 කි. මහාවංශයේ සඳහන් වන පරිදි මහසෙන් රජු දෙටුතිස් රජුගේ බාල සොහොයුරාය.   
රජුගේ ඉතා විශ්වාසවන්ත භික්ෂුවක් වූ සංඝමිත්තගේ මහා විහාරය විනාශ කිරීමේ අදහසට ඉඩ දීමෙන් පනනැගුණු මහජන විරෝධයට මුහුණ දීමට නොහැකිවූ රජු ඒ තත්ත්වය සමනය වනතුරු අනුරාධපුර අගනගරයෙන් බැස රිටිගල රජමාලිගයක් තනවා එහි පදිංචි විය. එසේ සිටිමින් රජු යළි ජනතා කැමැත්ත දිනාගන්නා උපාය මාර්ගයක් වශයෙන් වැව් අමුණු ඉදිකිරීමේ ව්‍යාපෘතියක් අැරඹීය. රජු ගල්ළිඳ උල්පත සොයාගන්නේ ඒ අනුව නුවරගල වැව (වත්මන් මාදුරා වැව) ඉදිකිරීමට යන අතරතුරදී ය.   
 
රජු ඇතුළු පිරිස රිටිගලින් බැස දඹුලු කඳු පන්තිය තරණයකොට සබරඅරණ වැදි ජනාවාසයට (අද හබරණ) පැමි​ණියේ කිරිඹයෙන් (අද මින්නේරිය වැවට ජලය සැපයෙන ප්‍රධාන ස්වාභාවික ඔය) ගමනට අවශ්‍ය ජලය රැගෙන දිවා භෝජනයෙන් පසු යළි නුවරගල බලා ගමන් ඇරැඹීමටය. එසමය දැඩි නියං සමයකි. නියඟය නිසා කිරිඹය සිඳීගොස් තිබිණි. රජු ඇතුළු පිරිස පත්වූයේ මහත් අසීරු තත්ත්වයකට ය. ඔවුන් ගිමන් හරින්ට නැවතුනේ වනගැබේ කිරිඹය නිම්නයේ අද ගල්ළිඳ කන්දයයි ව්‍යවහාර කරණු ලබන කන්ද පහල තැනිතලා භූමියෙහිය. ඒ වේලී ගිය වැසි දිය ඇළකි. පිපාසයෙන් පීඩිත පිරිස වන ගැබේ තැන තැන වැටී පීඩාවට පත්වී සිටියහ. රජු විඩාබරිතව වැටී සිටින පිරිස දැක කම්පාවට පත්ව තුමූම රන් අසිපත රැගෙන වේලී ඉරිතලා ගිය ඇල මග දිගේ ඇවිද යන්නේ සරුවට වැඩුනු තණ පඳුරක් දැක එය රන් කඩු තුඩෙන් ගලවා ඉවතලා ඉක්බිති පෑදුණු ගල් පොත්තද ගලවා ඉවත දමනවාත් සමග විශාල දියකඳක් අහසට විද්දේය.  
දිය ගොබේ දුටු රජුට තමා හෙල දිව මහා රාජෝත්තමයා බවද අමතකව මහා හඬින් සිනාහසුනේය. මහසෙන් රජු සිනහසුනේ මන්දැයි බැලීමට වනයේ තැන තැන වැටී සිටි පිරිස් එදෙසට දුව ආහ. මේ වික්‍රමය පිරිවර දුටුවේ මහත් හාස්කමක් ලෙසිනි. මෙම අපූරු සොයාගැනීම මහසෙන් රජුගේ ඇවෑමෙන් වසර 1700 ක් ගෙවී ගියත් එදාමෙන්ම අදත් (ගල්ළිඳ) සුරැකිව පැවැතීම රජුගේ හාස්කමක් නිසා සිදුවූවක් ලෙස රජරට ජනතාව විශ්වාස කරති.   
 
හබරණ පොලොන්නරුව මහා මාර්ගයේ මොරගස් වැව හන්දියෙන් හැරී සීගිරියට යනේන පටු කාපට් මාවතේ කිලෝමීටර් 8 ක් පමණ ඉදිරියට ගමන් කරන විට හැරී යන අතුරු මාවතේ තවත් කෙටි දුරක් වන ගැබ තුළට යත්දි පළමුව ගල්ළිඳ මහසෙන් දේවාලය හමුවෙයි. එතැනින් තව දුරටත් වන ගැබ තුළට යද්දී මෙසේ මහසෙන් දෙවියන්ගේ හාස්කම් ඇතැයි සැලකෙන ගල්ළිඳ හමුවේ.   
මහාවංශයේ සඳහන් වන පරිදි මහසෙන් රජු ලක් ඉතිහාසයට සාගර බඳු විශාල වැව් 16 ක් ඉදිකොට මහා වාරි විප්ලවයක් සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතත් ඔහුගේ වාරි කර්මාන්ත පිළිබඳ වැඩිදුර තොරතුරු මහාවංශය ග්‍රන්ථාරූඩ කළ මහාවිහාරික භික්ෂූහු රජු සමග තිබූ වෛරය නිසාම මගහරවා ඇතැයි විද්වත්හු කියති. එහෙයින් ඔහු පිළිබඳ බොහෝ තොරතුරු වාර්තා වන්නේ ජනශ්‍රැති මගිනි.   
රජු දියවර දෙවියන් ලෙස හැදින්වෙනුයේ මින්නේරිය වැව ඇතුලු වැව් 16 ක් ඉදිරිකිරීම හේතුවෙනි. ඒ අතරින් ගල්ළිඳ මෙන්ම මින්නේරිය වැවත් නොබිඳී නොකැඩී පැවතුනේ රජුගේ හාස්කමක් නිසායයි එදා මෙන්ම අදත් මින්නේරිය පුරාණ ගමේ දේවාලය, වැවේදෙවොලය සහ ගල්ළිඳ යන දේවාලවලත් ගොවීන් කමතේදිත් කුඹුරේදිත් අලුත් සහල් මංගල්‍ය උත්සව පවත්වා දෙවියන් පුදා කරන්නේ එහෙයිනි. එසේම ඉදිරි වගා කන්නයත් ආරක්ෂා කර දෙන්නැයි මහසෙන් දෙවියන්ගෙන් ඉල්ලන්නේ එම විශ්වාසය නිසාය. එපමණක් නොව තවමත් වැඩි ජනකායක් යම් ව්‍යාපෘතියක් ඇරැඹීමට පෙර, රථවාහනයක් මිලදී ගෙන එය මගට දමන්ට පෙරද එය ආරක්ෂා කරදෙන්නැයි වරම් ඉල්ලති.   
 
මින්නේරිය පුරාණ ගමේ දේවාලය හා ගල්ළිඳ මහසෙන් දේවාල දෙකටම මුල්ගල් තබා ඇත්තේ එකම තැනක් වන මින්නේරිය පුරාණ දේවාලයට බව ගල්ළිඳ දේවාලයේ ප්‍රධාන කපුමහතා මැල්ලව මුදියන්සේලාගේ සෙනවිරත්න කියයි. මෙම දෙවාල දෙ​ෙකහි ආරම්භක භාරකාරිත්වය මින්නේරිය තඹ සන්නසට අනුව මින්නේරිය පස්පෑලේ වලව්වේ පණ්ඩිත් ජයතිලක කුමාරිහාමිටය. පසුව ඇගේ දියණිය වන මින්නේරිය උදලාගම මහතාගේ බිරිඳ වන මන්ත්‍රි උදලාගම මහත්මියට උරුමව ඇත. උදලාගම මහතාගේ අභාවයෙන් පසුව දැන් ඇය සහ ඇගේ පුතුන් තිදෙනාට භාරව පවතී.   
මින්නේරි වැව ඉදිවීමට බලපෑ ප්‍රධාන කාරණාව වන්නේ රජුට ගල්ළිඳ දිය උල්පත හමුවීමයි. රජ ඇතුළු පිරිස මහ වන මැදදී බීමට ජලය නොමැතිව මියයාමට තිබූ ඉඩකඩ පහව ගියේ රජු දිය උල්පත සොයාගත් නිසාය. එහෙයින් රජු දිය උල්පත හමුවූ භූමිය ජය භූමියක් සේ සලකා ටික දිනක් එහි තාවකාලිකව නවාතැන් ගැනීමට තීරණය කළේය. ගල්ළිඳ උල්පත හමුවූ කන්ද මත්තේ මාළිගයක නටබුන් තිබෙන බව ගල්ළිඳ මහසෙන් දේවාලේ කපු මහතා මැල්ලව මුදියන්සේලාගේ සෙනවිරත්න කීය. ඒ මහසෙන් රජතුමා මින්නේරිය වැව ඉදිකල කාලය තුළ නවාතැන් ගෙන සිටි මාළිගාවේ නටබුන් විය හැකියයි කපු මහතා කියයි.   
ගල්ළිඳ පුරාණ වැදි ජනාවාසයක් බව මම දැනගත්තේ වැද්දන් පිලිබඳව ගැඹුරු අධ්‍යයනයක් යෙදුනු සෙලිග්මාන්ගේ වැද්දෝ කෘතියත්, හොරස්බර්ගේ වැද්දා කෘතියත්, මින්නේරිය රොටවැව ගමේ උදුල බංඩාර අවුසදහාමි මහතාගේ වැව කෘතියත් සේවනය කිරීමෙනි. ඊට අමතරව පත්මා තෙන්නකෝන්​ගේ මින්නේරිය පුරාණ ගමේදේවාලය කෘතියත් සේවනය කිරීමට මට අවස්ථාව ලැබිණි.   
 
මින්නේරිය රොටවැව වැදි ගම්මානයක් බව සෙලිග්මාන් සඳහන් කරයි. රොට වැව වැදි ගමේ පවුල්වලට සමාන පවුල් කීපයක් ගල්ළිඳ ජනාවාස කරගෙන ජීවත්වූ බවට තො​රතුරු ඇතැයි හොරස්බර්ග්ද සිය වැද්දා කෘතියේ සඳහන්කර තිබේ. තමන් වැද්දෙක් යයි අභිමානයෙන් යුතුව ප්‍රකාශ කරන උදුලබංඩාර අවුසදහාමි මහතාද එම මතවලට වැඩි තො​රතුරක් එක්කරමින් මෙසේ කියයි. මින්නේරිය පුරාණ ගම් පුරා පැතිර ඇති ජනප්‍රවාද තුළ මෙන්ම දේවාලවල ගැයෙන කෝල්මුර කවිතුලත් ගල්ළිඳ දිය උල්පත ගැන සඳහන් වන බව කියයි. මෙම ස්තෝත්‍රවලින් එ්බව පෙනේ.   
 
මින්නේරිය දොළොස් දූව ගල්ළිඳ කන්දෙන් වඩින්න   
තලාවතුර කිරිඹය සහ නුවර ගලින් දෙවි වඩින්න   
පනම් බැන්ද වේවැල සහ සුරතින කඩුවක් දරන්න   
පනම් මෙ බංඩාර දෙවිඳු මල් යහනට වැඩම වන්න 
 
මින්නේරි වැව බැඳීමේ පහසුව සඳහා රජතුමා වැවේ වැඩ කුමාරවරුන් 7 දෙනෙකුට කොටස් කර දී ඇත. ඔවුන් අතරින් පනම් බංඩාර ගල්ළිඳ ප්‍රදේශය භාරව සිටි කුමාරයා බව මෙම ස්තෝත්‍රයෙන් කියවේ.   
මෙනේරි භූමිය ඉල්ලා රජු වැදි නායක වැද්දාට තල්පතක් ඉදිරිපත් කළැයි ජනශ්‍රැතියේ සඳහන් වෙයි. ඒ මෙසේය.   
 
සැරිසර බිම දිග පුර විමසාලා   
බැඳිතර ගල්ළිඳ පොකුණ සොයාලා   
පිරිබර සෙනගට කරුණා කරළා   
මයිල රුකේ යට ගොස් වැඩ සිටලා
 
වෙල්ලිවලින් රන් කිරලා ගන්ටයි   
සල්ලිවලින් සිය ගණනක් දෙන්ටයි   
ගල්ළිඳ මැතිඳුගෙ තල්පත ගන්ටයි   
පුල්ලි ලාපු වැව බන්දා ගන්ටයි  
 
මෙහි පුල්ලි ලාපු වැව යන්නෙන් අදහස් වෙන්නේ මින්නේරි වැව ඉදිකිරීමට පෙර තිබී කැඩීගිය වැව විය හැකියයි ඇතැම්හු කියති. රජුට රාජ නියෝගයක් පනවා වැද්දන්ගේ ගම අත්පත් කරගැනීමට හැකියාව තිබියදීත් රජු වැද්දන් වෙත ගොස් වැවක් සෑදීමට භූමිය ඉල්ලීමෙන් පෙනීයන්නේ රජුගේ යුක්ති ගරුක බව යයි පැරැන්නෝ කියති. එදා මෙදා මිනිසුන් මහසෙන් රජු දේවත්වයේලා ගරු කිරීමට රජුගේ යුක්තිසහගත බව එක් හේතුවකි.   
එදා වැද්දන් නම් තබාගෙන ඇත්තේ පරිසරයේ පෙනෙන දකින දේවල නම් යයිද වැව ඉදි කළ භූමියේ සිටි කයිල වන්නියා මයිල වන්නියා වැනි නම්වලින් ඒබව පෙනීයන්නේ යයිද ‘කයිල’ යනු කැලේ වැල් වර්ගක් බවත්, ‘මයිල’ යනු ගස් වර්ගයක් බවත් අවුසදහාමි මහතා කියයි. අදටත් වන්නිහාමිලා රොට වැව වැදි ගමේ සිටින බවද ඔහු කියයි.   
 
වසභ රජු (ක්‍රි.ව. 66 ත් 110) කන්තලේ වැව ඉදිකොට ඇලහැරින් අඹන්ගඟ හරස් කොට සැතැප්ම 30 ක් පමණ දුරට ඇලක් කපා ජලය ගෙනයද්දි පුරාණ වැදි ගමක් වූ රොට වැව එයට යටවී ඇතැයි ද, අම්මෙක් අප්පෙක් ගැන සඳහන් නොවන මින්නේරිය වැව ඉදිකල භූමියේ පදිංචිවී සිටි වැදි සහෝදරයන් තිදෙනා සහ වැදි පැටික්කිය කිසියම් හේතුවක් නිසා රොට වැව වැදි ගමෙන් වෙන්වී එහි ගොස් පදිංචිවූවන් විය හැකියයිද අවුසදහාමි මහතා සඳහන් කරයි.   
මින්නේරිය පුරාණ රොට වැව වැදි ගමේ සිට මින්නේරිය වැවට ඇත්තේ කිලෝ මීටර් 5 ක් පමණ දුරක් හෙයින්ද එතැන් සිට වනය මැදින් ගල්ළිඳ ජනාවාසයට ඇත්තේ කිලෝ මීටර් 8ක් පමණ කෙටි දුරක් බැවින්ද ගල්ළිඳ භූමිය ජනාවාස කර ඇත්තේත් හොරස්බර්ග් පවසන පරිදි රොට වැව පුරාණ වැදි ගමේ වැදි ජනයා විය හැකියයි පත්මා තෙන්නකෝන් ද මින්නේරිය පුරාණ ගමේදේවාලේ කෘතියේ සඳහන් කරයි. 
 
 
ගල්ලිඳ දේවාලේ ප්‍රධාන කපුමහතා මැල්ලව මුදියන්සේලාගේ සෙනෙවිරත්න
 
 
ගල්ළිඳ ජනාවාසයේ අවසන් පදිංචිකාරිය තම මව වන රණසිංහ මුදියන්සේලාගේ ලොකු මැණිකා බව මැල්ලව මුදියන්සේලාගේ සෙනෙවිරත්න කපුරාළ කීය. තාත්තා කළුබංඩා. අම්මට කලින් තාත්තා මිය ගියා. තාත්තා මිය ගියත් අම්මා දේවාල භූමිය අතහැර ගියේ නෑ. තනියෙන් හිටියා. 1993 දි අම්මා සිටි ගේ අලි කැඩුවා. ඊට පස්සේ මම, අම්මත් මා පදිංචි හබරණ හිරිවඩුන්නට එක්කගෙන ගියා. දැන් දේවාලේ තේවාවලට මම එන්නෙත් හිරිවඩුන්නේ ඉඳලා. ගල්ළිඳ දේවාල භූමිය දැන් ජනශූන්‍ය ප්‍රදේශයක් යයි කපුරාළ කීය. ගල්ළිඳ දේවලයේ ආරම්භය අදට වර්ෂ 300 කටත් වැඩි බව කියන කපු මහතා එහි තබා තිබෙන රටා මවන උළුවස්ස ඊට හොඳම නිදසුනයැයි කපු මහතා පෙන්වා දෙයි.   
දේවාල භුමිය වටේට මරුවැලක් ඇද එහි තැනින් තැන හිස් අරක්කු බෝතල් සහ බියර් ටින් වැනි එකිනෙක ගැටෙන විට හඬනැගෙන්න එල්ලා තිබෙනු දැකගතිමි. එම අඩුම කුඩුම එල්ලා තිබෙන මරුවැලේ දැවටෙන අලියා එයින් නැගෙන හඬට බියෙන් පලායන බව මම ද අසා ඇත්තෙමි.   
මහසෙන් රජුගේ වැව් ඉදිකිරීමේ අරමුණ විනාශ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෑත ඉතිහාසයේ රජරට සියලුම වැව්වල වැව්තාවුල්ලේ දිය උල්පත් සිඳී ගොස් රජරට වගාවලට ජලය ලබාදීම බරපතල ප්‍රශ්නයක් බවට පත්වී ඇතැයි රජරට ගොවීහු කියති.   
 
වැව් ඉහත්තාව මින්නේරිය වැවට උල්පත් ජලය ගලා ආ කිරිඹය ඇතුලු ඇල මාර්ග 13 සිඳීයාමෙන් රජරටට මහවැලි ගඟ හැරවීමට සිදුවුනැයි පවසන ගොවිනායක කවුඩුල්ලේ එම්.කේ. ජයතිස්ස මහතා මින්නේරිය ගිරිතලේ කවුඩුල්ල හා කන්තලේ වැව් හතරටම අත්වී ඇත්​තේ එකම වින්නැහියක් යැයි පවසයයි. මේ සැමට විසඳුමක් හැටියට මොරගහකන්ද වැව ඉදිකළත් කලට වෙලාවට වගාවට ජලය ලබාදීමට එයද අසමත්වී ඇතැයි ඔහු කියයි.   
මා අසා ඇත්තේ ගල්ළිඳ එදා මෙදාතුර කිසිදා සිඳී නැති කතාවකි. මා ගල්ළිඳ දුටු පසුගිය සෙනසුරාදා එහි ජල මට්ටම අඟල් හතරක් පමණ අඩුවී තිබුනේ වන අලියෙකු පානය කරඇති නිසාදැයි මට සැක සිතිනි. වන ගැබ තුළ වඳුරන්ගේ කෑගැසිල්ලත් සමග ඇසුනු මොණරෙකු​ගේ ​​ඤෝව් හඬත් නිසා අලියෙකු ගල්ළිඳෙන් ජලය පානය කොට යන්න ඇතියැයි අනුමාන කළ හැකිය. වනේ ගිජිදෙකු දුටු විටක රිලවුන් වඳුරන් සහ මොණරුන් එසේ හැඬීම උන්ගේ සිරිතකි. ඒ කෙසේ වෙතත් දැඩි නියං කාලවලදී ගල්ළිඳේ ජලයද අඩුවන බව ඇතැම්හු කියති.   
 
වන අලි දියට බසින්නේ සැඳෑකරේය. දැන් හතරේ හෝරාවටත් ආසන්නය. අත්තක් බිඳෙන හඬක් වන ගැබේ ඈතින් ඇසේ. ඒ වන අලියෙකු වන්නටත් බැරි තැන. මා ගල්ළිඳ ඉසව්වේ සිට පෙරලා දේවාලය දෙසට යා යුත්තේත් වනය මැදින් වැටී ඇති මාවතේ ය. පෙරලා යාමට යුහුසුළු වූ මම කැමරාව මෙහෙයවා ගල්ළිඳ ඇතුළු පරිසරයෙන් ඡායාරූප කීපයක් ගතිමි.   
 
 
මින්නේරිය පුරාණ ගම දේවාලයේ සහ ගල්ළිඳ දේවාලේ භාරකාරිත්වය දරමින් සිටින මන්ත්‍රී උදලිගම මහත්මිය
 
 
 
ජලමට්ටම කන්ද බෑවුමට යාවන තැන උල්පත් මතුවීම ස්වාභාවිකය. ඇල් දිය උල්පත් මෙන්ම ඇල් දිය බුබුලුද රජරට බොහෝ ප්‍රදේශවල දක්නට ලැබේ. හිඟුරක්ගොඩ ඓතිහාසික දිය බුබුල එවැනි එකකි. එය අතිවිශාල දියකඳක් පොළෝ ගැබෙන් මතුකරණ දිය බුබලකි. එහි එකවර 12 දෙනෙකුට ස්නානය කළහැකිවන පරිදි හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව අඟල් දෙක බැගින් ධාරිතාවක ඇති නළ යොදා නාන තොටුපළක් නිර්මාණය කර ඇත. හබරණ ත්‍රිකුණාමලය මහා මාර්ගයේ අලුත්ඔය කළු උල්පත් වැව එවන් තවත් එකකි. මින්නේරිය වැව පහල වෙල් එළියෙන් මතුවන ඇල් දිය උල්පත් රැසකි. අරලගංවිල නෙලුම් වැව, දිඹුලාගල කන්ද පාමුල උල්පත, කහබිලියාව, ඉහකුළුවැව, හාවා ඇල, කුඹුක්කන් ආරුව, කටකැලියාව දඹගහ උල්පත, හිඟුරක්ගොඩ ලුම්බිණි විහාර භූමියේ මතුවී තිබෙන මිරිදිය උල්පත මේ ආදි මිරිදිය උල්පත් රැසක් පොළොන්නරුව දිසාවේ දක්නට ලැබේ.   
 
ඇල්දිය උල්පත් වගේම මෙරට උණුදිය උල්පත්ද දක්නට ලැබේ. ත්‍රිකුණාමලයේ සිට හම්බන්තොට දක්වා වූ කිලෝ මීටර් 350 පමණ දිගු භූ පැල්ම දිගේ උණුදිය උල්පත් මතුවන බව භූවිද්‍යාඥයෝ පවසති. කින්නියා, මහඹය, හෝලිකේ හා සූරිය වැව දක්වා වූ භූපැල්ම දිගේ තැනින් තැන උණුදිය උල්පත මතුවන්නේ එම භූ පැල්ම දිගේ ඇති කුස්තුර දිගේ බව එම භූගර්භ විද්‍යාඥයින් පවසයි. මෙසේ උණුදිය මතුවන්නේ පොළෝ ගැබ තුළ හටගන්නා උෂ්ණත්වයෙන් රත්වූ භූගත ජලයයි.   
 
උල්පත හා දියවර මනරම් සොබාසිරිය මතුපරපුරට දායාද කරදීම සඳහාත් පිරිසුදු පානීය ජලය අවශ්‍යතා සපුරා ගැනීම සඳහාත් රැකගතයුතු මහාර්ග වස්තුවකි. ඉදින් එසේ වියයුතු නම් ස්වාභාවික වනාන්තරයට ඔහේ වැඩෙන්නට ඉඩ හැර රජයත් ජනතාවත් වනාන්තරය තුළ සිදු කරන සියලු මිනිස් ක්‍රියාකාරකම්වලින් ඉවත්විය යුතුය. එසේ නොකොට දේශපාලකයින්ගේ ඡන්ද ගණන වැඩිකර ගැනීමට වනය තුළ ජනතාව ඉන්දවීමටත් කැලෑ පාළුවන්ගේ ක්ෂේමභූමියක් ලෙස භාවිත කිරීමටත් ඉඩහැර රජයත් ජනතාවත් බකන්නිලාගෙන එදෙස බලා හිටියොත් ජල උල්පත් සිඳීගොස් සැමට පිපාසිතව මියයාමට සිදුවනු නොඅනුමානය.   

 

 

මින්නේරියේ සරත් ගුණසිංහ