‘‘බලයට කෑදර නොවී කලාවට - සංස්කෘතියට අවධානය යොමුකළ යුතුයි‘‘


(නිමල කොඩිතුවක්කු)

බලයට පමණක් කෑදර නොවී කලාව සහ සංස්කෘතිය සම්බන්ධයෙන් රජය අවධානය යොමුකළ යුතුව ඇතැයි සංගීතවේදී ජනනාත් වරකාගොඩ මහතා පැවැසීය.

ඒ මගින් යහපත් රටක් ගොඩනැගීමට අවශ්‍ය පරිසරය නිර්මාණය වන බවද ඔහු සඳහන් කළේය.

ඇතුල්කෝට්ටේ පිහිටි වියත්මඟ කාර්යාලයේ  පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජනනාත් වරකාගොඩ මහතා මෙසේද කීය.

     ‘‘සංස්කෘතිය, සභ්‍යත්වය, අධ්‍යාත්මික ගුණවගාව සම්බන්ධයෙන් ළමයෙකුගේ කුඩා අවධියේ සිට අවධානය යොමුකළ යුතුයි. පෙර පාසල් ඉලක්ක කරගනිමින් ඒ සඳහා නිවැරදි වැඩපිළිවළක් සකස් කළ යුතුයි.

පෙරපාසල් වලින් සියයට අනූවක් පමණ දරුවන්ට ලබාදෙන්නේ විදේශීය සංස්කෘතියයි. මේ තත්වය වෙනස්කර අධ්‍යාත්මික ගුණවගාව පෙරපාසල් මට්ටමින් ආරම්භකළොත් දරුවන් සහ රට ගොඩනගන එක අමාරු දෙයක් නෙමෙයි.

අද අපේ රටට නොගැලපෙන ගීත නිර්මාණ ඕන තරම් තියෙනවා. මේවා පිලිබඳ රජය අවධානය යොමු කළ යුතුයි.  එම නිර්මාණ සමාජයෙන් අතුගා දැමීමට රජය මැදිහත් විය යුතුයි. සමාජ මාධ්‍යය සම්බන්ධයෙනුත් එවැනි ක‍්‍රියාමාර්ග ගත යුතුයි’’ යැයිද ඔහු එහිදි පැවැසීය.