‘දෙස බස රකින නායකයකු රටේ නායකයා විය යුතුයි’



(හසිත රංග ගුණතිලක)

 
හදවතින්ම දෙස බස ආරක්ෂා කරන ජාතික නායකයකු රටේ නායකත්වයට පත්විය යුතු බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කතානායක අධිනීතිඥ වි. ජ. මු ලොකුබණ්ඩාර මහතා අද(21) කොළඹ දී පැවැසීය.
 
සිංහල භාෂාවේ පරම අයිතිය ඇත්තේ මහා සංඝ රත්නයට බවත් අතීතයේ සිටම සිංහල භාෂාව ආරක්ෂා කරගනු ලැබුවේ උන්වහන්සේලා බවත් ලොකුබණ්ඩාර මහතා කීය.
 
සිංහල ශබ්දකෝෂයේ 92වෙනි සංවත්සරය නිමිත්තෙන් කොළඹ ජාතික කෞතුකාගාරයේ අද(21) පැවති සාංවත්සරික උත්සවයට එක්වෙමින් ලොකුබණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.
 
මෙහිදී සිංහල ශබ්දකෝෂ සම්පාදන ආයතනය විසින් සකස් කළ සිංහල සංක්ෂිප්ත ශබ්දකෝෂයේ ප්‍රථම කාණ්ඩයේ මුල් පිටපත සිංහල ශබ්දකෝෂ සම්පාදන ආයතනයේ ප්‍රධාන කර්තෘ මහාචාර්ය රෝහිණී පරණවිතාන මහත්මිය අතින් නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත පිළිගැන්විණි.
 
සිංහල භාෂාවට ප්‍රමුඛස්ථානය ලබාදීම සඳහා පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු 225දෙනාම එකට එකතු වී ප්‍රතිපත්තියක් සකස් කළ යුතුව ඇතැයි ද ලොකුබණ්ඩාර මහතා කීය.
 
(ඡායාරූප - ගයාන් අමරසේකර)