‘ගොඩනැගිලි සැලසුම්කරණයත් විදුලි අර්බුදයට හේතුවක්’


(බිඟුන් මේනක ගමගේ)
 
 
විශාල ගොඩනැගිලිවලට වායු සමීකරණ යන්ත්‍ර අධිකව භාවිත කිරීම විදුලි අර්බුදයට හේතුවක් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය දැක්වුවත් එහි සැබෑ අර්බුදය ඇත්තේ ගොඩනැගිලි සැලසුම්කරණයෙහි යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ මහතා පැවසීය.
 
බටහිර ගොඩනැගිලි ආකෘති සකස්කර ඇත්තේ එම භූගෝලීය කලාපයෙහි මන්දාලෝකය හා අධික සීතලට සරිලන ලෙස යැයි ද දේශීය ඉදිකිරීම්වලට ඒවා එලෙසින්ම යොදාගැනීමෙන් ඝර්මකලාපීය රටක් හැටියට ලබාගත හැකි වාසි අහිමිවන්නේ යැයි ජයගොඩ මහතා පැවසීය.
 
ලංකාව මනා සූර්යාලෝකයක් ලැබෙන රටක් වුවද පුනර්ජනනීය බලශක්තියට යොමු නොවී දිගින් දිගටම ගල් අඟුරු බලාගාර සඳහා යොමුවීම ප්‍රශ්නයක් යැයි ද ඊට හේතුව ගල් අඟුරු පසුපස ඇති කොමිස් මාෆියාව යැයි ද ජයගොඩ මහතා චෝදනා කළේය.
 
එහෙත් ගල් අඟුරු යනු ක්ෂය වන සම්පතක් මෙන්ම අධික පිරිවැයක් දැරීමට සිදුවන බලශක්තියක්  බවත් දිනෙන් දින ලෝකයේ රටවල් ගල් අඟුරු භාවිතයෙන් ඉවත්වෙමින් තිබෙන බවත් ජයගොඩ මහතා සඳහන් කළේය.
 
විමලසුරේන්ද්‍ර මහතා සකස් කළ උපායමාර්ගය හැරුණු විට නව උපායමාර්ග සකසා ගැනීමට දශක ගණනක් ගතවුවද ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයන් අසමත් වී යැයි ද ජයගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.