වෛද්‍යවරයාට පහරදුන්නට නිහඬ විරෝධයක්


(ක.ගකරුණාරත්න)

පොලොන්නරුව ජයන්තිපුර ග්‍රාමිය සහ පුනරුත්ථාපන රෝහලේ රාජකාරියේ නිරතව සිටි වෛද්‍යවරයකුට පෙරේදා(21)පස්වරුවේ බීමත්ව පැමිණි පුද්ගලයකු  සිදුකල පහරදීම හෙලාදකිමින් එම රෝහලේ වෛද්‍යවරුන්,හෙද හෙදියන් ඇතුලු සමස්ත කාර්ය මණ්ඩලය අද පෙරවරුවේ රෝහල ඉදිරිපිටදී සාමකාමී විරෝධතාවයක නිරත වූහ.

මෙම අමානුෂික පහරදීමේ සිද්ධිය හේතුවෙන්  එම රෝහලේ වෛද්‍යවරුන්,හෙද හෙදියන් ඇතුලු සමස්ථ කාර්ය මණ්ඩලය සිය රාජකාරීවලින් ඉවත්ව සිටින අතර රෝහල තාවකාලිකව වසාදමා තිබේ.

රෝහලේ නේවාසිකව සිටි රෝගීන් සියලුම දෙනා වෙනත් රෝහල්වලට මාරුකර යවා ඇතැයි ජයන්තිපුර ග්‍රාමීය හා පුනරුත්ථාපන රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරී, වෛද්‍ය සුරංග හේවාවිතාරණ මහතා ප්‍රකාශ කලේය.

වෛද්‍යවරයාට පහරදීම සම්බන්‍ධයෙන් මින්නේරිය පොලීසිය මගින් සැකපිට අත් අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා ජයන්තිපුර, නාගපොකුණ ප්‍රදේශය් පදිංචිකරුවකු බව අනාවරණයවී ඇත.