ටුටූ කියන්නේ කුරුණෑගල, රිදීගම පොලිසියේ නිලධාරීන් සහ නිලධාරිනියන්ගේ පවා සුරතලෙකු බවට පත්ව සිටි පූසෙකි. පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල නිවසේ ටුටූ හැදී වැඩුණේ පොලිස් ස්ථානාධිපතිවරයා සුරතලයට ඇති දැඩි කළ ‘‘ ටෙඩී නමැති සුනඛයාද සමගය.
දෙදෙනා කෑවේ බිව්වේ එකටය. ටෙඩී පැටව් බිහිකළ පසු ඒ පැටව් ටෙඩීගෙන් කිරි බොන අවස්ථාවල ටුටූ ද කිරි බිව්වේය. ඒ තරමට පුදුම ළෙන්ගතුකමක් ටෙඩී සහ ටුටූ අතර තිබී ඇත.
ටෙඩී 2023 වසරේ දවසක පොලිසිය වටා වෙනදා මෙන් රවුමක් ගොස් පොලිස් නිල නිවසට ආපසු ආවේ පූස් පැටියෙක් ද කැටිවය. ටුටූ යැයි කියා නම තැබුවේ ඒ පූස් පැටියාටය.
රිදීගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක කසුන් හේමන්ත සුභසිංහට වසර පහමාරක සේවා කාලයකින් පසු ස්ථාන මාරුවක් ලැබී තිබුණේ මන්නාරම අඩම්පන් පොලිසියේ ස්ථානාධිපතිවරයා හැටියටය. රිදීගම පොලිසියෙන් ස්ථාන මාරුවක් ලැබුණු පසු ඒ පොලිස් ස්ථානයේ නිල නිවසේ තිබූ ඔහුට අයත් බඩුබාහිරාදිය ද පටවාගෙන වාහනයකින් තම නිවස පිහිටි හෙම්මාතගම බලා යන විට ටෙඩී සහ ටුටූ ද ගමට ගෙන යෑමට ඔහු අමතක කළේ නැත.
මේ වන විට අඩම්පන් පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස වැඩ භාරගෙන රාජකාරී කටයුතුවල නිරතව සිටින පොලිස් පරීක්ෂක කසුන් හේමන්ත සුභසිංහ එතැනින් එහාට සිදුවූ දේවල් ගැන තොරතුරු හෙළි කළේ මේ අන්දමිනි.
“මීට අවුරුදු දෙකකට විතර කලින් ටෙඩී ගෙදරට කැන්දාගෙන ආව මේ පූස් පැටියට අපි ටුටූ කියලා නම තිබ්බා. ටුටූ අපේ ගෙදර අයගේ විතරක් නෙමෙයි පොලිසියේ පැත්තෙත් හැමදාම වගේ යන්න පුරුදු වෙලා හිටියා. එයා පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන්ගේ සුරතලකු බවට පත්වීමට වැඩි කාලයක් ගියේ නැහැ. කවුරුත් එයාට ආදරය කළා.
අපේ සුරතල් සුනඛ ටෙඩී පැටව් බිහි කළාට පස්සේ එයා පැටවුන්ට කිරි දෙනකොට ටුටූ ද ටෙඩීගෙන් කිරි බොන්න පුරුදු වුණා. ටෙඩී ගේ පැටව් ටික කිරි බීලා ඉවර වෙනකම්ම ටුටූ කිරි බිව්වා. ඒ තරම් දැඩි සෙනෙහසක් දෙදෙනා අතර තිබුණේ. ටෙඩීට දෙන ඒවාම තමයි ටුටූ ආහාරයට ගන්නේ. එයාට සතුන් දඩයම් කරලා කන්න කිසිම පුරුද්දක් තිබුණේ නැහැ.
මට ස්ථාන මාරුවක් ලැබිලා අඩම්පන් පොලිසියට රාජකාරි වාර්තා කරන්න යන්න කලින් පොලිස් නිල නිවසේ තිබූ මගේ පෞද්ගලික බඩුබාහිරාදිය පටවාගෙන හෙම්මාතගම අපේ ගෙදරට ගියා. එහෙම බඩුබාහිරාදිය රැගෙන යන විට ටෙඩී සහ ටුටූද රැගෙන ගියා. අපි මේ දෙන්නව ගෙදර රැගෙන ගියේ පසුගිය මැයි මාසයේ 24 වෙනිදා.
මෙහෙම ඉන්නකොට පසුගිය ජූලි මාසේ හයවෙනිදා වෙනකොට ටුටූ ආගිය අතක් සොයා ගැනීමට නොහැකි වුණා. අපි හැම තැනම හෙව්වා ඒත් හමුවුණේ නැහැ. මේ නිසා ගෙදර අයත් හරිම කනගාටුවෙන් හිටියේ. මේ අතරේ රිදීගම පොලිසියේ වැඩ සේවකයෙකු වශයෙන් කටයුතු කරන විජේරත්න මට පසුගිය විසිහත් වෙනිදා කතා කරලා කිව්වා සර් හුරතලයට ඇති කරපු හෙම්මාතගම ගෙනිච්ච පූසා ආයෙත් පොලිස් නිල නිවසට ඇවිත් ඉන්නවා කියා. මේ කතාව අහලා මම පුදුමයෙනුත් පුදුමයට පත්වුණා . මම විතරක් නෙමේ පොලිසියේ අයත් පුදුමයට පත්වෙලා තිබෙනවා.
හෙම්මාතගම ඉඳලා කුරුණෑගල රිදීගමට කිලෝමීටර් හැත්තෑවක් විතර දුරක් තියෙනවා. දින හතළිහකට විතර පස්සේ තමා එයා ආයෙත් රිදීගම පොලිසියට පැමිණ තියෙන්නේ. කෑගල්ල, මාවනැල්ල, මාවතගම වගේ ජනාකීර්ණ නගර පවා පසු කරගෙන කිසිදු අතුරු ආන්තරාවක් නොමැතිව යළි හිටපු තැනටම පැමිණීම හරිම පුදුමයි. මාවනැල්ල හෙම්මාතගම ගෙදර ඉඳලා රිදීගමට කිලෝමීටර් හැත්තෑවක් විතර දුර තිබෙනවා. අපේ ගෙදර ඉඳලා ආයෙත් රිදීගම පොලිසිය හොයාගෙන එන්න දින 40 විතර කාලයක් ගතවී තිබෙනවා. කොහොම වුණත් එයා අපි ළඟ ඉද්දි ගොඩක් පුෂ්ටිමත් විදිහට හිටියේ. පොලිසියට එද්දී එයාගේ ඇඟ ටිකක් කෙට්ටුවෙලා බව තමයි විජේරත්න මට කතා කරපු වෙලාවේ කිව්වේ. දවස් දෙක තුනට එයාගේ ඇඟ යළිත් තිබුණු තත්ත්වයටම පත්ව තිබෙන බව දැනගැනීමට ලැබුණා.”
මේ වනවිට මන්නාරම අඩම්පන් පොලිසියේ සේවය කරන තමන් එළැඹෙන සඳුදා රාජකාරී කටයුත්තකට රිදීගමට යෑමට අදහස් කර සිටින බවත් එසේ යන විට ටුටූ කෑමට කැමතිම කෑමත් ගෙන රිදීගම පොලිසියට යනවා යයි ද පොලිස් පරීක්ෂකවරයා පවසයි. ටුටූ නැවතත් රිදීගම පොලිසියේ නිලධාරීන්ගේ සහ නිලධාරිනියන්ගේ ආදරය සෙනෙහස ලබමින් විජේරත්නගේ නොමද සැලකිලි ලබමින් පොලිසිය පුරා දුව පැන ඇවිදිමින් කාලය ගත ගත කරයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය