රථ වාහන ආනයනය වසර පහක කාලයක් තහනම් කර තිබුණි. දීර්ඝ කාලයක් ආනයන වාරණය බලපවත්වන ලද ලෝකයේ පළමු රට විය හැකිය. විදේශ විනිමය හිඟය පදනම් කරගෙන බලපවත්වන ලද ආනයන පාලනය ඉකුත් පෙබරවාරියේ ඉවත් කළේය. ආනයන සීමා ලිහිල් කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරන ලද අතර, වෙළෙඳ සීමා රජයේ ආදායමට බාධාවක් බව කියා සිටියේය. ආනයන කොන්දේසි ගණනාවක් ප්‍රකාශයට පත් කරන ලද ආණ්ඩුව වාහන ගෙන්වන අවසරය නිකුත් කිරීම සමග සාහසික වෙළෙඳ අරගලයක් හටගෙන තිබේ. අභ්‍යන්තර වෙළෙඳපොළ පාරදෘශ්‍යභාවයක් රහිත තැනකය. වාහනයක් මිල දී ගැනීමේ සිහිනයක සිටි ජනී ජනයා මහත් වික්ෂිප්ත භාවයකට ගොදුරු වී සිටී.
ඉල්ලුම, සැපයුම හා අතිරේක පැතිකඩ සලකා බලන පසු ශ්‍රී ලංකාවේ රථ වාහන වෙළෙඳාම විකෘති ස්වභාවයක තිබේ. අතරමැදි පිරිස් විශාල වශයෙන් ලාභ ලබන බව පෙනේ. අවසාන වන්දිය ගෙවන්නේ පාරිභෝගිකයන්ය. වාහනයක් මිලදී ගත නොහැකි ඉතාම දුප්පත් ජනතාව පවා මෙම ආකෘතියෙන් බරපතළ පීඩාවකට ගොදුරු වන බව පෙන්වා දිය යුතුය.
වසර පහක් තුළ ආකෘතික පරිවර්තනයක්
වාහන ආනයනය තාවකාලිකව තහනම් කළේ 2020 මාර්තු මාසයේ ය. අවුරුදු පහකට පසු ආනයන අවසරය ප්‍රකාශයට පත්වන පසු ප්‍රවාහනයේ යුග වෙනස්කම් සිදුවී තිබේ. යාන්ත්‍රික ස්වභාවය, බලශක්ති ප්‍රභව සහ වාහනවල පැවැත්ම ඇතුළු අංශවල පරිවර්තනය ඉතාම තියුණු ය. මේවායේ වාසි හා අවාසි නිවැරදිව නොදන්නා සමාජයක් අප හමුවේ ඇත. වාහන නිෂ්කාශනය, ලියාපදිංචිය සම්බන්ධ නීති කටයුතුවල දී නිලධාරීහු ප්‍රශ්නවලට මුහුණ පා තිබේ. වාහන වර්ගවල නව්‍යත්වය දැවැන්ත ප්‍රචාරක යාන්ත්‍රණවලට හසුකරගෙන ඇති අතර එයට එපිටින් හුවමාරුවන කරුණු ගොනු කරන පසු ඒවා තුළ සැකය, අවිශ්වාසය හා අසත්‍ය පදනම් වූ තොරතුරු බහුලය. ආර්ථික අර්බුදයකට ගොදුරු වූ ශ්‍රී ලංකාව නැවත ස්ථාවර වන අතර වාරයේ මුහුණ පා ඇති ප්‍රවණතා සියුම්ව සලකා බැලිය යුතුව තිබේ.
මෙක්සිකෝ හි වාහන නිෂ්පාදනය ආරම්භ කළ ජපානයේ ප්‍රධාන වාහන සමාගමක් - එහි කටයුතු නතර කර ඇති අතර, පිරිවැය අඩු කරන පියවරක් වශයෙන් එම සමාගමේ ජපානයේ මූලස්ථානය කියුෂු දූපතට ගෙන යන බව දැක්වේ. ඇමරිකාවේ ප්‍රධාන පෙළේ වෙළෙඳ නාම සහිත වාහන නිෂ්පාදන සමාගම් දෙකකින් එකක් ව්‍යාපාරික කටයුතු නතර කරන අතර අනෙක් සමාගම අමුද්‍රව්‍ය හිඟ බව දක්වා නිපැයුම සීමා කර තිබේ. ඉන්දියාවේ ගුජරාට් හි ආයෝජනය කර තිබුණ වාහන නිපදවන කම්හල් තුනක් නිෂ්පාදන අත්හිටුවා ඇත. කොරියානු වාහන සමාගමක ඇණවුම් සීමා කරන බව ද නිවේදනය වේ. මෙම පසුබිම අතර වාරයේ විදුලිය බලයෙන් ධාවනය වන වාහන ඉල්ලුම ඉහළ ගොස් තිබේ. ඇමරිකාව, බ්‍රිතාන්‍යයේ හා ජර්මනියේ මෙම වාහන නිපදවීම වේගවත්ය. චීනය එහි පෙරමුණ ගෙන ඇත. එරට සමාගමක් මහා පරිමාණයෙන් විදුලිබල වාහන නිපදවන අතර ඒවා ලෝකය පුරා ප්‍රවාහනය සඳහා වාහන 9,200 ක් එකවර ගෙන යා හැකි කළ විශාලතම නෞකාවක් එළිදක්වා ඇත.
පරිවර්තනය එතැනින් නතර වී නැත. රියැදුරන් රහිත වාහන ධාවනයට එක්වේ. ඇමරිකාවේ සමාගමක් ඇමරිකාවේ ටෙක්සාස් හි තිබේ. සවුදි අරාබිය රොබෝ ටැක්සිවලට අනුමැතිය දී ඇත. එක්සත් අරාබි එමීර් හා ඩුබායි එන්ජිමක් නැති සහ බැටරියකින් ධාවනය වන රියැදුරන් රහිත ටැක්සි සේවාවලට ඉඩ දී තිබේ. 2030 වන විට එහි කුලී රථ වලින් තුනෙන් එකක් රොබෝ වාහන බව පුරෝකථනය වී ඇත.
පරම්පරාවක් පවතින වාහනයක් ගැනීම
රථ වාහනවල හැඩය, බලශක්ති ස්වභාවය හා ඒවා හසුරුවන රොබෝ ක්‍රමවලට වෙනස්වන අතර වාරයේ, අවුරුදු පහකට පසු ශ්‍රී ලංකාවේ රථවාහන වෙළෙඳාම පැරණි යල් පැනගිය ශිල්පීය ක්‍රම සඳහා මාරාන්තික ගැටුම් ආරම්භ කර ඇත. ව්‍යාපාරික ආයතන හා අතර මැදියන් පතුරුවන විවිධාකාරයේ තොරතුරු හේතුකොට ගෙන වෙනස්ම ආකාරයේ අර්බුදයක් නිර්මාණය කර තිබේ.
විදුලිය බලයෙන් ධාවනය කරන වාහනවල දුබලතා හා ඒවායේ වංචා ගැන ආන්දෝලනාත්මක කරුණු සංසරණය වන අතර, මේවායේ තාක්ෂණික කරුණු ඇත්ත නොවේ. වාහනයක් මිල දී ගැනීමට වෑයම් කරන පිරිස් තුළ අවිනිශ්චිත තත්ත්වයක් උද්ගතකර ඇත. අවසානයේ දී ලියාපදිංචි කරන ලද පැරණි වාහනවලට වටිනාකම ඉක්මවා ගිය අධික මිලක් නියම කරමින් තිබේ. ගතානුගතික ව්‍යුහ විශ්වාස කරන පිරිස් කාබන් විමෝචනයට හේතුවන සහ ලෝකයේ භාවිතයෙන් ඉවත්වන වාහන සඳහා නැවතත් නැඹුරුවන බවක් නිරීක්ෂණය කළ හැකිය. මෙම වාහනවල මවු සමාගම් අමතර කොටස් නිෂ්පාදනය පමණක් නොව, අලුත් වාහන නිපදවීම ද සීමාකර ඇත. පරම්පරාවක් භාවිත කළ හැකි වාහනයක් වෙනුවට මිල දී ගැනීමෙන් පසු ආර්ථික හානි සිදුවිය හැකි අවදානමක් තිබේ.
රථ වාහන සම්බන්ධ යුගයේ අලුත් පැතිකඩ අනුව පුද්ගලික වාහන අත්පත් කරගැනීම පලක් නැත. වාහනයක් මිලදී ගෙන නඩත්තු කිරීම වෙනුවට ගමන සඳහා ප්‍රවාහන පහසුකම් මුලට පැමිණ තිබේ. ශ්‍රී ලංකාවේ වාහන මිල, වාහනවලට පනවන බදු, ලියාපදිංචියේ සිට වාර්ෂිකව ගෙවන ගාස්තු, නඩත්තු පිරිවැය ආදිය සලකා බලන පසු විශාල අවාසියක් බව ආර්ථික විද්‍යාව පැහැදිලි කරයි. අනෙක් අතට අනාගතයේ දී වේගයෙන් වෙනස්වන රථවාහන සැකැස්ම සලකා බලන පසු දිග කාලයක් ප්‍රායෝජන ගත හැකි ආයෝජනයක් නොවේ. ජංගම දුරකථන, රූපවාහිනි යන්ත්‍ර හා සූර්ය කෝෂ යන නවීන නිෂ්පාදන මෙම අභ්‍යන්තරය පැහැදිලි කරන බව සඳහන් කළ යුතුය. ඉතාම නවීන දුරකථනයක් මාස කිහිපයක් ඇතුළත මෘදුකාංග යාවත්කාලීන කළ නොහැකි යල් පැනගිය මෙවලමක් බවට පත්වේ. වාහන නිෂ්පාදන සමාගම් වල තරගකාරීත්වය අනුව අභ්‍යන්තරය තේරුම්ගත යුතුව ඇත.
ගතානුගතික රාමුවක පවතින කර්මාන්තයේ හැඩය
විදුලි බලයෙන් ධාවනය වන වාහන ආනයනය කළ මුල් වකවානුවේ ඒවා රක්ෂණය කිරීමට ප්‍රතිපාදන තිබුණේ නැත. පසුව ඒවා සකස් කළ නමුත් අශ්වබල ධාරිතාව හා වෙළෙඳපොළ වටිනාකම අනුව කරන ඇස්තමේන්තු ගැටලු සහිතය. වාහන ගෙන්වන විට බදු ප්‍රතිශත නියම කරන ආණ්ඩුව හා රේගු නිලධාරීන් පවා නවීන වාහනවල කාර්මික අංශ ගැන දන්නේ නැත. දැනට අලුතින් ආනයනය කර වාහනවල හයිබ්‍රිඩ් ක්‍රම, බැටරිවල ශක්තිය, ඒවායේ මෘදුකාංගවල සැකැස්ම බදු ප්‍රතිශතවලට ඇතුළත් නොකෙරේ. වාහන ගෙන්වන්නට වැය කරන මුදල හා බාහිර ලක්ෂණ පමණක් සලකන අතර, හුදෙක් ආණ්ඩුවට මුදල් උපයා ගැනීමේ පියවරක් පමණකි.
ශ්‍රී ලංකාවට වාහන ආනයනය කරන අවසර තෝරා ගත් ඒවාට පමණක් නිකුත් කරන අතර, ගෙන්වන වාහන මාස තුනක් ඇතුළත විකිණීමේ කොන්දේසියක් පනවා තිබේ. මාස තුන ඉක්මවන පසු සියයට තුනක අතිරේක බද්දක් ගෙවිය යුතුය. ඉන්ධන වියදම හා නවීනත්වය සලකා විදුලිය වාහන සඳහා සැලකිය යුතු ආකර්ෂණයක් පවතී. රටට ගෙන්වන ලද පොසිල ඉන්ධන භාවිත කරන වාහනවල අලෙවිය සීමා වී තිබේ. ඒවායේ පරස්පරතා අනුව මෙරට මෝටර් රථ වෙෙළඳාම අනපේක්ෂිත තැනක පවතී. අනාගත අවකාශය ගැන අවදානමක් තිබේ. වෙළෙඳාම, නඩත්තුව, කාර්මික අංශ ආදියෙන් යැපෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ප්‍රසාරණය වෙමින් පවතින විදුලිය බල වාහන කෙරෙහි අභියෝග කිරීම ද පසෙක තැබිය නොහැකි කරුණකි.
ජර්මන් සංචාරයේ දී ජනාධිපති අනුර දිසානායක කාර්මික පුහුණුව සඳහා අවස්ථා යෝජනා කිරීම වෙනුවට විදුලිය වාහන ශිල්පය සම්බන්ධ දැනුම කාර්මික අංශවලට ලබාදිය හැකි අවස්ථා ගැන චීනයෙන් ඉල්ලීමක් කළ යුතු තරමට මෙරට රථ වාහන කර්මාන්තයේ පරිවර්තන ස්වභාවය ඉතාම සියුම් ය. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, ව්‍යාපාරික අංශ සහ ප්‍රතිපත්ති සම්පාදකයන් අලුතින් උද්ගත වී තිබෙන ප්‍රවණතා කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර, විසඳීම සඳහා සුදුසු ක්‍රියා මාර්ග යෝජනා කළ යුතු වේ. යාන්ත්‍රීය ක්‍රම ඉක්මවන සමාජ මතිමතාන්තර දක්වා පරාසයකට එය විහිදේ.
ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ අනෙක් පැතිකඩ
ආර්ථික අර්බුදයක් සහ ජනතාව දුප්පත් බව මතුපිටින් ප්‍රකාශ කරන නමුත් පුද්ගලික වාහනයක් සඳහා උත්සාහ කරන සැලකිය යුතු පිරිසක් සිටී. ධාවන තත්ත්වයේ ඇති වාහන ප්‍රමාණය ලක්ෂ අසූ තුනක් බව දැක්වේ. සෑම හතර දෙනෙකු ගෙන්ම එක් අයෙකුට කිසියම් වාහනයක් ඇත. වාහන ආනයන රෙගුලාසි ලිහිල් කළ පසු අමරිකානු ඩොලර් මිලියන 675 ක ණයවර ලිපි ජුනි 10 දක්වා නිකුත් කර තිබේ. මහ බැංකුව ප්‍රකාශ කරන පරිදි විනිමය ආරක්ෂා කර ගනිමින් ඇමරිකානු ඩොලර් බිලියනයක් දක්වා වාහන ගෙන්වීමේ අවශ්‍යතාවට වෙන්කර දිය හැකිය. ඇමරිකානු ඩොලර් බිලියන දහසයක විනිමය ප්‍රමාණයක් අපනයන මගින් අවුරුද්දකට උපයන ශ්‍රී ලංකාව එයින් බිලියනයක් වාහන ගෙන්වීමට හා වාහනවලට අවශ්‍ය ඉන්ධන හා අමතර කොටස් සඳහා තවත් ඇමරිකානු ඩොලර් බිලියන පහක් පමණ වියදම් කරන බව උපකල්පනය කළ හැකිය. අපනයන ආදායමෙන් තුනෙන් එකක් වාහනවලට වෙන් කරන රටක් දුප්පත් නැත.
ආර්ථික අර්බුදයක් තිබුණ හා මහජනතාව දිග පෝලිම්වල සිටි කාලයේ පවා වාහන වලට ඉන්ධන සහ මුළුතැන්ගෙයි අවශ්‍යතා සඳහා ගෑස් ඉහළම අවශ්‍යතාව වී තිබුණි. රට බංකොලොත් වී ආහාර හිඟයක් හෙයින් ජනතාව ආහාර සඳහා දින ගණන් පෝලිම්වල සිටියේ නැත. සහල් පෝලිමක සිටි බවක් හෝ එහි දී ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයෙකු ගැන වාර්තා නොවේ.
2019 වසරේ රුපියල් මිලියන 13,900 ක් රථ වාහන බදු බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය දක්වයි. සුපිරි වාහන බද්ද රුපියල් මිලියන 1,331 ක් වන අතර තිබෙන වාහන සඳහා මෝටර් රථවාහන පනතට අනුව ගෙවන බදු, බලපත්‍ර ගාස්තුව හා කාබන් බද්ද රු. මිලියන 6,730 කි. ජුනි මාසයේ මැද වන විට මෙරටට ගෙන්වන ලද වාහන ප්‍රමාණය දහ හතර දහසකි. බදු ආදායම වශයෙන් රුපියල් බිලියන 165ක් මෙතෙක් ලැබී ඇත. අපේක්ෂිත ප්‍රමාණය රුපියල් බිලියන 450 ක් වන අතර එයට අමතරව වාහන ලියාපදිංචිය, බැංකු ණය, ෆිනෑන්ස් ක්‍රම හා රක්ෂණය ඇතුළු අංශ වලින් අමතර ධනයක් අපේක්ෂා කෙරේ. මෙම ධනය සමග හැසිරෙන ආර්ථිකය තුළ ඒවායේ කොටස් අයිතිකර ගැනීම සඳහා පවතින තරගය ඉතා සාහසික බව දැනට පවතින තත්ත්වයයි. ඉදිරියේ දී වාහන ආනයනය නැවත වරක් සීමාකරන ඉඩකඩ ගැන මතු කරන අදහස් තවත් වටයකින් තරගය උග්‍ර කර තිබේ. සමාජ සමබරතාව ආරක්ෂා කරන ප්‍රතිපත්ති තීරණ ගැනීම සහ විවිධ ක්‍රම මගින් කරන පාලනය සහ මුලින්ම ඉවත් කිරීම ගැන ආණ්ඩුව සලකා බැලිය යුතුය. විවෘතභාවය ප්‍රමාද වන අතර වාරයේ වෙළෙඳපොළ හැසිරීම විසින් පාලනය කළ නොහැකි අර්බුද ඇති කරන බව පැහැදිලිය.
සාරා කන්දෙගොඩ