(විමුක්ති එස් රුද්‍රිගු)

මෙම වසරේදී සෑම ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුගෙන්, දෙදෙනෙක් දුප්පත්කමින් පීඩා විඳිමින් හෝ දුගී රේඛාව ආසන්නයේ (සියයට 50 සීමාව තුළ) ජීවත් වනු ඇතැයි ලෝක බැංකුව අද (06) නිකුත් කළ මෙරට සංවර්ධන වාර්තාවේ දැක්වේ.

මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ සිය ඉතුරුම් වියදම් කළ ජනතාව නැවත තම ඉතුරුම් ගොඩනගා ගැනීමට පෙර නැවතත් ජීවන වියදම ඉහළ ගොස් තිබෙන බවද එම වාර්තාව පෙන්වා දුන්නේය. ඒ හේතුවෙන් එම ජනතාවට තවත් කම්පනයකට මුහුණදීමට සිදුවුවහොත් ඔවුන්ගේ ආදායම් තත්වය පහළ යාමේ අවදානමක් මතුවිය හැකි බවද එම වාර්තාවේ දැක්වේ.

පසුගිය වසරේදී මෙරට ජනතාවගෙන් සියයට 16.9ක් දුප්පත්කමින් පීඩාවිඳ ඇති බවත් එය මෙම වසරේදී සියයට 15.8ක් දක්වා පහළ යනු ඇති බවත් එම වාර්තාව පුරෝකතනය කර ඇත. 2023 වසරේදී සියයට 20.7 දක්වා ඉහළ ගිය මෙරට දුප්පත්කම අඛණ්ඩව පහළට පැමිණ ඇති නමුත් තවමත් මෙරට දුප්පත්කමින් පෙළෙන ජනතාව ආර්ථික අර්බුදයට පෙර මට්ටමට පැමිණ නැතැයිද එම වාර්තාවේ දැක්වේ. 2019 වසරේදී මෙරට දුප්පත්කමින් පෙළෙන ජනතාව සියයට 11.5ක් වූ බවද එම වාර්තාව පෙන්වා දුන්නේය.

මෙරට දුප්පත්කමින් පෙළෙන ජනතාව 2028 වසරේදී සියයට 14ක් වනු ඇති බවත් මැදි කාලීනව 2030 වසරේදී නැවතත් මෙරටට දුප්පත්කමින් පෙළෙන ජනතාව ආර්ථික අර්බුදයට පෙර මට්ටමට පැමිණෙනු ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික ස්ථාවරත්වය ළඟා කරගෙන ඇතත් තවමත් මෙරට බොහොමයක් පවුල් ආර්ථික අර්බුදයට පෙර පැවැති ජීවන තත්වය ළඟා කරගෙන නැතැයිද ලෝක බැංකුව ඊයේ(06) නිකුත් කළ මෙරට සංවර්ධන දැක්මේ සඳහන් වේ. ශ්‍රී ලංකාව මෙම වසරේදී සියයට 4.4 ක ධනාත්මක ආර්ථික වර්ධනයක් ළඟා කරගනු ඇතැයි පුරෝකතනය කරන බවත් මීට අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව මෙම වසරේදී සියයට 3.6 ක ආර්ථික වර්ධනයක් ළඟා කරගනු ඇතැයි ලෝක බැංකුව පුරෝකතනය කර තිබූ බවත් එම වාර්තාව පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් නිෂ්පාදන ක්‍රියාවලිය දුර්වල මට්ටමක පැවැතීමත්, ආර්ථිකය යථා තත්වය පත්වීමේ ගමන මන්දගාමී වීමත් හේතුවෙන් ලබන වසරේ මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 4.2 දක්වා පහළ යනු ඇති බවත් එය 2028 වසරේදී සියයට 4 දක්වා පහළ යනු ඇති බවත් ලෝක බැංකු වාර්තාව සඳහන් කළේය.

උද්ධමනය මෙම වසරේදී සියයට 5.7 මට්ටමේ පවතිනු ඇති බවත් 2028 වසරේදී නැවතත් සියයට 5 මට්ටමට පවතිනු ඇති බවත් එම වාර්තාවේ දැක්වේ. මෙම වසරේ සියයට 5.7ක උද්ධමනයට ප්‍රධාන වශයෙන් ඉහළ බලශක්ති මිල බලාපාන බවද එහි සඳහන් වේ. ඉහල මිළ මෙරට සැබෑ ආදායම් වර්ධනයට මෙන්ම දුප්පත්කම පහළ යන වේගයට බලපෑම් එල්ල කරනු ඇති බවද එම වාර්තාවේ දැක්වේ.

පොලී ගෙවීම් මෙරට රජයේ ආදායමට දැඩි බරක් එකතු කරන බවත් පසුගිය වසරේ රාජ්‍ය ආදායමෙන් සියයට 46ක් වියදම් වී ඇත්තේ පොලී ගෙවීම්වලට බවත් ලෝක බැංකුව නිකුත් කළ එම වාර්තාව සඳහන් වේ. කෙසේ නමුත් එය 2022-23 වසරවල පැවැති සියයට 80 මට්ටමට වඩා සැලකිය යුතු පහළ යාමක් බවද ලෝක බැංකුව නිකුත් කළ එම වාර්තාවේ දැක්වේ.

එසේම රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධනයේ දෙවන අදියර ක්‍රියාත්මක වීමත් සමඟ, මෙම වසරේ ජනවාරි මාසයේදී රාජ්‍ය සේවක වැටුප් තවදුරටත් ඉහළ ගියබවද එහි සඳහන් වේ. කෙසේ වෙතත්, බොහෝ රාජ්‍ය සේවකයින්ගේ සැබෑ වැටුප් තවමත් පවතින්නේ අර්බුදයට පෙර පැවති මට්ටම්වලට වඩා පහළින් බවද මෙරට සංවර්ධන දැක්ම වාර්තාවේ දැක්වේ.

ඔවුන්ගේ මිලදී ගැනීමේ හැකියාව දැඩි ලෙස පිරිහී ඇති බවත්, නාමික වැටුප් වැඩිවීම් මගින් එම තත්ත්වය යථා තත්ත්වයට පත් කර ඇත්තේ අර්ධ වශයෙන් පමණක් බවත් ඉන් පෙනී යන්නේ යැයි එම වාර්තාවේ සඳහන් වේ.

ඇමෙරිකානු ඩොලර් බිලියන 28 ක විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව, ණය ප්‍රතිව්‍යූහගතකරන ක්‍රියාවලිය ආරම්භ කළ බවත් ප්‍රතිව්‍යූහගත කිරීමට ඇත්තේ තවත් ඩොලර් බිලියන 0.3ක් බවත් එම වාර්තාවේ දැක්වේ. මෙරට රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අඛණ්ඩව පහළට පැමිණ තිබෙන බවත් මෙම වසරේදී මෙරට රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 87 දක්වා පහළට පැමිණෙනු ඇති බවත් එය 2028 වසර වනවිට සියයට 77.2ක් දක්වා පහළට පැමිණෙනු ඇති බවත් ලෝක බැංකුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වේ.

මෙරට සංවර්ධනය පිළිබඳව අදහස් දක්වමින් ලෝක බැංකුවේ මෙරට වැඩබලන අධ්‍යක්ෂ ස්ටෙෆාන් මාසින් මහතා ඊයේ(06) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේ ලෝක බැංකුවේ පුරෝකතන පවා අභිබවායමින් ආර්ථික අර්බුදයට පෙර පැවති ආර්ථික තත්වයට ශ්‍රී ලංකාව පැමිණ ඇතත් එය මෙරට සාමාන්‍ය පවුල් සියල්ලටම එක හා සමානව දැනී නැති බවයි.

අඛන්ඩව කාර්තු 12 ක් ශ්‍රී ලංකාව ආර්ථිකය ධනාත්මකව වර්ධනය වී ඇති බවත් ඔහු පැවැසුවේය. සියලු බලාපොරොත්තු අභිබවා යමින් මෙරට ආර්ථිකය වර්ධනය වී තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව තුළ ස්ථාවරත්වය නැවත ඇතිවී තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

මෑතකදී ශ්‍රී ලංකාව ඉහළ මට්ටමේ මැදි ආදායම් ලබන රටක් ලෙස ඉහළට පැමිණ ඇති බවත් මේවා ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් සන්ධිස්ථාන බවත් මාසින් සඳහන් කළේය. ඉතා අපහසු ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව මෙම ප්‍රගතිය ලබාගෙන ඇති බවද ඔහු පැවැසුවේය. එහිදී ශ්‍රී ලාංකිකයන්ගේ ඔරොත්තු දීමේ හැකියව අගය කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.

නමුත් මෙය ආරම්භය පමණක් බවත් මෙරට ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ගමන තවමත් අවසන් වී නොමැති බවත් වැඩබලන අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.ශ්‍රී ලංකාව යථා තත්වයට පත්ව ඇත්තේ සාර්ව ආර්ථික මට්ටමින් පමණක් බවත් තවමත් ශ්‍රී ලාංකිකයන් සියල්ලටම සහ මෙරට සාමාන්‍ය පවුල්වලට එක හා සමානව දැනෙන අයුරින් මෙරට ආර්ථිකය යථා තත්වයට පැමිණ නැති බවත් ඔහු පෙන්වා දුන්නේය.

තවමත් ශ්‍රී ලාංකිකයන්ගේ සියයට 16.9 ක් දුප්පත්කමින් පීඩා විඳින බවත් එය ආර්ථික අර්බුදයට පෙර පැවැති මට්ට්මට වඩා තවමත් ඉහළ බවත් ස්ටෙෆාන් මාසින් මහතා ප්‍රකාශ කළේය. එසේම ආර්ථික අර්බුදයට පෙර පැවැති වැටුප් මට්ටමට ශ්‍රී ලාංකිකයන්ගේ වැටුප් තල පැමිණ නැති බවද ඔහු පැවැසුවේය.

මෑත කාලයේ මෙරට මුහුණදුන් කම්පනවලින් බොහෝ පවුල් පීඩා විඳ ඇති බවත් ඒ හේතුවෙන් අනාගතයේ ඇතිවිය හැකි කම්පනවලදී දැඩි අවදානමකට ලක්විය හැකි බවත් ඔහු පැවැසුවේය. ශ්‍රී ලංකාවට තිබෙන අභියෝගය ආර්ථික යථා තත්වයට පත්කර ගැනීම පමණක් නොවන බවත් ආර්ථිකය පරිවර්තනය කර ගැනීමද මෙරටට තිබෙන අභියෝගයක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

මෙරටට ඉතාමත් ශක්තිමත් ආර්ථික පදනමක් තිබෙන බවත් නමුත් ශ්‍රී ලංකාවට නව ආර්ථික වර්ධන මාවතක් අවශ්‍ය බවත් ඔහු පැවැසුවේය. එහිදී පුද්ගලික ආයෝජන පෙරමුණ ගත යුතු බවද ඔහු පෙන්වා දුන්නේය. අවසාන අරමුණ වන්නේ රැකියා උත්පාදනය සහ ආර්ථික වර්ධනය බවද ඔහු සඳහන් කළේය. රැකියා උත්පාදනය සඳහා වැඩිම අවස්ථාවක් ඇති අංශ පහෙන් එක් අංශයක් වන්නේ කෘෂි කාර්මික අංශය බවද ඔහු පැවසුවේය.