(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ලබන (09) සිකුරාදා බාරදෙන බව සමගි  ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා  පාර්ලිමේන්තුවේදී  අද පැවසීය.

ඔහු මෙසේ පැවසූවේ  සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

අජිත් පී පෙරේරා මහතා:

මේ රටේ නීතියේ   ක්‍රියාකාරීත්වයේ  ප්‍රමාදය ගැන සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත් කරන්න මම ඉල්ලීම්  කළා. 2026 දී තමයි  මේ ප්‍රශ්නය මතු කළේ. අද වෙනතුරු ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ. දැන් ඔබතුමා නියෝගයක් ලබාදී  තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වරප්‍රසාද පිළිබඳව මුක්තිය තියෙන්නේ ජනාධිපතිට විතරයි. ආචාර ධර්ම සංග්‍රහයේ ඔබතුමාට මුක්තියක් දී නැහැ. ඔබතුමාට විශ්වාසභංග  යෝජනාවක් සිකුරාදා  බාර  දෙනවා. මේ චෝදනා ඇතුළු තවත් චෝදනා ඇතුළත් කරලා . ඔබතුමාට සුභ පැතුම්

සභානායක බිමල් රත්නායක මහතා:

විශ්වාසභංගය අදම බාරදෙන්න. අපි සිකුරාදා විවාදයට ගන්න සූදානම්. පළමු පාර්ලිමේන්තු සතියේම විවාදයට ගන්නා ලෙස අපි යෝජනා කරනවා. අධිකරණය ගැන එහෙම සාකච්ඡා කරන්න බැහැ. මෙතන ඉතා නින්දිත ආකාරයෙන් විනිශ්චකාරවරුන්ගේ නම් ගම් කියමින් හැසිරුණා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:

ඔබතුමාට අභිමත පරිදි කටයුතු කරන්න පුළුවන් වුණාට  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න බැහැ.
නඩු ලක්ෂ 11ක් ප්‍රමාද වෙලා තියෙන වෙලාවක ඒ ගැනයි අපි ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වුණේ. අපි ඒකට ඉල්ලීම කළේ ජනතා පරමාධිපත්‍යය යටතේ. කරුණාකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනතා පරමාධිපත්‍ය  ලබා නොදෙන්න  ඔබතුමාට අයිතියක් නෑ.

මන්ත්‍රී  මුජිබර් රහුමාන් මහතා:

කොවිඩ්  රෝගීන්  ආදාහනය පිළිබඳව පරීක්ෂණ පවත්වන්න අපි ඔබතුමාගෙන් තේරීම් කාරක සභාවක් ඉල්ලුවා. අද වෙනතුරු ඒකට උත්තරයක් ලබාදීලා නැහැ.

මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා:
ඔබතුමාගේ ක්‍රියා කලාපය ගැන වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළා. මේ මාසෙවත් ඒක ඉදිරිපත් කරන්න දේවි කියලා මම විශ්වාස කරනවා.

කතානායක;

තවම ඒ තීන්දුව ලේකම් මණ්ඩලය ලබාදීලා නැහැ.