ආදීවාසීන් ඇන් ’Z’ වැඩ


ශ‍්‍රී ලංකාවේ ආදිවාසී ජනයා වූ කලී  මෙම භූමිය තුළ වෙසෙන පැරණිම ජන ගෝත්‍රිකයන් වන්නේය. සාමාන්‍ය සමාජ ජීවිතයකට වඩා අල්පේච්ඡ වූ ජීවිතයක් ගතකරන ඔවුන් ස්වභාවධර්ය හා සුසංයෝගී වෙමින් ජීවිකාව සරි කර ගනිති. ගසට පොත්තක් මෙන්ම ඔවුන්ගේ ජීවය මේ සොබා දහමත් සමඟ බැදී පවතියි. ඔවුන්ගේ සංස්කෘතිය, ආහාර රටාව, තාක්ෂණය, චාරිත්‍ර වාරිත්‍ර, වෙදකම, හෙදකම මේ සියල්ල එයට අනුබද්ධ වේ. ඔවුන්ගේ අනන්‍යතාව ඒ හා බද්ධව පවතියි. 

පාරිසරික හා සමාජ ගැටලු‍ රැසකට මුහුණ දුන් දානිගල, හේනෙබැද්ද හා බිංගොඩ ජීවත් වූ ආදිවාසී ප‍්‍රජාවට ස්වකීය වරිගේ උන්නතිය උදෙසා විකල්ප වාස භූමිවලට යොමු වෙන්නට සිදුවිය. ඔවුන්ගේ නව වාස භූමිය පොල්ලේබැද්ද සිංහල ගම්මානයි. ඔවුන් ආදීවාසින් ලෙස වනචාරි ජීවිතයක් ගත කළද, පසු කාලීනව අන්තර් සංස්කෘතික පසුබිම තුළ ඔවුන්ගේ සමාජීය, සංස්කෘතික අංගයන් වෙනස්වීම දැකගත හැකිය. ස්වකීය වර්ගයා ප්‍රමාණාත්මක අන්දමින් වර්ධනය කර ගැනීමට හැකි වූ ඔවුන්ට ස්වකීය සිරිත් විරිත්, සමාජ පරිසරය, සංස්කෘතිකාංග ඒ විදිහටම පවත්වාගෙන යාමට නොහැකි විය. ඔවුන් සමාන්‍ය සමාජයට කෙමෙන් කෙමෙන් අනුවර්තනය වෙමින් පවතියි. වනාන්තරයේ ගොසින් දඩයම් කළ ඔවුන් අද වෙන විට වී ගොවිතැන සිදු කරමින් ස්වකීය ආහාර අවශ්‍යතා සපුරා ගනිති. ඔවුන් තමන්ගේ මූලික අවශ්‍යතා සඳහා අවශ්‍ය දේ මිල දී ගැනීමට ආසන්නම නගරය වූ මහඔය ප්‍රදේශයට පැමිණෙති. එමෙන්ම දරුවන් ස්වකීය අධ්‍යාපන කටයුතු සඳහා මෙන්ම තරුණ තරුණියන් රැකියා කටයුතු සඳහා නගරයට සංක්‍රමණය වේ. මේ හේතුවෙන් ඔවුන්ට ආවේණික වූ බොහෝ දෑ සමාන්‍ය සමාජයත් සමඟ මිශ්‍ර වීම හේතුවෙන් වෙනස් වී තිබේ.

නවීන තාක්ෂණය හා සමාජ ක්‍රමයන් මෙහි බහුලව භූක්ති විඳින තරුණ ආදි වාසී පම්පරාව දැන් දැන් සුලබව දැකගත හැකි අතර, ඔවුන්ගේ වාග් ව්‍යවහාරය සහ සංස්කෘතිය, කලාව ආදී බොහෝ දෑ අභාවයට යමින් පවතියි. වනය හා පරිසරය ආදිවාසීන්ගේ ජීවන රටාවේ මූලික කොටසක් වෙන බැවින්, ඔවුන්ගේ සාම්ප්‍රදායික පරිසර සුරැකීම සම්බන්ධ වැඩසටහන් මඟින් පරිසර ආරක්ෂාව සහ ආදිවාසී සංස්කෘතියේ සම්බන්ධතා රැකගැනීම කළ යුතුය. ඔවුන්ගේ සංස්කෘතිය, භූමි අයිතිය සහ ජීවන රටාව ආරක්ෂා කරමින් සාධාරණ හා අන්තර්ගත සමාජයක් නිර්මාණය කිරීම ඉතාම වටිනා දෙයකි.

ශ්‍රී ලංකාවේ වෙසෙන සිවිල් පුරවැසියන් නිසාවෙන් මොවුන්ට මෙරට නීතිමය යාන්ත්‍රණය තුළ කටයුතු කිරීමට සිදුවේ. එහි දී ඡන්දය සුවිශේෂී වේ. ආදීවාසින්ට ද ස්වකීය වරිගයේ නායකයා තෝරා ගැනීමට හැකි වා සේම රාජ්‍ය තන්ත්‍රය තුළ මහජන නියෝජිතයන් තෝරාපත්කර ගැනීමට මෙන්ම මහජන නියෝජිතයකු ලෙස තෙරී පත්වීමටත් හැකියාව තිබේ. නමුත් මෙවැනි දේ පිළිබඳ නිවැරදි අවබෝධයක් නොමැති වීම, ඒ පිළිබඳ වැඩි උනන්දුවක් නොදැක්වීම යනාදී විවිධ කාරණාවන් දැකගත හැකිය. 

සුවිශේෂී සමාජ සංස්කෘතික පරිසරය හා භාෂා භාවිතය නිසා  මොවුන්ට පොදු සමාජය හා සම්බන්ධවීමේ අපහසුතා නිරන්තරයෙන්ම පවතින අතර රජයේ නිලධාරීන් හා ආයතන සම්බන්ධවීමේ දී ගැටලු‍කාරී තත්ත්වයන් ද මතුවීම නිරන්තරයෙන් දැකගත හැකිය. මේ හේතුවෙන් අනෙකුත් ගැටලු‍කාරී තත්ත්වයන් මෙන්ම මැතිවරණ ක්‍රියාවලියට අදාළව ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වීම, ඡන්ද හිමි නාමලේඛන තොරතුරු ලබාගැනීම, මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ දැනුම්වත් වීම අවම වීම ආදී ගැටලු‍ සහගත තත්ත්වයන් ද ඇතිව තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව මගින් තම ප්‍රධානම පාර්ශවකරුවා වෙන මහජනතාවගේ කටයුතු පහසු කිරීම සඳහා ‘‘ඊ සේවා’’ රැසක් හඳුන්වා දී තිබෙන අතර මේ මගින් මැතිවරණ කාර්යාල, ග්‍රාම නිලධාරි කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආදී කාර්යාල වෙත නොගොස් මැතිවරණ නිලධාරින්, ග්‍රාම නිලධාරින් ආදී නිලධාරින් හමුනොවී 24/7 සේවාවක් ලෙස දවසේ ඕනෑම වේලාවක තමා සිටින ඕනෑම ස්ථානයක සිට අවශ්‍ය සේවාවන් ලබා ගැනීමේ හැකියාව පවතී. මේ නිසා මහජනතාවට රැකියාවන්හි නිරතවීම, ගොවිතැන් කටයුතු ඇතුලු‍ සාමාන්‍ය දෛනික ජීවිතයේ කටයුතු වෙත බාධාවක් ඇති නොවන පරිදි තම පෞද්ගලිකත්වය ආරක්ෂා කරගමින් පහසු වේලාවක මැතිවරණ කොමිෂන් සභාවෙන් ලබා ගැනීමට  හැකියාව ලැබී තිබේ. විශේෂයෙන් මේ මගින් ආයතන වෙත ගොස් නිලධාරින් හමුවී කටයුතු කිරීමට අකමැති පුද්ගලයන්ට තම කටයුතු කර ගැනීම විශේෂ පහසුවක් හිමිව තිබේ.

එබැවින් මෙම මැතිවරණ ‘‘ඊ සේවා’’ භාවිතය මගින් ආදීවාසී ප්‍රජාවට මැතිවරණ කොමිෂන් සභාව මගින් ලබාගත යුතු සේවා ලබා ගැනීමේ දී මතුවෙන බාධා අවමකර පහසුවෙන් හා කාර්යක්ෂම ලෙස අවශ්‍ය සේවාවන් ලබාගත හැකිය. නමුත් ආදීවාසී ප්‍රජාව තුළ ඒ පිළිබඳ අවබෝධය අඩුවීම නිසා එම සේවා ලබා ගැනීමට බොහෝ පිරිසක් යොමු නොවන අතර එය ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහිමි වීමට හේතුවකි. ආදීවාසී ප්‍රජාවට මෙම සේවා පිළිබඳ අවබෝධයක් ලබා දීම මගින් මෙම ගැටලු‍ව අවමකර දැනට වසරකට ලක්ෂ 100 ආසන්න පිරිසක් භාවිත කරන මැතිවරණ ‘‘ඊ සේවා’’ ප්‍රතිලාභ ආදීවාසී ප්‍රජාවට ද ලබා ගැනීමට අවස්ථාව උදාවේ.

එබැවින් මෙම ‘‘ඊ සේවා’’ භාවිතය පිළිබඳ ආදීවාසී ප්‍රජාව දැනුම්වත් කිරීමේ සුවිශේෂි වැඩසටහනක් මැතිවරණ කොමිෂන් සභාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය මගින් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හා එක්ව පැවැත්වීමට සැලසුම් කරන ලදී. ඒ අනුව ආදීවාසී ගම්මාන ආශ්‍රිතව මෙම පුහුණු වැඩසටහන් නවමු ක්‍රම වේදයක් අනුගමනය කරමින් පැවැත් වීමට සැලසුම් කරන ලද අතර එහිදී මෙවැනි සේවාවන් පවතින බව පොදුවේ ගම්මානයේ සියලු‍ ආදීවාසී ප්‍රජාව දැනුම්වත් කර තෝරා ගත් තරුණ ආදීවාසී කණ්ඩායමක් පුහුණුකරුවන් ලෙස පුහුණු කිරීමට ද සැලසුම් කෙරිණි.

මැතිවරණ ‘‘ඊ සේවා’’ භාවිත කිරීමට නම් අන්තර්ජාල සහිත සුහුරු ජංගම දුරකතනයක් හෝ එවැනි උපකරණයක් භාවිත කළ යුතු අතර සෙසු ප්‍රජාවන් අතරට දැනුම හා තාක්ෂණය භාවිත කිරීමේ අවබෝධය ගලා ඒමට වඩා මෙම ප්‍රජාව තුළට දැනුම හා තාක්ෂණය භාවිත කිරීමේ අවබෝධය ලැබීම ඉතා අවම බැවින් ආදීවාසී වැඩිහිටි පරපුර අතර නව තාක්ෂණය භාවිතය අවමය. නමුත් තරුණ ආදීවාසී ප්‍රජාව මෙම නව තාක්ෂණයන් ඉතා හොඳින් භාවිත කරන බැවින් එම තරුණ ආදීවාසි ප්‍රජාව පුහුණුකරුවන් ලෙස පුහුණු කර ආදීවාසී ගම්මානයේ සෙසු පිරිසට මැතිවරණ ‘‘ඊ සේවා’’ ලබාගැනීමේ දී අවශ්‍ය සහාය ලබාදීමට හැකි පිරිසක් ලෙස ආදී වාසී ප්‍රජාව අතරම ස්ථාපිත කළ විට සමස්ත ප්‍රජාවටම මෙම පහසුකම් ඉතා පහසුවෙන් ලබාගත හැකි වේ. මේ නිසා ආදී වාසී පවුලකින් අවම වශයෙන් එක් සාමාජිකයකු බැගින් නියෝජනයවෙන පරිදි තරුණ ආදීවාසී ප්‍රජාව සම්බන්ධ කර ගමින් ‘‘ ඊ සේවා’’ පිළිබඳ පුහුණුවක් ලබාදීම කෙරිණි.

සුහුරු ජංගම දුරකතන භාවිත කරන ආදීවාසී තරුණ ප්‍රජාව තනි තනි වශයෙන් සම්මුඛ වෙන පරිදි මැතිවරණ ‘‘ ඊ සේවා ’’ පිළිබඳ පළපුරුදු, මැතිවරණ කොමිෂන් සභාවේ තොරතුරු හා සන්නිවේදන  තාක්ෂණ අංශයේ නිලධාරීන්ගේ සහාය ලබාගනිමින් මැතිවරණ‘‘ ඊ සේවා’’ ගිණුමක් සකසා මැතිවරණ ‘‘ඊ සේවා’’ භාවිතය පිළිබඳව ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම මගින් ‘‘ඊ සේවා’’ භාවිතයට හුරු කිරීම සිදු කිරීම සිදුකර හැකි වෙන පරිදි මෙම වැඩසටහන සැලසුම් කළ අතර පොදුවේ සියලු‍ ප්‍රජාව දැනුම්වත් කළ විට අවශ්‍ය සේවා පහසුවෙන්  ලබාගත හැකි ක්‍රම පවතින බව ඔවුන් දැනුම්වත් වන අතර ආදිවාසීන්ගේම තරුණ ප්‍රජාවට මෙම සේවා භාවිතය පිළිබඳ පුළු‍ල් පුහුණුවක් ලබාදීම මගින් මෙම සේවා ලබාගැනීමට සහායක් අවශ්‍යය තම ප්‍රජාවේම අයට සහාය වීමට ඔවුනට හැකියාව ලැබේ.

මෙසේ තරුණ ආදීවාසී සාමාජිකයන් මැතිවරණ ඊ සේවා පිළිබඳව පුහුණු කළ විට ඔවුන් මගින් සමස්ත ආදිවාසී ප්‍රජාව වෙත ඊ සේවා පහසුකම් ලබා දීමේ හැකියාව ලැබෙන අතර ග්‍රාම නිලධාරී ඊ සේවාව භාවිතයෙන් වසමේ ග්‍රාම නිලධාරීන් හටද ඵලදායී සේවාවක්  ලබා දීමේ හැකියාව උදාවේ. තාක්ෂණයන් භාවිත කිරීමේ සමාන අවස්ථාවක් සෑම ප්‍රජාවකටම ලැබීම වැදගත්වෙන අතර මෙම වැඩ සටහන හරහා මැතිවරණ කොමිෂන් සභාව විසින් වැඩිදියුණු කොට ඇති ඊ සේවාවන්හි ප්‍රතිලාභ  ආදිවාසි ප්‍රජාවටද සෙසු ප්‍රජාව ලබා ගන්නා අයුරින්ම ලබා ගැනීමටද අවස්ථාව උදාවේ.

ඒ අනුව උපාය මාර්ගික සැලසුමකට අනුව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ගේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරී මෙහෙයවීමෙන් මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට හැකි විය. 

ෂෙහානි දිල්රුක්ෂිකා