අඩි හයදහසක් යනු සැතපුමකට වඩා මඳක් උසය. ලංකාවේ ඇති පිදුරුතලාගල, කිරිගල්පොත්ත, තොටුපොළ කන්ද, රම්බොඩ කඳු සමනල කන්ද ආදී සියලු ප්‍රධාන කඳු පංති අඩි හයදහසට වඩා උසය. එම කඳු සුන්දරත්වයෙන් අනූන මුත් විනිමය උපයන මාර්ග ලෙස උපයෝගී කරගන්නේ නැත. එහෙත් මැලේසියාවේ අඩි හත් දහසක් උසින් යුත් කඳු වළල්ලකින් විශාල වශයෙන් විනිමය ඉපැයීමට එරට සමත්ය. ‘‘ටිටිවැන්න්ග්සා’’ කන්දේ අඩි දසදහසක බෑවුමක ගොඩනඟා ඇති සුවිසල් හෝටල ඇතුළු අංගෝපාංග එරටට විනිමය ආකාරයකි.
මෙම කඳුකර ඉසව්ව හැඳින්වෙන්නේ ‘‘ජෙන්ටින් හයිලන්ඩ්ස්’’ යනුවෙනි. මධ්‍යම මැලේසියාවේ ‘‘ටිටිවැන්ග්සා’’ කඳුකරයේ ‘‘උලුකාලි’’ කන්ද මුදුනේ මීටර් 1800 ක හෙවත් අඩි දසදහසක බෑවුම් සහිත ප්‍රදේශයක සංචාරක හෝටල්, කැසිනෝ ශාලා සහ ලොව ප්‍රකට සන්නාමවලින් යුතු සුපිරි සාප්පු සංකීර්ණ ගොඩනඟා ඇත්තේ එරටට විශාල ආදායමක් හිමි කරදෙමිනි. ‘‘ජෙන්ටින් හයිලන්ඩ්’’ ප්‍රදේශයේ ඉහළම සංචාරක ආකර්ෂණය දිනා ඇත්තේ කඳු මුදුනට ළඟාවීම සඳහා ඉදිකර ඇති ‘‘කේබල් කාර්’’ මාර්ගයයි.
1965 වනතුරුම ‘‘මිටිවන්ග්සා’’ කඳුකරයත් ‘‘උළුකාලි’’ කඳුමුදුනත් සීතල පොරවාගත් වලාකුළුවල පහස පමණක් ලැබීය. ඉඳහිට එහි යන එඬේරකු හැරෙන්නට ගෙයක් දොරක් එහි නොවීය. ව්‍යාපාරිකයකු වූ ‘‘ලිම් ගෝ ටොංග්’’ මෙම ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණය ඇති ව්‍යාපාරික ස්ථානයක් බවට පත්කිරීමට පුරෝගාමී වූ අතර ඔහුගේ හෝටල් කර්මාන්තය සඳහා රජය කඳුකරයට මාර්ග ඉදිකර දුන්නේය. ඇමරිකාවේ වෝල්ට් ඩිස්නි සමාගම සමග එක්ව සූදු ක්‍රීඩාවලින් යුතු හෝටල් සංකීර්ණ, ඒ කරා යාම පහසු කරවන කේබල් කාර් මාර්ග හා නැවතුම් පොළවල් ඉදිකෙරුණේ ඉන් පසුවය.
අද ජෙන්ටින් කඳුකරය සංචාරක තෝතැන්නකි. වඩාත්ම එහි එන්නේ දේශීය සංචාරකයන් සහ චීන, ඉන්දියා ඇතුළු ආසියානු කලාපීය සංචාරකයන්ය.
අහසට යන සෝපානයක් බඳු වින්ඩ්හැම් එවොන් මැජෙස්ටික් හෝටලය එහි ඇති උසම හෝටලයයි. අඩි දසදහසක බෑවුමකට මුහුණලා මහල් පනහකින් යුතුව ඉදිකර ඇති එම හෝටලය මැලේසියානු ඉදිකිරීම් කර්මාන්තයේ ‘‘විශ්වකර්මයා’’ අතින් නිමවූවක් බව මට සිතුණේ සීතල වලාකැරලි සිරුර වටා එතෙද්දී පනස් වැනි මහලේ සිට හාත්පස බාල සිටි සන්ධ්‍යා හෝරාවේදීය. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළම සත්කාර මැද එහි ගිය මාධ්‍ය නවයක සාමාජිකයන් වූ අපට මැලේසියා සංචාරක අධිකාරිය ඉහළම සත්කාර පිරිනමා ජෙන්ටින් උස්බිමේ සොඳුරු අත්දැකීම් විඳින්නට ඉඩ ලබා දුන්නේය.
වලාකුළු අතර ගැවසුණු එවැනි සන්ධ්‍යාවක් වෙනත් කිසිදු රටකදී ලබා ඇති බවක් මට දැනුණේ නැත. සන්ධ්‍යාවේ පස්වැනි හෝරාව එළඹෙද්දී සිහින් දුමක් වැනි මිහිදුම් කැරලි පාට එන්නට පටන් ගත්තේය. ටිකෙන් ටික වැඩිවෙමින් ආ මිහිදුම් කැරලි හැඩ වටා පොරවාගෙන සිටි සීතල අහුරු පිටින් මා වටා දවටා හාත්පස පැතිර ගියේ කඳුමුදුනේ ඇති සෙසු හෝටල සියල්ල සුදු පැහැති දුමාරයක් වැනි නොඉඳුල් වලාකුළු යායකින් වසා දමමිනි. සැබැවින්ම ඒ දර්ශනය මනහරය. විශාල මුදලක් ගෙවා එන සංචාරකයන් විස්මයෙන් මන්මත් කරන්නට සමත්ය. මැලේසියාව සංචාරක කර්මාන්තය මනාව කළමනාකරණය කර විනිමය උපයන බවට හොඳම සාක්ෂිය හුදකලා හෝටල පමණක් ඉදි නොකර එය වටා කැසිනෝ, කේබල් කාර්, සුපිරි වෙළෙඳ සංකීර්ණ ඉදිකර ඒ හැම අංශයකින්ම මුදල් උපයන ආකාරය දකින විටය.
වින්ඩ්හැම් එවොන් මැජෙස්ටික් හෝටලයේ පනස්වැනි මහල පරිසරය ගවේශනයට වෙන් කර ඇති අතර හතළිස් අටවැනි මහල සුන්දර ගහකොළෙන් යුතු උද්‍යානයකි. තණ පලස, ගහකොළ දකින විට මේ උද්‍යානය ඇත්තේ මහල් හතළිස් අටකට උඩින් බව අමතක වන සුලුය.
ගිනිකොනදිග ආසියාවේ පිහිටි රාජ්‍ය තිහකින් සමන්විත මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව හා බෲනායි යන රාජ්‍යයන්ට මායිම් වේ. ඉන්දුනීසියාව, මැලේසියාව හා සිංගප්පූරුව ගෙවුණු සියවසේ මුල් භාගයේදී එකම රාජධානියක් ලෙස පැවතුණි. මැලේසියාව නමැති රාජ්‍යය බිහි වූයේ 1963 දීය. බ්‍රිතාන්‍යය මලයාව ලෙස පැවැති විශාල රාජ්‍යය 1946 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස් කරන ලද අතර 1963 දී මැලේසියානු රාජ්‍යය බිහිවිය.
මැලේසියානු සංචාරක අධිකාරිය පවසන්නේ 2024 වසරේදී ශ්‍රී ලාංකිකයන් 61766 දෙනෙක් මැලේසියාවේ සංචාරය කර ඇති බවය. 2019 වසරේ සිට සෑම වසරකම ලාංකික සංචාරකයන් සංඛ්‍යාව වසරින් වසර වැඩි වී ඇතැයිද එම අධිකාරිය සඳහන් කරයි. ‘‘මැලේසියාවට පිවිසෙන්න’’ ව්‍යාපාරය යටතේ 2026 වසරේදී ලාංකික සංචාරකයන් ලක්ෂයක් ආකර්ෂණය කර ගැනීම මැලේසියාවේ අරමුණය.
මැලේසියාවට යන ලාංකික සංචාරකයන්ට අවට පරිසරය සහ ගහකොළ දකින විට විදේශීය ලක්ෂණ සිහිපත් නොවනු ඇත. එයට හේතුව පොල්, තේක්ක, අඹ, රඹුටන්, කැන්ද වැනි ගස් වර්ග වලින් යුතු එරට සොබාවික පරිසරය ලාංකීය පරිසරයට වඩාත් සමීපවීමය. ලංකාවේ මෙන් එරටද මේ දිනවල රඹුටන් හා දූරියන් වාරය නිසා මාවත් දෙපස දූරියන් සුවඳ විහිදෙන පරිසරයක් හමුවේ. පෘතුගීසි යටත් විජිත වූ දෙරටම මෙම පලතුරු උරුම වී ඇත්තේ පෘතුගීසි බළකොටු අසල මෙම පලතුරු බළකොටු අසල මෙම පලතුරු වටා තිබූ නිසාය. මැලේසියාවෙන් ගෙන එන ලද යුද සිරකරුවන් සහ හමුදා සේවයට ගෙන ආ මැලේවරුන් නිසා අද වන විටද විසිහතර දහසක මැලේ ප්‍රජාවක් ශ්‍රී ලංකාවේ ජීවත් වෙති. අච්චාරු, කොකිස්, බූන්දි, දොදොල් වැනි ආහාරද රඹුටන්, දූරියන්, මැංගුස් වැනි පලතුරුද අපට ලැබුණේ පෘතුගීසි හා ලන්දේසි සමයේ මෙරටට ගෙන ආ මැලේවරුන්ගෙනි.
ඔබ විදේශ සංචාරයක නිරතවීමට අදහස් කරන්නේ නම් මැලේසියාව තෝරා ගැනීමෙන් ඔබට සොබාසිරිය රසවිඳින අතරම අඩු වියදමකින් සුපිරි මට්ටමේ සාප්පු සවාරියටක යොමු වීමටද අවස්ථාව ලැබේ. ‘‘ජෙන්ටින්’’ උස්බිම් වැනි කඳුකර ඉසව්වකදී කේබල් කාර් අත්දැකීම විඳ ගනිමින් සුපිරි ‘‘ෂොපිං මෝල්’’ අත්දැකීමක්ද විඳගත හැකිය. එමෙන්ම ක්වාලාලාම්පූර් අගනුවර සාප්පු සවාරි සංචාරකයන්ට විස්මය දනවන අත්දැකීමක් බවට පත්වන්නේ මිලෙන් වැඩි සුපිරි සාප්පු සංකීර්ණ මෙන්ම මිලෙන් අඩු සුපිරි සාප්පු සංකීර්ණද ක්වාලාලාම්පූර්හිදී හමුවන නිසාය. අතීතයේ සිංගප්පූරුවේ විවේකය ගත කිරීමට ගිය බොහෝ දෙනා අද මැලේසියාව තෝරාගෙන ඇත්තේද එනිසාය.
සංචාරයකදී ලැබිය යුතු වටිනාම දේ ආරක්ෂාවය. මැලේසියාවට පා තබන ඔබට කිසිදු තැනකදී පොලිස් නිලධාරියකු දැක ගැනීමට නොලැබෙන්නේ එරට මහා මාර්ග සහ ජනජීවිතය සුරක්ෂිත නිසාය. පොලිසිය මහමග නැතත් සීසීටීවී කැමරා මගින් සියල්ල නිරීක්ෂණය කෙරෙයි.
ලාංකිකයන්ගේ මැලේසියානු සංචාර ඉහළ ගොස් ඇති බවට හොඳම සහතිකය ශ්‍රී ලංකන් ගුවන් සේවය දිනකට දෙවරක් මැලේසියාව කරා පියාසර කිරීමය. ලාංකික සංචාරකයන්ගේ උනන්දුව නිසාම නුදුරු කලෙක දිනකට තෙවරක් පියාසර කරන්නට ශ්‍රී ලංකන් ගුවන් සේවයට සිදුවුවහොත් එයද පුදුමයක් නොවේ.
මැලේසියාවේ සහ සිංගප්පූරුවේ ශ්‍රීලංකන් ගුවන් සේවා කළමනාකරු ශාරුක වික්‍රම ආදිත්‍ය මහතාට ස්තුතිය පුද කරමු.
ප්‍රේමකීර්ති රණතුංග