(අංජුල මහික වීරරත්න)

ජාතික නිවාස ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

වත්මන් රජගේ පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් " ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර්ගත සුවපහසු නිවසක් - සනීපාරක්ෂක ජීවිතයක් නිවාස ප්‍රතිපත්තිය මඟින් ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම අඩු ආදායම් ලාභී ප්‍රජාව සඳහා ප්‍රමාණවත් හා ගුණාත්මක නිවාස හා යටිතල පහසුකම් සඳහා ප්‍රවේශයක් සැලසීමේ අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමු කරනු ලැබ ඇත. 

ඒ අනුව, නිවාස හා ජනාවාසකරණයේ සියලු සංරචක ආවරණය වන පරිදි හා ඒ පිළිබඳ නව ගෝලීය ප්‍රවණතා ද සැලකිල්ලට ගනිමින්, 2019 වර්ෂයේ දී අවසන් වරට සංශෝධන කරනු ලැබ ඇති ජාතික නිවාස ප්‍රතිපත්තිය නැවත සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගනු ලැබ තිබේ.

ඒ අනුව, ජනාවාසකරණය පිළිබඳ කාලීන අභියෝග ජය ගැනීම සඳහා තිරසර විසඳුම් සෙවීමට හැකිවන පරිදි ජාතික නිවාස ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම සඳහා සහ එකී සංශෝධනය මානව ජනාවාසකරණය සම්බන්ධ විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් මඟින් සිදු කිරීම සඳහා නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.