විජයකලාගේ නඩුවට නීතිපති උපදෙස් ලැබී නෑ


(නිමන්ති රණසිංහ)
 
හිටපු රාජ්‍ය ඇමැතිනී පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජයකලා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධ නඩුවේ ඉදිරි පියවර සඳහා මෙතෙක් නිතිපති උපදෙස් ලැබී නැතැයි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ අද (7) කරුණු ඉදිරිපත් කළේය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගෙන ආ යුතු බවට ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් කර ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ වරදක් සිදු කළැයි කියන සිද්ධියට අදාළ ඇයට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

නිතිපති ගොනු අංක ඩබ්ලිව් පී 1/ 123/18 දරණ ගොනුව නිතිපතිවරයා වෙත බාරදී ඇති අතර මෙතෙක් සිද්ධිය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවරයන් පිළිබඳව නිතිපතිවරයා උපදෙස් ලබා දී නැතැයි මෙහිදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වැඩිදුරටත් අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

ඒ අනුව අදාළ නඩුවේ උපදෙස් කඩිනමින් ලබා දෙන ලෙසට දන්වමින් අධිකරණය නීතිපතිවරයා වෙත සිහිකැදවීමක් අද (7) යොමු කරනු ලැබීය.

යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැති රාජ්‍ය උත්සවයකදී කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් මෙම ප‍්‍රකාශය සිදුකර තිබුණේ ඉකුත් ජුනි මස 02 වැනිදාය.