වීරකේසරී 95 බසු කරයි


මහත්මා ගාන්ධිතුමා 1927 නොවැම්බර් මාසයේ දී  ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහුට කොළඹ දී අතිමහත් පිළිගැනීමක් ලැබුණු අතර, මාතලේ සහ යාපනය ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලට ද ඔහු සංචාරය  කළේය.

එකල ගාන්ධිතුමාගේ ලංකා ගමන, ඔහුට ලැබුණු උත්කර්ෂවත් පිළිගැනීම හෝ ඔහු කළ බලගතු කතා නිසි ලෙස දෙමළ ජනතාව වෙත ළඟා වූයේ නැත. ගාන්ධි ගේ එම වැඩ සටහනකට සහභාගී වූ සමාජ සංවේදී තරුණයෙකුට, තමාට ගාන්ධි ගේ වදන් සවන් දීමට ලැබුණු සේම, රටේ සෙසු ජනතාවට එම අවස්ථාව නොලැබීම ගැන ගැඹුරු කනස්සල්ලක් ඇති විය. ඒ තරුණයා වෙන කවුරුත් නොව - පෙරී සුබ්‍රමනියම් චෙට්ටියාර් ය.

එදා ඔහුට ඇති වූ ඒ වේදනාව දෙමළ කතා කරන ජනතාවට දිනපතා පුවත්පතක් ආරම්භ කිරීමේ අවශ්‍යතාව ඔහුට අවබෝධ කර දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස 1930 අගෝස්තු 6 වැනි දින ‘වීරකේසරී‘ පුවත්පත මෙරට සිය මාධ්‍ය මෙහෙවර ආරම්භ කළේය. ආරම්භයේ දී ඉන්දීය සම්භවයක් සහිත ජනතාවගේ හඬ නියෝජනය කිරීමට පටන් ගත් වීරකේසරී, පසුව මුළු රටේම ජනතාවගේ හඬ බවට පත් විය.

ශ්‍රී ලාංකික ජනතාවගේ හැඟීම් සහ අභිලාෂයන් දරා, විශේෂයෙන් දෙමළ කතා කරන ප්‍රජාවගේ ජීවන රටාව සමග බද්ධ වෙමින්, දශක නවයකට අධික කාලයක් ශක්තිමත්ව ඉදිරියට ගමන් කළ, දෙමළ කතා කරන ජනතාව ගේ ආදරණීය පුවත්පත වන ‘වීරකේසරී‘, අද සිය 95 වැනි වසර සම්පූර්ණ කර 96 වැනි වසරට පා තබයි. 1930 අගෝස්තු 6 වැනි දින සිය මාධ්‍ය ගමන ආරම්භ කළ දා සිට, පාඨක ජනතාව ගේ අසීමිත සහයෝගය සහ ආදරය තුළින් පෝෂණය වෙමින්, වීරකේසරී සුවිශේෂ ජයග්‍රහණ රැසක් ලබා ඇත. 

මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 95ක් යනු මහ වෘක්ෂයක ගැඹුරු මුල් බඳු ය. තම අතු පතර පුළුල් කරමින්, වීරකේසරී වර්තමානයේ දෙමළ කතා කරන ජනතාව සඳහා වූ විශාලතම හඬ බවට පත්ව ඇත. දේශීයව පමණක් නොව, ජාත්‍යන්තර මට්ටමින් ද දෙමළ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කරන භාරකරුවෙකු ලෙස ක්‍රියා කර ඇති වීරකේසරී, දෙමළ කතා කරන ජනතාව ගේ ප්‍රසාදය සහ ශක්තිමත් සහයෝගය ලබා ගනිමිනි. 

පළමු කර්තෘගේ කාර්යය

1930 දී පුවත්පත ආරම්භ කළ සුබ්‍රමනියම් චෙට්ටියාර් ම වීරකේසරී පුවත්පතේ ආරම්භකයා මෙන්ම එහි පළමු කර්තෘවරයා ද විය. ඔහු සිය පළමු කතුවැකියෙහි මෙසේ සඳහන් කර තිබුණි: “තමාට හැකි පමණින් මහ ජනතාවට සේවය කිරීමට ඇති දැඩි ආශාවෙන් පෙළඹී වීරකේසරී බිහි වේ. අසාමාන්‍ය කාර්යයන් කිරීමට හැකියාව ඇති බවට පුරසාරම් දෙඩීමට සූදානම් නැත. යුක්තියේ සීමාව කිසිසේත් ඉක්මවා නොගොස්, මධ්‍යස්ථව සිටිමින් ලෝකයේ ප්‍රගතිය සඳහා වූ ව්‍යාපාර සහ ගැටලු‍ කරුණාවෙන් විශ්ලේෂණය කර ඉදිරිපත් කිරීම වීරකේසරී ගේ යුතුකම ලෙස සලකයි.”‍

සුබ්‍රමනියම් චෙට්ටියාර් එදා සිය කතුවැකියෙ හි සඳහන් කළ අයුරින්, වසර 95ක් පුරා වීරකේසරී සිය ගමන අකුරටම ඉදිරියට ගෙන යයි. වීරකේසරී පුවත්පත විවිධ කාල පරිච්ඡේදවල දී බොහෝ දුෂ්කරතා හා අභියෝගවලට මුහුණ දී අද මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉහළටම පැමිණ තිබේ. 

හඬක් නැත්තවුන්ගේ හඬ ලෙස වීරකේසරී

ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා බහුලව වෙසෙන උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාවගේ ගැටලු, දේශපාලන අභිලාෂයන්, සපුරාලීම සඳහා පාලමක් සේ කටයුතු කරන වීරකේසරී - කඳුරට ජනතාව ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා ඔවුන්ගේ හඬ ලෙස ද නිරතුරුව ක්‍රියා කරයි. එසේම මුස්ලිම් ජනතාව වෙනුවෙන් ද ඔවුන් තමන් ගේ වැඩි දායකත්වයක් සපයයි. පක්ෂග්‍රාහී නොවීම යනු මාධ්‍යයට අත්‍යාවශ්‍ය එසේම ඉතාම අසීරු කටයුත්තක් ද වෙයි. මේ අසීරු කටයුත්ත ඉතා සාර්ථකව දෙමළ භාෂාවෙන් ඉටු කරන ප්‍රමුඛයෙකු ලෙස වීරකේසරී හඳුන්වා දිය හැකිය. 

අභියෝගාත්මක කාලවල දී නොසැලෙන සේවය

රටේ දරුණු යුද්ධයක් පැවති කාලයේදී, ජනතාව දුෂ්කරතාවන්ට මුහුණ දුන් අවස්ථාවල දී සහ ජනවාර්ගික කෝලාහලවලින් රට විනාශ වී තිබූ අවස්ථාවල දී වීරකේසරී මධ්‍යස්ථභාවය නොබිඳ තම යුතුකම ඉටු කළ ආකාරය ඔවුන් අදටත් ආඩම්බරයෙන් සමරයි. එය ජනමාධ්‍යයේ මූලික කාර්යයක් බව ඔවුහු අදටත් විශ්වාස කරති. එසේම ජනතාව මුහුණ දුන් පීඩා, ගැටලු‍ සහ අසාධාරණ හෙළි කිරීමට වීරකේසරී පුවත්පත අතීතයේ සිටම මැළි වූයේ නැත. එය දෙමළ පාඨකයන් ඉතා හොඳින් දන්නා දෙයකි. ස්වභාවික විපත් ජනතාව පීඩාවට පත් කළ විට ද, වීරකේසරී විපතට පත් ජනතාව ගේ දුක තුනී කිරීමට ඉදිරිපත් විය. දරුණු කුණාටු, ගංවතුර, නායයෑම්, සුනාමි වැනි මහා විපත් ඇති වූ විට, විපතට පත් ජනතාව වෙනුවෙන් ඉදිරිපත්ව ඔවුන්ගේ හඬ බවට වීරකේසරී පත් විය.

2020 දී ලෝකය වසා ගත් කොරෝනා වෛරස් ව්‍යාප්තිය පැවති සමයේදී ද වීරකේසරී පුවත්පත විද්‍යුත් ආකාරයෙන් පාඨකයන් වෙත ළඟා වූවා පමණක් නොව, ජනතාවට අවශ්‍ය දැනුවත් කිරීම්, පැහැදිලි කිරීම් සහ උපදෙස් ලබා දුන්නේය.

නවීනත්වය කරා පිම්මක්

මේ වනවිට වසර 95 ක් ඉක්මවූව ද වීරකේසරී වයසට නොගොස් තරුණ වී තිබේ. ඔවුන් ගේ ඩිජිටල්කරණ සේවාවන් පුළුල් වී ඇත. වීරකේසරී වෙබ් අඩවිය දැනට පොඩ්කාස්ට් (Podcast), වීඩියෝ අන්තර්ගතයන් (Video Content) වැනි බහුමාධ්‍ය අන්තර්ගතයන් සපයමින් නවීන පාඨකයන් ගේ අවශ්‍යතා සපුරාලයි. එලෙසම, නවීන තාක්ෂණික දියුණුවට අනුකූලව, ජනතාව මුහුණ දෙන ගැටලු‍ ඉක්මනින් හෙළිදරව් කිරීමට ද වීරකේසරී අවශ්‍ය පියවර ගෙන ඇත. ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පාඨකයන්ට ඉක්මණින් පුවත් ලබා දීමට ද පියවර ගෙන ඇත. 2001 වසරේ සිට වීරකේසරී වෙබ් අඩවිය (Virakesari.lk)  ක්‍රියාත්මක වේ. එය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පුවත් වෙබ් අඩවිය ලෙසද සම්මාන දිනා ඇත. 2005 දී, වීරකේසරී ශ්‍රී ලංකාවේ ප්‍රථම දෙමළ ඊ-පේපරය (E-paper)  හඳුන්වා දුන්නේය. මෙය දෙමළ මාධ්‍ය ලෝකයේ විප්ලවීය ඉදිරි පියවරක් විය. එමගින් ලෝකයේ ඕනෑම තැනක සිට දෙමළ කතා කරන පාඨකයන්ට වීරකේසරී ක්ෂණිකව කියවීමේ අවස්ථාව ලැබිණි. 

නව පරිණාමයක් කරා ගමන් කරමින් සිටින වීරකේසරී විශාල ආයෝජනයකින් ඒකල, අති නවීන පහසුකම් සහිත මුද්‍රණ සංකීර්ණයක් ඉදිකර ඇත. මෙහි ආසියාවේම නවීන පහසුකම් සහිත මුද්‍රණ යන්ත්‍ර ස්ථාපනය කර, පුවත්පත් මුද්‍රණ කටයුතු සිදු කෙරේ. ඉදිරි කාලවල දී තවදුරටත් තාක්ෂණික දියුණුවට අනුකූලව, ලෝක මට්ටමේ මාධ්‍ය සේවාවක් පාඨකයන්ට ලබා දීමට ඔවුන් සැලසුම් සකස් කරමින් සිටියි. 

2001 සැප්තැම්බර් මාසයේ සිට වීරකේසරි පුවත්පත ප්‍රකාශයට පත් කරන එක්ස්ප්‍රස් නිවුස්පේපර්ස් (Express Newspapers) ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කුමාර් නඩේසන් කටයුතු කරයි. ඔහුගේ ධුර කාලය තුළ වීරකේසරි පුවත්පත නව අංග රැසක් හඳුන්වා දුන් අතර, නව ප්‍රකාශන ද එළිදක්වන ලදී. මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයට නවීනත්වය ආරෝපණය කිරීමට නිරන්තරයෙන් උත්සාහ කරන අයෙකු ලෙස ඔහු පිළිගැනේ. තවද, 2012 වසරේ සිට ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා ලෙස කටයුතු කළ සෙන්තිල්නාදන්, 2024 වසරේ සිට වීරකේසරි පුවත්පතේ ප්‍රධාන විධායක නිලධාරී (CEO)  ලෙස සේවය කරයි.

සංහිඳියාවේ මාවතට දායකත්වය

බහු වාර්ගික ජනතාවක් ජීවත් වන රටක, ජාතීන් සහ සමාජයන් අතර සංහිඳියාව, ජාතික සමගිය සහ අවබෝධය ඇති කිරීමේදී, වීරකේසරී ජනතාවගේ හඬ ලෙසින් මුලිකත්වය ගෙන ක්‍රියා කරයි.  

එහි වර්තමාන කර්තෘ එස්. ශ්‍රීකජන්  ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වයි:

“වීරකේසරී පුවත්පත මේ රටේ සියලු‍ම ජනතාව ගේ හඬ ලෙසින් කටයුතු කරනවා. එය දෙමළ භාෂාවෙන් පළ වුණත් මුළු රටේම ජනතාව වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ජනතාව ගේ ගැටලු‍ හෙළිදරව් කිරීමේ දී මෙන්ම, ජනතාවට නව තොරතුරු, ඇතැම් සිදුවීම් සම්බන්ධ පැහැදිලි කිරීමේ ලබා දීමේදී ද වීරකේසරී උපරිමයෙන් එය සිදු කිරීමට වගබලා ගන්නවා. පාඨකයන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය අපගේ ඉතා වැදගත් වත්කමයි.”‍

ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව තුළ සුවිශේෂී පරිච්ඡේදයක් නිර්මාණය කර ඇති වීරකේසරී, තම 95 වසරක ගමන තුළ හුදු පුවත් ලබා දුන් මාධ්‍යයක් ලෙස පමණක් නොව, දෙමළ කතා කරන ජනතාව ගේ සමාජ, දේශපාලන, සංස්කෘතික ජීවිතයට ගැඹුරු බලපෑමක් ඇති කළ මහජන ව්‍යාපාරයක් ලෙස ද කැපී පෙනේ. එහි ආරම්භයේ සිට අද දක්වා, බොහෝ අභියෝගවලට මුහුණ දෙමින්, නව තාක්ෂණයන් වැළඳ ගනිමින්, කාලයට අනුව තමන්ව අලු‍ත් කර ගනිමින්, ශ්‍රී ලාංකික දෙමළ සමාජයේ නොසැලෙන විශ්වාසයක් ලෙස එය පවතී.

“ගුණාත්මක තොරතුරු පැහැදිලිව”‍ (Quality News With Clarity)  යන තම ආදර්ශ පාඨයට අනුව, වීරකේසරී තම දීර්ඝ ඉතිහාසයේ පිටු දිගටම ලියමින් සිටී. නව තාක්ෂණයන්, පුළුල් කරන ලද අන්තර්ගතයන් සහ පාඨකයන් සමග අඛණ්ඩ සබඳතා තුළින්, වීරකේසරී ඉදිරි කාලවල දී ද දෙමළ කතා කරන ජනතාව ගේ විශ්වාසදායක මාධ්‍යයක් ලෙස පවතිනු ඇති බවට සැකයක් නැත.

ධම්මික ප්‍රේමරත්න