ලෝක බලවතුන්ගේ වත්කම්


මාඕ සේතුං, මහත්මා ගාන්ධි, ඒබ්‍රහම් ලින්කන්, නෙල්සන් මැන්ඩෙලා වැනි නායකයන් පිළිබඳ ලොවම කතාබහට ලක්වන්නේ ඔවුන් ආදර්ශවත් රාජ්‍ය පාලනය නිසාවෙනි. මෙවැනි වූ ආදර්ශවත් නායකයන් මෙන්ම අල්ලස්, දූෂණ, වංචා සහ නීති විරෝධි වත්කම් හමුවේ තනතුරු අහිමි වූ, සිරගත වූ නායකයන් ද ලොව බොහොමයකි. 

පිලිපීනයේ ෆර්ඩිනන් මාකෝස් පිළිගැනෙන්නේ ලෝකයේ දූෂිතම, දරුණුම දේශපාලන නායකයන්ගෙන් කෙනකු ලෙසිනි. 1965 සිට 1986 දක්වා වසර 21ක් පිලිපීනය පාලනය කළ ඒකාධිපතියකු වන ඔහු මහජන මුදල් සොරාකෑම අතින් ඉහළින්ම සිටි රාජ්‍ය නායකයකු ලෙස ද සැලකේ. ඔහු සහ ඔහුගේ බිරිය වූ ඉමෙල්ඩා මාකෝස් එක්ව කොල්ලකෑ මහජන මුදල් කන්දරාව කොතෙක් ද යත් ඔවුන් ඒ අතින් ගිනස් ලෝක වාර්තාවක් පවා පිහිටුවා තිබේ. 1989 වසරේ ඔවුන් ගිනස් වාර්තා පොතට ඇතුළත් වූයේ රටක මහජන මුදල් වැඩිම ප්‍රමාණයක් කොල්ලකෑ පුද්ගලයන් වශයෙනි. මේ ආකාරයෙන් කොල්ලකෑ මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 10කට ආසන්න වූ බව පිළිගැනේ. 1986 දී ඔහු බලයෙන් පහකෙරුණු අතර, ඉන් පසු වැඩි කල් නොගොස් මියගියේය.

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා උමාලා සහ ඔහුගේ බිරිය වන නදීන් හෙරෙවියාට වසර 15ක සිරදඬුවම් නියම කර තිබේ. ඒ, මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වූ චෝදනාවකට වරදකරුවන් කරමින්ය. විදෙස් මාධ්‍ය වාර්තා අනුව 2006 සහ 2011 දී ඔහුගේ මැතිවරණ ව්‍යාපාර සඳහා බ්‍රසීලයේ ඉදිකිරීම් සමාගමකින් නීති විරෝධි ආකාරයට අරමුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන්ට මෙලෙස සිරදඬුවම් නියම කර ඇත.

මැලේසියානු හිටපු අගමැති නජිබ් රසාක් සහ ඔහුගේ බිරිය රොස්මා මැන්සෝ සතුව තිබූ ඩොලර් මිලියන 273ක් පමණ වටිනා ආභරණ, අත් බෑග් සහ මුදල් පොලිසිය භාරයට ගත්තේය. රාජ්‍ය ආයෝජන අරමුදල අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු අගමැතිට එරෙහිව පැවැත්වෙන දූෂණ විමර්ශන සඳහා මෙම භාණ්ඩ යොදාගෙන තිබේ. ඒ අතර ඩොලර් මිලියන 1.6ක රන් සහ දියමන්ති මාලයක්, කුඩා ඔටුනු 14ක් සහ හර්මීස් වර්ගයේ අත් බෑග් 272ක් තිබී ඇත. එමෙන්ම නජිබ් රසාක් විසින් පිහිටුවන ලද අරමුදලට ලැබුණු ඩොලර් බිලියන ගණනක් ගිණුම්වලට ඇතුළත් කර නොමැත. 

මැලේසියානු ඉතිහාසයේ අත්අඩංගුවට ගත් විශාලතම වටිනාකමක් ඇති භාණ්ඩ තොගය මෙය බව හඳුන්වනු ලබයි. අගමැති බිරිය රොස්මා සුපිරි සාප්පු සවාරි සහ ප්‍රසිද්ධ වෙළෙඳ නාම යටතේ ඇති භාණ්ඩ පරිහරණය කිරීම සම්බන්ධයෙන් මහත් ප්‍රසිද්ධියට පත්ව සිටියාය. බොහෝ දෙනකු රොස්මා මැන්සෝව, පාවහන් හා සුඛෝපභෝගී භාණ්ඩ කෙරෙහි දැක්වූ ඇල්ම හේතුවෙන් ප්‍රසිද්ධියට පත්ව සිටි පිලිපීනයේ හිටපු ජනාධිපති බිරිය ඉමෙල්ඩා මාකෝස්ට සමාන කර තිබේ. නජිබ් රසාක්ට එරෙහිව නැගුණු දූෂණ චෝදනා ඔහුගේ මැතිවරණ පරාජයට ප්‍රධානතම හේතුවක් විය.

ප්‍රංශයේ හිටපු ජනපති නිකොලස් සාකෝසි දූෂණ චෝදනා මත වසර තුනක සිරදඬුවම් පනවා එය වසර දෙකකට අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ. මහේස්ත්‍රාත්වරයකුට අල්ලස් ලබා දීමේ චෝදනාවකට වැරැදිකරු වීම හේතුවෙන් ඔහුට මෙම දඬුවම ලබා දී ඇත. ප්‍රංශයේ මෙවැනි දඬුවමක් ලැබූ පළමු ජනපතිවරයා සාකෝසි වේ.

තම සම්පූර්ණ වත්කම් හෙළි නොකිරීමේ චෝදනා මත ඉස්ලාමාබාද්හි පිහිටි දූෂණ විරෝධි අධිකරණයක් විසින් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට වසර හතක සිරදඬුවමක් නියම කර ඇත. රටේ ඉහළම අධිකරණය එම තීරණයට එළැඹුණේ මෙතරම් දේපළ රැස් කළේ කෙසේ ද යන්න හෙළි කිරීමට අගමැතිවරයාගේ පවුලේ සාමාජිකයන් අපොහොසත් වූ බව පරීක්ෂණයකින් නිගමනය කරනු ලැබීමෙන් අනතුරුවය. බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර නිවාස මිලදී ගැනීමට අගමැති නවාස් ෂරීෆ්ගේ දරුවන් විදේශීය සමාගම් යොදාගෙන ඇතැයි පැනමා ලිපිගොනුවලින් අනාවරණය වී තිබිණි. අගමැතිවරයාගේ පවුලේ සාමාජිකයන් අනිසි ලෙස උපයාගත් මුදල් අදාළ සමාගම්වල තැන්පත් කළා විය හැකි බවට ඉන් අනතුරුව චෝදනා එල්ල විය. 

සෞදි අරාබියේ පිහිටි යකඩ කර්මාන්තශාලාවක අයිතිය සහ ආදායම් තහවුරු කිරීමට අපොහොසත් වීම ඔහුට එරෙහිව ඇති චෝදනාවයි. ලන්ඩන් නගරයේ අධි සුඛෝපභෝගී මහල් නිවාස හතරක් මිලදී ගැනීමේදී සිදු කළ බව පැවැසෙන දූෂණ සම්බන්ධයෙන් මින් පෙර අවස්ථාවක ද අධිකරණයක් විසින් ඔහුට වසර 10ක සිරදඬුවමක් නියම කළේය. එවර ඔහුගේ දියණිය වන මරියම් නවාස් ෂරීෆ්ට වසර හතක සිරදඬුවමක් සහ ඔහුගේ බෑනා වන සෆ්දාර් අවාන්ට ද වසරක සිරදඬුවමක් නියම කෙරිණ. එහෙත් ඔවුන් සියලු‍දෙනා ඇප මත මුදාහැරිණි. එක්සත් රාජධානියේ ලන්ඩන්හි පිහිටි දේපළ ගණනාවක් සම්බන්ධයෙන් පැවැති මෙම නඩුව හඳුන්වා ඇත්තේ Avenfield Reference යනුවෙනි.

දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමා දූෂණ, වංචා, ජාවාරම් මෙන්ම කළු සල්ලි සුදු කිරීම් ආදි චෝදනා හමුවේ අධිකරණයට ඉදිරිපත් විය යුතු බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. ජනාධිපතිවරයා දූෂණ සිදුවීම් 783කට වැඩි ප්‍රමාණයකට සම්බන්ධ බවට පහළ අධිකරණයක තීන්දුව සලකා බලමින්, ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය සිදු කර තිබේ.

අල්ලස් ගැනීම, බදු පැහැර හැරීම, වංචනික ක්‍රියා සහ බලය අයුතු ලෙස යොදාගැනීම යන චෝදනාවලට දකුණු කොරියාවේ හිටපු ජනාධිපති ලී මුන්-බක් වැරැදිකරු බව පැමිණිල්ලේ තර්කය වී තිබේ. සැම්සුන් සමාගමෙන් සහ රටේ ඔත්තු සේවයෙන් ඩොලර් කෝටියකට වැඩි මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

රාජ්‍ය මුදල් අවභාවිත කර වංචා සිදු කිරීමේ චෝදනා යටතේ ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ බිරියට එරෙහිව නඩු පවරා තිබේ. අගමැති නිල නිවෙසේ උත්සව අවස්ථා සඳහා ආහාර සැපයීමේදී ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් අවභාවිත කර ඇති බව පවසමින් සාරා නෙතන්යාහුට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇත. 

අධිචෝදනා පත්‍රයේ සඳහන් පරිදි 2010 සැප්තැම්බර් සිට 2013 මාර්තු දක්වා කාලයේ අගමැති නිල නිවෙසට ආහාර ගෙන ඒමේදී සහ පෞද්ගලික අරක්කැමියන්ගේ සේවය ලබා ගැනීමේදී ඉදිරිපත් කර ඇති වියදම් සම්බන්ධයෙන් සාරා නෙතන්යාහු සහ එස්රා සෙයිඩොෆ්ට චෝදනා එල්ල වෙයි. නීතිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ “ඒ ආකාරයට අවන්හල් හරහා භෝජන සංග්‍රහ සිය ගණනක් වංචනික ලෙස ලබා ගෙන”‍ ඇති බවය.

අල්ලස් ගැනීමේ චෝදනාවකට වරදකරු වූ ඊශ්‍රායලයේ හිටපු අගමැති යෙහුද් ඔල්මර්ට්හට අධිකරණය විසින් වසර හයක සිරදඬුවමක් නියම කරනු ලැබිණි. ඊශ්‍රායල ආණ්ඩුවේ හිටපු ප්‍රධානියෙක් දූෂණ චෝදනා මත සිරගත කෙරෙන පළමු අවස්ථාව මෙයයි. ඔල්මර්ට් හිටපු අගමැතිවරයා, ජෙරුසෙලමේ නගරාධිපතිව සිටි සමයේ නිවාස ව්‍යාපෘතියකට සහයෝගය පළ කිරීම සඳහා අල්ලස් ගත් බවට වරදකරු වී තිබේ. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් හිටපු අගමැති ඔල්මර්ට් හා අල්ලස් ගැනීමට සම්බන්ධ වූ නිලධාරින් ඇමතූ විනිසුරුවරයා කියා සිටියේ, ඔවුන්ගේ ක්‍රියාකලාපය රාජද්‍රෝහි ක්‍රියා ලෙසින් සැලකෙන බවයි.

මේ අයුරින් ලොව පාලනය කළ ප්‍රබලයන් අල්ලස්, දූෂණ සහ නීති විරෝධි වත්කම් බැරකම් යන කරුණු මත ධුරය අහිමි වීම්, අත්අඩංගුවට පත්වීම් බහුලව සිදු වී තිබේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2023 අංක 9 දරන දූෂණ විරෝධි පනතේ වත්කම් බැරකම් ප්‍රකාශයට අනුව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් ආණ්ඩුකාරවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, විධායක ශ්‍රේණියේ නිලධාරින්, රජයේ නිලධාරින් ඇතුළු විවිධ නිලධාරි කාණ්ඩ වෙත අදාළ වන සෑම තැනැත්තකු 82 වැනි වගන්තියේ විධිවිධානවලට අනුකූලව 

(අ) ඔහුගේ සියලු‍ වත්කම් සහ බැරකම්;
(ආ) ඔහුගේ කලත්‍රයාගේ සියලු‍ වත්කම් සහ බැරකම්;
(ඇ) ඔහුගෙන් යැපෙන එක් එක් දරුවන්ගේ වයස නොසලකා එම එක් එක් දරුවන්ගේ සියලු‍ වත්කම් සහ බැරකම්;
(ඈ) ඔවුන්ගේ වයස නොසලකා ඔහුගෙන් යැපෙන වෙනත් තැනැත්තන්ගේ සියලු‍ වත්කම් සහ බැරකම්; සහ
(ඉ) යම් තැනැත්තා මේ කොටස අදාළ වන තැනැත්තා සමග අන්‍යෝන්‍ය අයිතිවාසිකම් සහ බැඳීම් හුවමාරු කර නොගන්නා අවස්ථාවකදී හැර. ප්‍රකාශයේ දිනයට අවම වශයෙන් මාස හයකටවත් පෙරාතුව මේ කොටස අදාළ වන තැනැත්තා සමඟ පොදු නිවෙසක සහවාසයෙන් ජීවත්වන විටදී එකී වෙනත් යම් තැනැත්තාගේ සියලු‍ වත්කම් සහ බැරකම්.

පිළිබඳ ප්‍රකාශයක් සිදු කළ යුතුය.

82 (1) මේ කොටස අදාළ වන සෑම තැනැත්තකුම නියෝග මගින් නියම කරනු ලැබිය හැකි යම් ආකෘතියකින් වත්කම් සහ බැරකම් ප්‍රකාශය

(අ) පත් කළ දින සිට මාස තුනක;
(ආ) (3) වන උපවගන්තිය ප්‍රකාරව වාර්ෂිකව;
(ඈ) අවස්ථාවෝචිත පරිදි, ඔහුගේ රැකියාවේ නිල කාලය අවසන් වීමේදී හෝ ඔහුගේ විශ්‍රාම දිනයෙන් හෝ ඔහු ධුරයෙන් ඉවත් කළ දිනයෙන් ඉක්බිතිවම දින දාහතරකදී;
(ඈ) ප්‍රකාශය සිදු කළ වර්ෂයට අනුගාමි වර්ෂ දෙකක් තුළ;
(ඉ) රුපියල් මිලියන දහයක් හෝ රුපියල් මිලියන දහයකට වඩා වැඩි වත්කම් සහ බැරකම් පිළිබඳ වටිනාකමේ සුවිශේෂි වෙනස්කමක් සිදුවන අවස්ථාවක. ඒ සිදුවීමේ දින සිට මාසයක් ඇතුළත; සහ
(ඊ) අවස්ථාවෝචිත පරිදි, 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම පිළිබඳ පනත, 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත, 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම පනත හෝ (262 වන අධිකාරය වූ) පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත යටතේ. මැතිවරණ සඳහා නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කර ඇති විටදී සිදු කළ යුතුය.
 

(2) යම් තැනැත්තකු නියම කළ දිනයේදී මේ කොටස අදාළ නොවන තැනැත්තකු වන අවස්ථාවකදී, මේ කොටස අදාළ වන තැනැත්තකු බවට ඔහු පත්වන දින සිට මාස තුනක් ඇතුළත ඔහු විසින් මේ කොටස අදාළ වන තැනැත්තකු බවට ඔහු පත්වන දිනට ඔහුගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශයක් සිදු කළ යුතුය:

එසේ වුව ද, 80 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ප) ඡේදයේ සඳහන් පරිදි මේ කොටස අදාළ වන යම් තැනැත්තකු විසින් ඡන්ද විමසීම පිළිබඳ දිනය ප්‍රකාශ කරනු ලබන අදාළ නීතිය යටතේ ප්‍රකාශය සිදු කරනු ලබන දිනය දක්වා වන කාලසීමාව සඳහා ඔහුගේ ප්‍රකාශය ඉදිරිපත් කළ යුතුය.

මෙම වත්කම් බැරකම් ප්‍රකාශයට අනුව මෙරට වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඉකුත් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් 28 දෙනකුගේ දේපළ සම්බන්ධයෙන් විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය ආරම්භ කර ඇත. 

ඊට අමතරව හිටපු මාණ්ඩලික ප්‍රධානි, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ වත්කම් සම්බන්ධයෙන් ද එම කොට්ඨාසය විමර්ශනය ආරම්භ කර ඇත. අයථා ලෙස ඉපයූ මුදල්වලින් දේපළ ලබාගෙන ඇති බවට පාර්ශ්ව කිහිපයක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත කරන ලද පැමිණිලිවලට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත. 

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, චාමර සම්පත් දසනායක, රෝහිත අබේගුණවර්ධන, හිටපු අමාත්‍යවරුන් වන මහින්ද යාපා අබේවර්ධන, මහින්ද අමරවීර, පවිත්‍රා වන්නිආරච්චි, කංචන විජේසේකර, සාගල රත්නායක, ජානක තිස්ස කුට්ටිආරච්චි, වජිර අබේවර්ධන, මහීපාල හේරත්, අනුර ප්‍රියදර්ශන යාපා, දිලු‍ම් අමුණුගම, මනුෂ නානායක්කාර, වඩිවේල් සුරේෂ්, තුෂාර සංජීව පතිරණ, හර්ෂණ රාජකරුණා, ශානඛ්‍ය රාසමානික්‍යම්, සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සහ ශාන්ත අබේසේකර ඇතුළු දේශපාලනඥයන් පිරිසකගේ වත්කම් පිළිබඳව පරීක්ෂණ සිදු කරනු ලබයි. නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය සිදු කරගෙන යනු ලබන විමර්ශනවලට අනුව එම දේශපාලනඥයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිතය. 

ශෂිකා අබේරත්න