බොරු සාක්කි දුන් පොලිස් සැරයන්වරියට සිරදඬුවම්



 
 
(මනෝප‍්‍රිය ගුණසේකර)
 
අල්ලස් නඩුවක විත්තිකරුට පක්‍ෂව බොරු සාක්කි දීමේ චෝදනාවන්ට වරදකාරිය වු මාවනැල්ල පොලිසියේ කාන්තා පොලිස් සැරයන්වරියකට වසර 2 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (7) නියම කළේය.


විත්තිකාරියගේ දරුවා අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින හෙයින් ඇයට ලිහිල් දඬුවමක් නියම කරන්නැයි ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඉල්ලා සිටියත් රජයේ වගකිවයුතු තනතුරක් දරණ පොලිස් නිලධාරිනියක් අධිකරණය හමුවේ බොරු සාක්කි දීම ලිහිල් ආකාරයෙන් සැළකිය හැකි තත්වයක් නොවන බව විත්තිකාරියට දඬුවම්  නියම කරමින් විනිසුරුවරයා පෙන්වා දුන්නේය.


රථවාහන වරදක් කළ පුද්ගලයකුට එරෙහිව අධිකරණය හමුවේ නඩු නොපවරවා දඩ කොළයක් නිකුත් කිරීම සඳහා රුපියල් 2500/-ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනා මත මාවනැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබිණි.


එම නඩු විභාගයේ දී විත්තිකාර මාවනැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා වෙනුවෙන් සාක්කි දුන් අදාළ කාන්තා පොලිස් සැරයන්වරිය එම සිද්ධිය වු අවස්ථාවේ තමාද එහි සිටි බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් කුණු කූඩයේ තිබී මුදල් ගන්නවා තමා දුටු බවත් පවසා තිබිණි.


මෙම දඬුවම් කාලය වසරක් තුළ ගෙවී යන පරිදි ක්‍රියාත්මක කරන ලෙස විනිසුරුවරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.