පාර්ලිමේන්තුව විසිරවීමේ අවශ්‍යතාවක් නෑ - අගමැති මහින්ද


නාලක සංජීව දහනායක
 
අවශ්‍යතාවයක් ඇත්නම් නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය පැවරී ඇතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (7) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී පැවසූ බව සන්ධානයේ ප‍්‍රකාශකයෙක් පැවසීය. 
 
එහෙත් නව රජයට පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිව තිබෙන බැවින් මේ මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි ද අගමැතිවරයා පැවසූ බවද එම ප‍්‍රකාශකයා කීවේය.
 
නව අගමැතිවරයකු පත්කිරීමට මූලික වූ කරුණු පිළිබඳව ජාත්‍යන්තරය දැනුවත් කර තිබෙන බවත් නව රජයට ජාත්‍යන්තරය සහය ද නොවඩුව ලැබෙන බවත් එබැවින් රජය පිළිබඳව කිසිම සැකයක් තබා නොගත යුතු බවත් ජනාධිපතිවරයා පවසා ඇත.
 
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රී කණ්ඩායමේ රැස්වීමක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ හා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද   (7) පස්වරුවේදී ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
 
එමෙන්ම කතානායකවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව හා කතානායකවරයා සම්බන්ධයෙන් ගනුලබන ක‍්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී සාකාච්ඡා කළ බව එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.