නිදහස් සැමැරුමේ ප්‍රධාන ආරාධිතයා මාලදිවයින් ජනපති


(නිමල කොඩිතුවක්කු)
 
මෙවර ජාතික නිදහස් දින උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම්  මොහොමඩ් සොලීහ් මහතා සහ එම මැතිනිය සහභාගී වන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන හා පළාත්  සභා අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය.

ශ‍්‍රී ලංකාවේ 71 වැනි ජාතික නිදහස් දින උත්සවය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්  සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පෙබරවාරි මස 4 වැනි දින පෙරවරු 8.00 ට කොළඹ,  ගාලූමුවදොර පිටියේදී අභිමානවත් අයුරින් පැවැත්වෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (23) කොළඹ, රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මෙවර ජාතික නිදහස් දින උළෙල නර්ථන හා වාදන ශිල්පීන් 856 දෙනෙකු සහභාගී වන සංස්කාතික  පෙරහරකින්, ශ‍්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බළකාය සහ  ජාතික ශිෂ්‍ය භට බළකායේ ආචාර පෙළපාළියකින් ද විචිත‍්‍ර වනු ඇත.

ජාතික නිදහස් දිනය වෙනුවෙන් පෙබරවාරි 02 වැනිදා රාත‍්‍රී 9.30 සිට කොළඹ නිදහස් චතුරස‍්‍රයේ දී සර්ව රාත‍්‍රික පරිත‍්‍රාණ ධර්ම දේශනයක් සහ 03 වැනි දා උදෑසන 7.00ට උදෑසන හීල් දානය කොළඹ 07, ශ්‍රී සම්බෝධී විහාරස්ථානයේදී පිළිගැන්වේ.

හින්දු ආගමික වතාවත් 04 වැනිදා උදෑසන 6.30ට කොළඹ 04, මානික්ක පිල්ලෙයාර් කෝවිලේදී පැවැත්වෙන අතර ඉස්ලාම් ආගමික වතාවත් එදිනම පෙරවරු 6.00ට ජාවත්ත ජුම්මා මස්ජිදයේදි පැවැත්වේ.

රෝමානු කතෝලික දේව මෙහෙය 04 වනදා උදෑසන 6.15ට කොම්පඤ්ඤ වීදිය, ශුද්ධ වූ ජපමාල මාතා දේවස්ථානයේදීද, ක‍්‍රිස්තියානි දේව මෙහෙය එදිනම උදෑසන 6.15 සිට කොළඹ 06, මායා වීදියෙහි පිහිටි ප්‍රෙස්බිටේරියන් දේවස්ථානයේදි පැවැත්වේ.

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි, රජයේ  ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් නාලක කලූවැව සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන යන මහත්වරු ද මෙම  මාධ්‍ය හමුවට සහභාගි වූහ.