තලේබාන් ප්‍රහාරයකින් ඇෆ්ගන් සෙබළු 100ක් මරුට


ඇෆ්ගනිස්තානයේ මයිදාන් වර්දාක් පළාතේ පිහිටි හමුදා කඳවුරකට තලේබාන් සංවිධානය එල්ල කරන ලද ප්‍රහාරයකින් හමුදා සාමාජිකයන් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙක් අද (21) පස්වරුවේ පැවැසීය. 

ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඇෆ්ගන් හමුදාවට අයත් පුහුණු කඳවුරකටය.

“හමුදා පුහුණු කඳවුර ඇතුළත වූ පිපිරීමෙන් 126 දෙනකු මියගොස් ඇති බවට අපට තොරතුරු ලැබී තිබෙනවා. ඒ අතර විශේෂ කොමාන්ඩෝ භටයන් අට දෙනකුත් සිටිනවා” යැයි ඇෆ්ගන් ආරක්ෂක අමාත්‍යාංශයේ නම සඳහන් නොකළ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීය. 

ප්‍රහාරය එල්ල වී ඇත්තේ අද (21) පෙරවරුවේදීය. තලේබාන් සටන්කාමීන් පුපුරණ ද්‍රව්‍ය පිරවූ මෝටර් රථයකින් කඳවුරට ඇතුළු වන ස්ථානයේ පිහිටි මුරපොළට කඩා වැදී ඉන් අනතුරුව එම මෝටර් රථය නොනවත්වා කඳවුර තුළට ධාවනය කර ඇතැයි වාර්තා වේ. පුපුරණ ද්‍රව්‍ය සහිත මෝටර් රථය පුපුරවා ඇත්තේ කඳවුර තුළදීය. 

පිපිරීමෙන් පසුව කඳවුරට තුළට තලේබාන් සංවිධානය තුවක්කුකරුවන් දෙදෙනකු කඩා වැදී ඇති අතර ඔවුන් දෙදෙනා ඇෆ්ගන් හමුදා භටයන් දෙසට වෙඩි තබා ඇත. තලේබාන් සංවිධානය පුපුරණ ද්‍රව්‍ය පුරවා ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත සන්නද්ධ හම්වී රථයකය. එම රථය ඇෆ්ගන් හමුදා සතුව තිබී පැහැර ගත්තක් බව පැවසේ. 

රොයිටර් ඇසුරිනි 

055