ඩීසල් ලීටර් 1800 වාලච්චේනෙන් අල්ලයි


(නිමල් ජයරත්න)

වාලච්චේන ධීවර වරාය ඉන්ධන පිරවුම්හලෙන් ලබාගත් ඩීසල් ලීටර් 1800ක් ලොරි රථයකින් සහ වෑන් රථයකින් කාත්තන්කුඩිය දක්වා ප්‍රවාහනය කිරීමට සූදානම් කර අද අලූයම  ඩීසල් තොගය සහ ලොරිය  සමග හත්දෙනකු අත්අඩංගුවට ගත් බව වාලච්චේන පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්මුණේ සහ කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි පුද්ගලින් බව වාලච්චේන වැඩබලන පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අර්.එම් කුමාරසිංහ මහතා අප කළ විමසීමකදී පැවසීය.

අත්අඩංගුවට ගත් ඩීසල් 1800 ප්‍රමාණය බූලි දහඅටකට ඇසුරුම් කර වෑන් රථයේද, තවත් බූලි 21 ඇසුරුම් කර ඒවා ලොරියටද ඉතා සූක්ෂම ලෙස පටවා තිබූ බව පරීක්ෂණ සිදුකරන වාලච්චේන පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුටගත් මෙම ඩීසල් ප්‍රවාහනය කිරීම සඳහා ඔවුන්ට බලපත්‍රයක් නොතිබි අතර මෙය වැඩි මිලට විකිණීම සඳහා රැගෙන යෑමට සූදානම් කර තිබූ එව්වාද යන්න පොලිසිය සැක පළ කරයි.