ජනපති නිවසෙත් ගෑස් කාන්දුවක්?


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරයාගේ මිරිහානේ  ගෙදර තිබුණු සිලින්ඩරයකත් ගෑස් කාන්දුවී ඇති බවට තොරතුරු වාර්තා වන්නේ  යැයි  සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවැසීය.

එම සිලින්ඩරය නැවත නිෂ්පාදන ආයතනයට හරවා යැවීම  නිසා    අලුත්  ගෑස් සිලින්ඩරයක් ජනාධිපතිවරයාගේ නිවෙසට එවා ඇතැයිද  හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක  වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

ජනාධිපතිවරයා ගේ නිවෙසේ ගෑස් සිලින්ඩර  ලීක් වන්නේ නම් සාමාන්‍ය මිනිස්සුන්ගේ ගෑස් සිලින්ඩර ගැන කවර කතා දැයි ඔහු මෙහිදී ප්‍රශ්න කළේය.

ගෑස් පිලිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පැවසුවත් තවම ඉදිරිපත් කර නැතැයිද  මුජුබර් රහුමාන් මහතා සඳහන් කළේය.

ගෑස් පිලිබඳ  පරීක්ෂණ  යට නොගසන්නැයි  තමා ඉල්ලීමක් කරන බවත් ප්‍රමිතියෙන් අඩු ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට යවාඇත්නම් ඒ පිළිබඳ  පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  බාර දිය යුතු බවද ප්‍රකාශ කළේය.

මේ අතර සහරාන් සාරා ජස්මින් නැමැත්තිය අදටත් ජීවතුන් අතර සිටින්නේ යැයි  ජනාධිපති කොමිසම තහවුරු කර ඇති හෙයින්  ඇය සොයා ගැනීමට කටයුතු කරන්නැයි  තමා රජයෙන් ඉල්ලීමක් කරන බවද  ඔහු පැවසුවේය.

සාරා ජීවතුන් අතර සිටින බව  රහුමාන් මහතා වැඩිදුරටත් පැවසීය