එජාපයේ පක්‍ෂ 6 සහය රනිල්ට ඇතැයි බදියුදීන් - හකීම් කියති


අංජුල මහික වීරරත්න
 
ජාතික රජය නියෝජනය කළ එක්සත්  ජාතික පෙරමුණේ ප්‍රධාන පක්ෂ හයේ ම සහය පාර්ලිමේන්තු බහුතරය පෙන්වීම සඳහා එක්සත් ජාතික පෙරමුණු නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත පළ කිරිමට තීරණය කර ඇත.


රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරිමට තීරණය කර තිබෙන්නේ රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, රිෂාඩ් බදියුදීන් මහතාගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසය ද, මනෝ ගනේෂන් මහතාගේ ජාතික කම්කරු සංගමය ද , පාඨලී  චම්පික රණවක මහතාගේ ජාතික හෙළ උරුමය ද , රාජිත සේනාරත්න මහතා නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය ද  යන පක්ෂ වේ.


ඊට අමතරව මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව නියෝජනය කරන අලි සහිර් මවුලානා මහතාගේ සහය ද රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කියයි.


පාර්ලිමේන්තු සංයුතිය අනුව මුස්ලිම් කොංග්‍රසය  ආසන 7 ක් , ජාතික කම්කරු  සංගමයට ආසන 7 ක් , දෙමළ ප්‍රගතශීලි සංවිධානයට ආසන 6 ක්, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයට ආසන 5 ක් , ජාතික හෙළ උරුමයට ආසන දෙකක් හිමිව පවතී.


පාර්ලිමේන්තු බහුතරය පෙන්වන අවස්ථාවේ තම පක්ෂවල පුර්ණ සහය රනිල් වික්‍රමසිංහ මහතාට දෙන බව ශ්‍රී  ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ  සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහත්වරු පැවසුහ.


එක්සක් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 87 ක් සිටින අතර  ද්‍රවිඩ ජාතික  සංවිධානයේ මන්ත්‍රී පිරිස  16 කි. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු හයක් පාර්ලිමේන්තුවේ සිටිති.