(විජේරත්න රත්නායක )
උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් හානියට පත් ජනතාවට රජය විසින් ලබාදීමට එකඟ වූ සහන කඩිනමින් ලබාදෙන ලෙස රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරය බදුල්ල ඌව පළාත්බද මහාධිකරණයේ පවරන ලද නඩුව අද (21) යළි විභාගයට ගත් මහාධිකරණ විනිසුරු තුසිත දේශප්‍රිය ගුණසේකර මහතා එම නඩුව යළි අප්‍රේල් මස 03 වැනිදා තෙක් කල් තැබීය.
උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් සිදුවූ නිවාස, දේපළ හා වගා හානි තුළින් අගතියට පත් ජනතාවට ප්‍රමාණවත් ලෙස හා කාර්යක්ෂම ලෙස අවශ්‍ය සහන ලබානොදීම පිළිබඳව විරෝධය පළකරමින් එම ජනතාවට කඩිනමින් හා සාධාරණ ලෙස සහන ලබාදෙන ලෙස ඉල්ලා උමාඔය සහන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ, උමාඔය ව්‍යාපෘති අධ්‍යක්ෂ, බදුල්ල දිස්ත්‍රික්
ලේකම්, මහවැලි අමාත්‍යාංශයේ ලේකම්, ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ යන පාර්ශ්වයන් වග උත්තරකරුවන් කරමින් උමාඔය විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න, එම පෙරමුණේ ලේකම් වසන්ත සංජීව සෝමසිරි, එහි සම සභාපති එච්.ඒ.බෝධිපාල යන මහත්වරුන් අදාළ නඩුව පවරා ඇත.
එම නඩුව අද යළි විභාගයට ගත් අවස්ථාවේ පැමිණිළි පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ විජය නිරංජන් පෙරේරා මහතා අදාළ ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස, ජලය හා වගා ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්ට සිදුව ඇති හානි සහ මෙතෙක් ලැබී ඇති හා ලැබිය යුතු වන්දි ආදිය සම්බන්ධව සවිස්තරව කරුණු ඉදිරිපත් කළේය.
එම කරුණු සළකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා වගඋත්තරකාර පාර්ශ්වයට කරුණු දැක්වීම සඳහා නඩුව යළි ඉදිරි අප්‍රේල් මස 03 වැනිදා තෙක් කල් තැබීමට තීරණය කළේය.