අනාරක්ෂිත පාර වැසිල්ලෙන් නගර වාසීහු අනතුරේ


(චාපා මධුභාෂීණී)

මැදිරිගිරිය අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හල අසලින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දෙසට දිවෙන මාර්ගය යකඩ බට දමා අනාරක්ෂිතව වසා දැමීම නිසා රාත්‍රිකාලයට ගමන් කරන යතුරුපැදිකරුවන් අනතුරට ලක්වන බව නගර වාසීහු කියති.

යතුරුපැදියක ගමන් ගත් දෙදෙනකු ද පෙර දින රාත්‍රි එම යකඩ බටයන්හි ගැටී අනතුරකට පත්ව ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.

අනතුරෙන් යතුරුපැදියේ පිටුපස ගමන් ගත් පුද්ගලයාගේ තත්ත්වය තරමක් බරපතල වන අතර පැදිකරු සුළු තුවාල ලබා ඇතැයි ආරංචිමාර්ග කියයි.

දින ගණනාවකට පෙර ඉන්ධන පිරවුම්ලෙන් ඉන්ධන ලබා ගැනීමට පැමිණී පිරිසක් මෙම මාර්ගය අවහිර වන පරිදි වාහන ගාල් කිරීම හේතුවෙන් රෝහලේ කාර්යය මණ්ඩලය අපහසුතාවයට පත්වන බව පවසමින් රෝහලට, පොලිසිය සහ ප්‍රාදේශීය සභාව විසින් මෙම මාර්ගය වසා දැමීමට කටයුතු කර තිබුණී.

මාර්ගය  වසා දැමීමට කටයුතු කළද වසා ඇති බවට කිසිදු නාම පුවරුවක් හෝ රාත්‍රියට විදුලි පන්දකමක් හෝ සවිකර යුතු බව  ප්‍රදේශවාසීහු චෝදනා කරති.