ප්‍රශ්නවලට විසඳුම් අපි අතේ


ජාතික ජන බලවේගයේ ආර්ථික වැඩපිළිවෙළ හා මැතිවරණ සූදානම ප්‍රශ්න කරමින් එම පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සමග කළ සාකච්ඡාවක් මෙසේය.

 

ප්‍රශ්නය:- ජාතික ජන බලවේගය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙ ණය වැඩසටහනට දැන් එකඟ ද?

පිළිතුර:- නෑ. ඒකට එකඟ වෙන්න අපිට හේතුවක් නෑ. මොකද ඒ වැඩසටහන අපිත් එක්ක කතා කරලා අප දැනුවත් කරලා කරපු එකක් නෙවෙයි. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක වැඩ කරන එකයි මූල්‍ය අරමුදලෙ ණය වැඩසටනට එකඟ ද නැද්ද කියන එකයි දෙකක්. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංවිධාන බොහොමයක සාමාජික රටක්. ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙත් සාමාජික රටක්. මූල්‍ය අරමුදලෙ විස්තීරණ ණය පහසුකම් ලබා දෙන වැඩසටහන් කීපයකට අපේ රටේ බලයේ හිටි ආණ්ඩු සම්බන්ධ වෙලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග අපේ විරුද්ධතාවක් නෑ. ඒතේ රටේ සම්පත් විකුණන්න රට ණය කරන්න ආණ්ඩු ගහලා තියෙන ගිවිසුම්වලට අපි එකඟ නෑ.

 

ප්‍රශ්නය:- ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ මේ අයි.එම්.එෆ්. ගිවිසුම නැවත සමාලෝචනය කරනවද?

පිළිතුර:- අනිවාර්යයෙන්ම සමාලෝචනය කරනවා.

 

ප්‍රශ්නය:- ඒ යටතේ ගිවිසුමට අදාළව ඇති කරන වෙනස්කම් මොනවාද?

පිළිතුර:- විශේෂයෙන්ම ඔවුන්ගේ කොන්දේසි ඇත්තටම ඒවා ඔවුන්ගේ කොන්දේසිවලට වඩා අපේ ආණ්ඩුව විසින්ම දාගත්ත කොන්දේසි. ඒ යටතේ එකක් තමයි ආදායම් වැඩි කර ගැනීමට ඉදිරිපත් කරලා තියෙන යෝජනා. ඒකෙදී අසීමාන්තිකව ජනතාව මත බදු බර පටවන යෝජනාවලට අපි එකඟ නෑ. උදාහරණයක් විදියට සියයට 36 ක් වෙන උපයන විට ගෙවීමේ බද්ද වැට් බදු ඒ ක්‍රමය හරියන්නෙ නෑ. ඊළඟට රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමේ උපක්‍රමයක් හැටියට රාජ්‍ය ආයතන විකිණීම දක්වලා තියෙනවා. අපි මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවේදී ඒ ගැන ඇහුවම එයාලා කිව්වෙ ඒ අය එවැනි යෝජනාවක් ඉදිරිපත් කළේ නෑ කියලා. ඒත් ආණ්ඩුව දැන් කියන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන නිසා රාජ්‍ය සම්පත් විකුණනවා කියලනෙ. බලශක්ති අංශය ටෙලිකොම් වගේ ඒවා පෞද්ගලීකරණය කිරීම අර්බුදයට සාධාරණ උත්තරයක් කියලා අපි හිතන්නෙ නෑ. ඒ නිසා එවැනි යෝජනා ගැන අපිට නැවත සලකා බලන්න වෙනවා.

 

ප්‍රශ්නය:- අයි.එම්.එෆ්. නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවේදී ඒ ගැන ඔවුන්ගේ ප්‍රතිචාරය වුණේ මොකක්ද?

පිළිතුර:- අපි ඒ ගැන ඔවුන්ගෙන් ඇහුවෙ නෑ. මෙකද අපි ආණ්ඩුව නෙවෙයිනෙ. අපි ඇහුවෙ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළේ වර්තමාන තත්වය මොකක්ද කියලා. ඔවුන් කියන්නෙ ඒකෙ තවම අවසාන ප්‍රතිඵලයක් නෑ කියලා. මූල්‍ය අරමුදල ඉදිරිපත් කරපු ආණ්ඩුකරණ වාර්තාවට අදාළ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ගැනත් අපි ඔවුන්ගෙන් ඇහුවා. ඒකට ඔවුන් කිව්වෙ ඊට අදාළව සමහර අණ පනත් පනවලා ලේඛනමය වශයෙන් යහපත් තත්වයක් පෙන්නුම් කළත් ඒවායෙ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය ගැන ඔවුන්ට අවබෝධයක් නැති බවයි. අපිනෙ දන්නෙ මේ රටේ ප්‍රායෝගිකත්වය ගැන. රෝහිත අබේගුණවර්ධන වගේ කෙනෙක් කෝප් කමිටුවේ සභාපතිත්වයට පත් කරලා දූෂණ විරෝධී පනත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නෙ කොහොමද?

 

ප්‍රශ්නය:- ආණ්ඩුව දැනට කරගෙන යන ණය ප්‍රතිව්‍යුහගතකරණය ඊට වඩා වෙනස්ව රටට හොඳ විදියට කළ හැකි වැඩපිළිවෙළක් ඔබලා සතුව තියෙනවද?

පිළිතුර:- මේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය මේ විදියටම කරන්න ඕනද කියන ප්‍රශ්නය තියෙනවනෙ. අසීමාන්තික පොලි අනුපාත යටතේ තමයි අපි බොහොමයක් ණය අරගෙන තියෙන්නෙ. එතකොට ඒ එකින් එක ගැන අපි සමාලෝචනයක් කරන්න ඕන. ඒ අයිතිය අපිට තියෙනවා. මොකද අපිට ලැබෙන ජනවරම වෙනස් ජනවරමක්. ඒක ණය ගන්න රට විකුණන්න ලැබෙන ජනවරමක් නෙවෙයි. ඒ නිසා ලංකාවට ණය දුන්නු රටවල් සමග වෙන වෙනම සාකච්ඡා කරන්න ඕන. ආණ්ඩුව අයි.එම්.එෆ්. එකට යන්න කලින් අපට ණය දුන් කිසිම රටක් සමග වෙනම සාකච්ඡා කළේ නෑ. මොකද මේ ආණ්ඩුව හිටියෙ ණය ගෙවන්න ඕන නෑ කියන ස්ථාවරයෙ. අපි බලයට පත් වුණහම මේ ණය අනුන් ගත්ත ඒවා කියලා අතඅරින්න බෑනෙ. මොකද රටක් විදියට ගත්ත ණයනෙ මේවා. ඒ නිසා මේ ණය හැම එකක්ම එකින් එක සමාලෝචනය කරන්න වෙනවා. වැදගත්ම දේ ණය ගෙවන එක. ඒ නිසා රටේ තියෙන මූලික ප්‍රශ්න ටික විසඳනතෙක් ණය ගෙවීම සඳහා සාධාරණ කාලයක් ඉල්ලන්න පුළුවන්කමක් තියෙනවා.

 

ප්‍රශ්නය:- විදේශ විනිමය උපයන්න ඔබලට විකල්ප ක්‍රියාමාර්ග තියෙනවද?

පිළිතුර:- අනිවාර්යයෙන්ම තියෙනවා. පහුගිය කාලෙදී අපේ තේ නිෂ්පාදනය සියයට 50 කින් කඩාවැටිලා තියෙන්නෙ. ඒකට හේතුව පොහොර නැතිකම. ඒ නිසා අපේ විදේශ විනිමය ආදායම් සියයට 50 කින් අඩු වෙනවා. ඒ නිසා නිසි පරිදි පොහොර ලබා දිය යුතුයි. ඒවට යම් සහනයක් ආණ්ඩුව දෙන කොට විදේශ විනිමය ඉබේම එනවා. නිෂ්පාදන පැත්තෙන් හිතුවොත් ලෝකයේ අපටම අනන්‍ය වෙච්ච වෙළෙඳපොළවල් තියෙනවා. කුරුඳු තැඹිලි වගේ දේවල් අපටම අනන්‍ය වූ දේවල්. ඒ නිසා ඒවා ආශ්‍රිත වෙළෙදපොළ විධිමත් විදියට අපේ ආණ්ඩුවක් යටතේ හදා ගන්නවා. මැදපෙරදිග රටවල රැකියාවලට යන අයගෙන් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් රටට ලැබෙනවා. දැනුම හා හැකියාව මත විදේශ රැකියාවලට වැඩි වශයෙන් යවන්නෙ කොහොමද කියන එක ගැන අපි හිතන්න ඕන. මෘදුකාංග තාක්ෂණයෙන් වසරකට ඩොලර් බිලියන 5 කට වැඩි ආදායමක් ඉපැයිය හැකි වෙළෙඳපොළක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ ගැන දැනුම තියෙන පිරිස පිළිවෙළකට ලෝකෙට ඉදිරිපත් කළහම ඇති. මෙවැනි ක්‍රම ගොඩක් අපි අධ්‍යයනය කරලා තියෙනවා.

 

ප්‍රශ්නය:- සමගි ජන බලවේගය ඔවුන්ගේ ආර්ථික වැඩපිළිවෙළ බ්ලූ ප්‍රින්ට් නමින් ඉදිරිපත් කළා. මාලිමාවේ වැඩපිළිවෙළ මොකක්ද?

පිළිතුර:- මොකක්ද ඒකෙ තියෙන්නෙ? කවුරුත් දන්නෙ නෑනෙ. අපේ ආර්ථික වැඩපිළිවෙළේ පදනම තියෙන්නෙ ජන සහභාගීත්වය සහිත ජනතාවට සාධාරණ ලෙස ප්‍රතිලාභ ලැබෙන නිෂ්පාදන ආර්ථිකයක්. ඔවුන්ගෙ ආර්ථික වැඩපිළිවෙළවල්වල තියෙන දෙයක් තමයි තියෙන එකට පැලැස්තරයක් අලවන එක. හැබැයි අපේ වැඩපිළිවෙළ පැලැස්තරයක් නෙවෙයි විසඳුමක්. මොකද පැලැස්තරවලින් මේ රට හදන්න බෑ දැන්. නිෂ්පාදන ආර්ථිකයක් ගැන හැමෝම කතා කළත් ඒකට ජන සහභාගීත්වය නෑ. ඔවුන්ගෙ තියෙන්නෙ යාළුවො කීප දෙනෙක් සහභාගී වෙන නිෂ්පාදන ආර්ථිකයක්. නැත්නම් හොරු කීපදෙනෙක්. එහෙම නැතුව පොදු ජනතාව නෙවෙයි. අපි හදන්නෙ කීප දෙනක්ට ප්‍රතිලාභ ලැබෙන නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවට පොදු ජනතාවට ප්‍රතිලාභ ලැබෙන නිෂ්පාදන ආර්ථිකයක්. ඒක කරන්න නම් නීතිය සැමට සාධාරණ වෙන්න ඕන.

 

ප්‍රශ්නය:- ඔබ නිතරම කියන දෙයක් තමයි වංචා දූෂණ නවත්වනවා කියල. මේ පොළොවෙ ඕක කරන්න පුළුවන් කියලා හිතනවද?

පිළිතුර:- පුළුවන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ අයත් ඔය ප්‍රශ්නයම තමයි අපෙන් ඇහුවෙ. අපේ රටේ නාස්තිය දූෂණය වැඩියෙන්ම වෙන්නෙ පාලකයන්ගෙන්. පාලකයො අපි වෙලා අපි වංචා දූෂණ නොකර හිටියම හරිනෙ. වෙන මොකුත් නැතත් අපිට ඒ සහතිකය දෙන්න පුළුවන්නෙ.

 

ප්‍රශ්නය:- ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණය පවැත්විය යුතු බවට පාලක පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු කියනවා. කලින් මහ මැතිවරණය තිබ්බොත් මැතිවරණ දිස්ත්‍රික්ක 22 ට ඉදිරිපත් කරන්න අපේක්ෂකයො ජාතික ජන බලවේගයට ඉන්නවද?

පිළිතුර:- ඉන්නවා. නළුවො නෙවෙයි අපේක්ෂකයො ඉන්නවා. එහෙම අපේක්ෂකයො නැත්නම් අපි රටක් පාලනය කරන්න ඉල්ලන එකෙන් වැඩක් නෑනෙ. මැතිවරණ දිස්ත්‍රික්ක 22 ටම මීට කලින් අපි ඉල්ලලත් තියෙනවා. ඒ නිසා ඒ ගැන අපිට කිසි ප්‍රශ්නයක් නෑ. ඔය ප්‍රශ්නයත් එක්ක ඒගොල්ලො අහන දෙයක්නෙ අපේ කවුද ඉන්නෙ රට හදන්න කියලා. ඒ අයගෙන් මෙච්චරකල් කවුද රට හැදුවෙ? ඒ අය රට හැදුවද රට කෑවද කියලා කල්පනා කරලා බලන්න. ඒ විෂය ගැන දැනුම තියෙන රට හැදීම ගැන හඟීමක් තියෙන විශාල කණ්ඩායමක් අපත් සමග ඉන්නවා. මේ දක්වා දේශපාලනයේදී ඒ අයට අවස්ථාවක් ලැබිලත් නෑ. ඒ නිසා ජනතාව අපි ගැන කිසි සැකයක් තියා ගන්න එපා. අපිට බලය ලැබෙන කොට රට හදන්නෙ කවුද කියන එක ගැන ඉක්මනින්ම රටට ඉදිරිපත් කරනවා.

 

ප්‍රශ්නය:- කෝප් කමිටුවේ සම්ප්‍රදායටත් බැහැරව කමිටුවේ සභාපති ධුරයට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක්ව පත් කරලා තියෙනවා. හිටපු කෝප් සභාපතිවරයෙක් විදියට ඔබ මේක දකින්නෙ කොහොමද?

පිළිතුර:- මෙතන තියෙන ප්‍රශ්නය ඒක නෙවෙයි. කෝප් කමිටුව කියන්නෙ රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳව පාර්ලිමේන්තුවට තියෙන උත්තරීතර බලය ක්‍රියාවට නගන ආයතනය. ඒ නිසා මේ කමිටුවෙ සභාපති වෙන කෙනාට අවම විෂයබද්ධ දැනුමක් තියෙන්න ඕන. ඒ වගේම ඔහුගේ පසුබිම හා චර්යාව ඒකට ගැළපෙන්නත් ඕන. රෝහිත අබේගුණවර්ධනත් එක්ක අපිට පෞද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නෙ. හොරකම්වලට චෝදනා තියෙන තමන්ගෙ වත්කම් හෙළි කරන්න බැරි කෙනෙක් ආණ්ඩුව විසින් මේ කමිටුවෙ සභාපති කළහම හොරු අල්ලන්න නෙවෙයි හොරකම් කරන්න තමයි මේ පත් කිරීම කරලා තියෙන්නෙ කියලා මිනිස්සුන්ට හිතෙනවා.

 

ප්‍රශ්නය:- බලශක්ති කෘෂිකර්ම අංශවලට ඉන්දියානු ආයෝජන විශාල වශයෙන් එන බවක් පේනවා. මේකට ජවිපෙ විරුද්ධත්වයක් නැද්ද?

පිළිතුර:- අපේ විරුද්ධත්වය ආයෝජන එන එකට නෙවෙයි. ඕන රටකින් අපට ආයෝජන එන්න පුළුවන්. විනිවිදභාවය පිළිබඳ ප්‍රශ්නයක් මෙතැන තියෙන්නෙ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිපොළවලට ආයෝජන කැඳවලා තියෙනවා. එතකොට ඒකට ඉන්දියාවේ අමූල් ආයතනයම ගෙන්නන්නෙ ඇයි? එතැනයි ප්‍රශ්නය තියෙන්නෙ. දෙවැනි ප්‍රශ්නය තමයි ඒකට ලංකාවේ ආයෝකයො නැද්ද? ලාබ ලබන තෙල් සංස්ථාව කෑලිවලට කඩන්න තියෙන වුවමනාව මොකක්ද? විදුලි බල මණ්ඩලය කෑලිවලට කඩලා විකුණන්න තියෙන උවමනාව මොකක්ද? බලශක්ති අංශයට වෙනත් රටක් ඈඳා ගැනීමෙන් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් එන්නෙ නැද්ද? අපිට තියෙන ප්‍රශ්නය ඒකයි. එහෙම නැතුව ඉන්දියාව හරි චීනය හරි එක්ක තියෙන ප්‍රශ්නයක් නෙවෙයි.

(*** සාකච්ඡා කළේ - උපුල් වික්‍රමසිංහ)