සිවිල් සංවිධාන නියාමන පනත ඉවත් කරයි


 

(නිමල කොඩිතුවක්කු)

සිවිල් සංවිධාන  නියාමනය කිරීම සදහා රජය ඉදිරිපත් කළ පනත් කෙටුම්පතක් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ සිදුකළ සාකච්ඡාවකින් පසු ඉවත් කර ගත් බව  සිවිල් සංවිධාන එකමුතුවේ නියෝජිත රෝහණ හෙට්ටිආරච්චි මහතා අද (28) පැවසීය.

එම පනත් කෙටුම්පත සම්මත වූයේ නම් මරණාධාර සමිතියේ සිට සියලූම ස්වේච්ඡා  සංවිධාන රජයේ දැඩි පාලනයකට යටත් වන බවත් එසේ වූයේ නම් සිවිල් සංවිධාන වල හරය සහ ගුණය විනාශ වීමට ඉඩ තිබූ බවත්  ඔහු කියා සිටියේය.

ජාතික පුස්ථකාල හා ප්‍රලේඛණ  සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී සිවිල් සංවිධාන එකමුතුවේ නියෝජිතයන් පිරිසක්  කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා  මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙසේද කීය.

   ‘‘රාජ්‍ය  නොවන සංවිධාන  එහෙම  නැත්නම් මේ රටේ ක‍්‍රියාත්මක වන සිවිල් සංවිධාන  නියාමනය කිරීම සදහා  රජය  මේ වනවිට කැබිනට් මණ්ඩලයට කෙටුම්පතක් ඉදිරිපත් කරලා තියෙනවා.

 මේ කෙටුම්පත පිළිබඳව සිවිල් සංවිධාන ක‍්‍රියාධරයින් ජාතික මට්ටමෙනුත් දිස්ත‍්‍රික්ක මට්ටමෙනුත් පුළුල් අවධානයක් මේ වනවිට  යොමුවෙලා තියෙනවා. මේ වනවිට බොහොමයක්  දිස්ත‍්‍රික්කවල මේ පිළිබඳව  සංවාදයක් ඇති කර ගෙන තියෙනවා. 
මේ සිවිල් සංවිධාන පිළිබඳ ගෙන  එන පනත් කෙටුම්පත නිතියක් බවට පත්වුනොත්  මේ රටේ පුරවැසියන්ට තියෙන භාෂණයේ  නිදහස, එකතුවෙලා  වැඩ කිරීමේ නිදහස සම්පූර්ණයෙන්ම ඇහිරෙනවා. 

විශේෂයෙන්ම මේ පනතට මේ රටේ ක‍්‍රියාත්මක වන කුඩා කුඩා  කණ්ඩායම් පවා ඇතුළත් කරලා තියෙනවා. උදාහරණයක් විදියට  කිව්වොත් මරණාධාර සමිතියකට, ආගමික අරමුණු  පදනම් කරගෙන ගොඩ නැගිච්ච සමිතියකට මෙම පනතින් ගැලවීයාමේ හැකියාවක් නැහැ.

කිසිම බාහිර ආධාරයකින් තොරවම පුරවැසියාගේ සම්පත්  භාවිතා කරමින්  මහජන සුබ සුබසිද්ධිය සදහා සමහර  ප‍්‍රදේශවල පුරවැසියන් එකතුවෙලා  විවිධ ආධාර ව්‍යාපෘති  ක‍්‍රියාත්මක කරනවා . මෙම පනත ක‍්‍රියාත්මක කළොත්  එවැනි කාරණා කිරිමේ හැකියාවක් නැහැ.

ඒ වගේම  තමයි යම් ආයතනයක් යම් සුබ සාධන වැඩපිළිවලක් ක‍්‍රියාත්මක කරනවනම්  මූල්‍ය හුවමාරුවක් සිදුවනවනම්  ඒ සදහා මාසයකට පෙර ඒ අදාල  බලධාරින්ගේන්  අවසර ගැනීමේ යාන්ත‍්‍රණයක් මේකේ  යෝජනා කරලා තියෙනවා.