ගාල්ල මහින්ද විද්‍යාලයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාව අද සවස 2.00 දක්වා කල් දමා ඇතැයි ලංකා ගුරු සේවා සංගමය පවසයි. මේ පිළිබඳ විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ අත්‍යාවශ්‍ය රාජකාරී කටයුත්තක් හේතුවෙන් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් අවසර ගැනීමෙන් අනතුරුව තැපැල් ඡන්ද ඉල්ලුම්කැර ඇති ගුරුවරු 48 දෙනාට අද සවස 2.00 න් පසු හෝ හෙට දිනයේ පැමිණ ඡන්දය ප්‍රකාශකරණ ලෙස දැනුම් දුන් බවයි.

ගාල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් මහතා කියා සිටියේ එලෙස කටයුතු කිරීමට විදුහල්පතිවරයාට උපදෙස් ලබා දුන් බවයි. කොළඹ මැතිවරණ කාර්යාලය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම අවසරය ලබාදුන් බවත් ඡන්ද පොළ නියෝජිතයන්ට පවා ඒ ගැන දැනුම් දී ඇති බැවින් කිසිදු අක්‍රමිකතාවක් ඇති නොවන බව ද සහකාර මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.