ශ්‍රී  ලංකාවේ පුවත්පත් කලාව 

 ආරම්භයේ පටන් මේ සඳහා සන්නිදර්ශන චිත්‍ර අන්තර්ගත කර ඇති අතර ප්‍රසිද්ධ සන්නිදර්ශන චිත්‍ර  ශිල්පීන් අතර මොටාගෙදර වනිගරත්න, සිබිල් වෙත්තසිංහ, G.S ප්‍රනාන්දු , වටරැක ප්‍රේමදාස, ජයසිරි ගමගේ , සුසිල් ප්‍රේමරත්න ප්‍රධාන තැනක් ගනී. ඔවුන් තමාටම ආවේණික වූ ශෛලීයකින් සන්නිදර්ශන චිත්‍ර නිර්මාණය කර ඇත.

ජීව දත්ත 
========

සම්පූර්ණ නම 
මොටාගදර වනිගරත්න 

උපන්ගම - මොටාගෙදර 

උපන් දිනය - 1933- 02 - 16 

බිරිය - සීතා මොටාගෙදර 
පියා - අබේසිරිනාරායන වනිගරත්න 
මව - සිරියාවනී දේවනාරායන 
දරුවන් - මූර්ති, සංඛ,තිමල්, සිවුමල් 

අධ්‍යාපනය ලැබූ පාසල්: මොටාගෙදර රජයේ පාසල, මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය 

චිත්‍ර ශිල්පය හැදෑරුවේ -හේවුඩ් කලායතනය 

වැඩ කළ මුල්ම පුවත්පත - ලංකාදීප 

ලැබූ සම්මාන - කලා භූෂණ, රුහුණු ප්‍රතිභා, කලා ශිරෝමණි, සේවා විශිෂ්ට සම්මානෙය, "සාර්ව සේවා, සෝලියස් මැන්දිස් අනුස්මරණ" සම්මානය, “නිජග්‍රාම විභූෂණ" “සෙනෙහසේ ආදරණීය උත්තමාචාරිය" සම්මානය. 

මාතර දිස්ත්‍රික්කයට අයිති මාතර නගර සීමාවේ සිට සැතපුම් තුනක් පමණ ගිය තැන හමුවන්නේ මොටාගෙදර සුන්දර ගම්මානයයි. මෙම ගම වඩාත් ප්‍රකට වී ඇත්තේ එහි උපන් මහා කලාකරුවකු නිසාය. ඒ චිත්‍ර ශිල්පී මොටාගෙදර වනිගරත්න මහතා ය.

ඔහුගේ ජීවිත ගමනේ කුඩා අවදියේ සිට අද දක්වා කළ කී දස්කම් විටෙක ඔහුගේ නිර්මාණ තුළ ගැබ්වේ. ශ්‍රී ලාංකීය ඉතිහාසයේ යුගයෙන් යුගය බැබළෙන කෘතහස්ත රේඛාමය චිත්‍රකරණය "මොටාගෙදර සිතුවම් ආර නමි. ඒ ඔහුටම ආවේනික චිත්‍ර කලාවය. එය චිත්‍රකරණයට ළැදි අපේ රටේ ජනයා අගයන සිතුවම් ආරකි. 
මොහු කුඩා අවදියේ සිට චිත්‍රකරණයට ආසා කරමින් මොටාගෙදර රජයේ පාසලේ මූලික අධ්‍යාපනය හැදෑරීය. පසුව මාතර සාන්ත සර්වේශස් විද්‍යාලෙයට ඇතුළු විය. එහිදී ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු චිත්‍ර විෂයට ලකුණු සීයෙන් සීය ලැබීමෙන් දක්‍ෂතාව සලකා පන්ති තුනකින් ඉහළ දැමීය. 

පියා කාර්මික ශිල්පියකු වූ අබේසිරි නාරායන වනිගරත්න මහතා ය. මව සිරියාවතී දේවනාරායන මහත්මියයි. මෙම පවුලේ දරුවන් නවදෙනකු සිටි අතර පිරිමි හයක් ද, ගැහැනු තිදෙනෙක් ද වූහ. පවුලේ වැඩිමලා වූ මොටාගෙදර වනිගරත්න දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ උගත්තේ ය. 
එහෙත් සාමාන්‍ය පෙළින් විශිෂ්ට ලෙස සමත් මොටාගෙගෙදර වැඩිදුර අධ්‍යාපනය ලැබීමට තරම් ආර්ථික  ශක්තියක් නොමැති තත්වයක පසුවිය. එනිසාම ඔහුගේ සිත රැකියාවකට ඇදී ගියේය. එහෙත්  කරුණු කාරණා පෙන්වමින් සිය බාප්පා මොටාගෙදර සිසුවාට මඟපෙන්වීය. ඒ අනුව ඔහු කොළඹ  හේවුඩ් කලායතනයට අයදුම් කළේය.

එහිදී චිත්‍ර විෂයේ පරීක්ෂණවලින් ඉහළින්  සමත් වී හේවුඩ් කලායතනයේ වැඩිදුර චිත්‍ර විෂය හැදෑරුවේය. හේවුඩ් හිදී චිත්‍ර විෂයට පෑ දස්කම් නිසාම උසස් පෙළ අවසන් වසරේ පන්තියට ඇතුළුවීමට ගුරුවරු මොහු යොමු කළහ. ඒ ගුරුවරුන් අතර ස්ටැන්ලි අබේසිංහ, ඩේවිඩ් පේන්ටර්, එස්. පී. සකලසූරිය යන මහත්වරු වූහ. 
ඔහු හේවුඩ් කලායතනයේ ඉගෙනුම ලබන අතරතුර  කොළඹ ස්වර්ණාභරණ  ආයතනයක ස්වර්ණාභරණ  මෝස්තර  චිත්‍ර ශිල්පියකු ලෙස ප්‍රථම රැකියාව ඇරඹීය. ඉන් ලැබෙන මුදලින් කොටසක් ගෙදර වියදමට යැවීමට හැකිවූ අතර ඉන් පියාගේ ආර්ථික බර අඩු විය. එක් දිනක් ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් මහතාගේ චිත්‍ර ප්‍රදර්ශනයක් බැලීමට මොටාාගෙදර කලාභවනට ගියේය.

එම චිත්‍රවල රේඛාමය හැඩතල හා වර්ණ මොටාගෙදර වනිගරත්න තරුණයාගේ සිත් ගත්තේය. මාපලගම විපුලසාර හිමිගේ සභාපතිත්වයෙන් තිබූ ජාතික කලා පෙරමුණෙන් පැවැත්වූ  චිත්‍ර ප්‍රදර්ශනයට  මොටාගෙදර වනිගරත්න චිත්‍ර ඉදිරිපත් කර ජය ලබා සම්මාන ලැබීය. පසුව උන්වහන්සේගේ මැදිහත්වීමෙන් හා උපකාරයෙන් ටයිම්ස් ආයතනයේ ප්‍රකාශිත ලංකාදීප පුවත්පතේ චිත්‍ර ශිල්පියකු ලෙසින් මුල්ම පුවත්පත් රැකියාව ලෙරස සේවයට එක්විය.

එහිදී ලංකාදීප පුවත්පතේ කර්තෘ ඩී. බී. ධනපාල මහතා මොහුට උදව් කළේය. එදා යුගයේ දක්‍ෂ චිත්‍ර ශිල්පීන් වන ජී. එස්. ප්‍රනාන්දු සුසිල් ප්‍රේමරත්න එහි සේවය කළ අතර ඔවුහු ද මොටාොගෙදරට  උපකාර කළහ.එහි ප්‍රකාශිත රසවාහිනී, වනිතා විත්ති සඟරාවල ප්‍රධාන චිත්‍ර ශිල්පියා මොටාගෙදරයි.
 

1956 වසරේ ඉඩ ලද හැම විටම චිත්‍ ඉගැන්වීමේ පන්ති පැවැත්වීමට මේ ශිල්පියා උනන්දු විය. මෙම පන්තිවලට විශාල සිසු පිරිසක් එක්වූ අතර රට තුළ පුවත්පත්වලින් නිතරම මොහුගේ චිත්‍ර මුල් පිටුවල පළවීම නිසා ඉතා කෙටි කලකින් මොටාගෙදර වනිගරත්න චිත්‍ර ශිල්පියාට රටේ ජනප්‍රිය නමක් ලැබුණි. එසේම විවිධ ආයතනවලින් නිර්මාණ සඳහා මොහුට ඉල්ලීම් ලැබුණි. 1953 වෙසක් තොරණක් ගාල්ල ගල්වඩුගොඩ පාසලේ මොටාගෙදර වනිගරත්න ඉදිකළේය.

එය කාගේත් පැසසුමට ලක්වූ නිර්මාණයක් විය. 1956 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් කොළඹ වරායේ ඉදිකළ “ඒකාලෝක" නම් වෙසක් තොරණ නිසා රාජ්‍ය තන්ත්‍රයේ ප්‍රභූන් අතර මොහුගේ දස්කම් කතාවට ලක් විය. එවකට පැවති ප්‍රධාන පුවත්පත් රැසකින් ප්‍රධාන චිත්‍ර ශිල්පියා ලෙස කටයුතු කිරීමට ආරාධනා ලැබුණත් මොටාගෙදර ඒවාට ගියේ නැත. මේ ශිල්පියාගේ චිත්‍ර පන්තිවලට විශාල සිසු පිරිසක් පැමිණියහ. 
එක් සිසුවෙකි චිත්‍ර ශිල්පී විපුල ධර්මවර්ධන මහතා. චිත්‍රය සමඟ කාලය කෙමෙන් ගතවිය. චිත්‍ර ඉගැන්වීම කරන අතර තැපැල් මාර්ගික චිත්‍ර පාඨමාලාවක් ද මොටාගෙදර චිත්‍ර ශිල්පියා ආරම්භ කළේය. දැඩි කාර්යබහුලත්වය හේතුවෙන් ලංකාදීප පුවත්පතට හේ ආයුබෝවන් කීවේය. 

ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයක් කිරීමට සිතාගත් මොටාගෙදර වනිගරත්න "මගේ ලංකාව" නමින් ඔහුගේ ප්‍රථම -චිත්‍ර ප්‍රදර්ශනය 1956 ඔක්තෝබර් 3, 4, 5 යන දින තුනෙහි කොළඹ කලා භවනේදී පැවැත්වීය. එම අවස්ථාව අග්‍රාමාත්‍ය ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක  මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්විණි. 
මෙහිදී බණ්ඩාරනායක මැතිතුමා මොහුගෙන් චිත්‍රයක් ද මිලදී ගත්තේය. මෙම ප්‍රදර්ශනය නැරඹීමට දිවයිනේ සතරදෙසින් සෙනඟ ඇදී ආයේය. වෛද්‍ය පී. ආර්. ඇන්තනීස්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු විශ්වවිද්‍යාල සිසුන් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි අතර මොටාගෙදරයන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයට රටේ වැඩිම ඉල්ලුමක් ලැබුණි. එදා සිට අද දක්වාම සාර්ථකව චිත්‍ ප්‍රදර්ශන පැවැත්වෙයි. 

ඉන්පසු දිවයින පුවත්පතේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා ලෙස වැඩ කිරීමට මොටාගෙදරට අවස්ථාව ලැබුණු අතර, පසුව ගුණසේන මුද්‍රණ ආයතනයේ මුද්‍රණ පොත්වල මුල් කවරය සකසන චිත්‍ර ශිල්පියා ලෙස වැඩ කිරීමට යොමුවිය. පසුව ස්වාධීන පුවත්පත් සමාගමේ ප්‍රකාශිත දවස පුවත්පතේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා ලෙස ද වැඩ කිරීමට අවස්ථාව උදාවිය.  එහිදී මොටාගෙදරගේ ගෝලයකු වූ චිත්‍ර ශිල්පී වටරැක ප්‍රේමදාස මහතා සේවයට එක්කර ගැනීමට කටයුතු කළේය.

මේ වකවානුවේදී මොහු පදිංචිව සිටියේ නාවල ප්‍රදේශයේය. එහිදී කෝට්ටේ පුරාවිද්‍යා චක්‍රවර්තී පුරාවිද්‍යා විශාරද ඩග්ලස් ඩී. රණසිංහ, සූසන් රණසිංහ මැති දෙපළගේ ලොකු දුව දොන් ඩොරින් සීතා රණසිංහ සමඟ බැඳී දැන  හඳුනාගැනීමකින් පසු විවාහ ගිවිස  ගත්තේය. විවාහ වූ මොටාගෙදර යුවළ බතික් ශිල්පය සිය ව්‍යාපාරය වශයෙන් ඇරඹුවේය. එය කරගෙන යන අතරතුර 1965 ශ්‍ී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ නිල පුවත්පත වූ “ඇත්ත" පත්‍රයේ කාටූන් චිත්‍ ශිල්පියා ලෙස වැඩ කිරීමට ද එක්විය. එම යුගයේම  මෙත්‍රීපාල සේනානායක මහතා ආරම්භ කළ "සතිය" පුවත්පතේ ද වැඩ කළේය.

ඉන්පසු ලංකා පොහොර සංස්ථාවේ විශාල පුවරුවල චිත්‍ර ඇඳීම ඔහුට බාර වූ අතර එම යුගයේදී පවුලට නව සාමාජික පුත්තු හතරදෙනෙක් එක්වූහ. ඔවුන් මුර්ති, සංඛ, තිමල්, සිවුමල් නම් වූහ. තම බිරිය වූ සීතා මොටාගෙදර මහත්මියගේ සහාය ඇතුව 1985 දී රෙදි මුද්‍රණයට වන්නේය. 1990 දී සිය පුතු සංඛ මොටාගෙදර සමඟ කලාභවනේදී නවවෙනි චිත්‍ර ප්‍රදර්ශනය දින 10 ක් නොකඩවා පැවැත්වූයේය. මෙම ප්‍රදර්ශනය බැලීීමට දහස් සංඛ්‍යාත මහජනයා ඇදී ආහ. 

එසේම මෙම සමයේ මොටාගෙදර කලාකෙත කලායතනයක් බවට පත්විය. ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ සිසුන් සඳහා බතික්, කැටයම්, චිත්‍ර කලාව නොමිල් ඉගැන්වීමට මොටාගෙදර කටයුතු කළේය. 1991 කඹුරුපිටියේ පැවති ගම් උදාව ප්‍රදර්ශනයේ නුවර මගුල් මඩුවේ කැටයම් කිරීම හා එහි නිර්මාණ කිරීමට මොටාගෙදරට බාර කළේ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මැතිතුමා විසිනි. එය තම පුතු වූ සංඛ මොටාගෙදර සමඟ ඉතා උසස් ලෙස තිමවා දුණි. මේ අතර සියල්ල කඳුළින් තෙමාලූ සිදුවීමකට ඔහු මුහුණ දුන්නේ 1991 වසරේ යි. හදිසියේ සංඛ පුතු මෙලොවින් සමුගත්තේය. එකී ශෝකය දරාගත නොහැකි මේ චිත්‍ර ශිල්පියා එතෙක් කළ සියලුම වැඩවලට නැවතීම තිබ්බේය. නිහඬව ගෙවී ගිය කාලයක් මොටාගෙදර ගත කළේය. 

1993 සිළුමිණ කර්තෘ තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතාගේ ඉල්ලීම මත ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පතේ චිත්‍ර ශිල්පියා ලෙස මොටාගෙදර සේවයට එක්විය. පසුව 1999 දී ලේක්හවුස් ආයතනයට සමු දී නැවත 2006 දී සිළුමිණ පුවත්පතට එක්වූ ඔහු “ගුරුගෝල වෙනස', "ගමේ කඩේ කතාබහ" චිත්‍ර ඇඳීම ද කළේය. 

මොටාගෙදරයන් අගය කළ චිත්‍ර වූයේ කැලණි විහාරයේ සෝලියස් මැන්දිස් ඇඳි චිත්‍ර, බෙල්ලන්විල රාජමහා විහාරයේ සෝමබන්දු විද්‍යාපති ඇඳි චිත්‍ර හා බොරැල්ලේ ගෝතමී විහාරයේ ජෝර්ජ් කිට් ඇඳි ශ්‍රී ලාරංකීය ආරක් ගත් චිත්‍ර නිර්මාණයන්ය .මෙරටේ අග්‍රගණ්‍ය චිත්‍ර ලෙස මොටාගෙදරයන් ඒවා හඳුන්වයි. රඹුක්කන සිද්ධාර්ථ හිමිගේ මඟපෙන්වීමෙන් වැලිගම බෝධිමළු විහාරයේ වටදාගෙ තුළ ඇඳි බුදුන් වහන්සේගේ උපතේ  සිට පරිනිර්වාණය දක්වා බුද්ධ චරිතයේ සිතුවම් මොටාගෙදර වනිගරත්නයන්ගේම චිත්‍ර ආරකින් විචිත්‍රණය වූ ඒවාය. එදා සිට අද දක්වා සම්මාන පිට සම්මාන ලැබූ ඔහු සෝවියට් දේශයේ තරුණ හමුවට ද සහභාගි විය.

මහාචාර්ය සුනිල් ආරියරත්න -"යුගයෙන් යුගය ඔහුටම ආවේණික නවමු චිත්‍ර ආරක් මොටාගෙදර වනිගරත්න බිහි කෙළ්ය." 

ආචාර්ය තිස්ස අබේසේකර -"පන්හිඳෙන් අපූරු චිත්‍ර මවන සිතුවම් ශිල්පියෙකි" 

ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර -" මොටාගෙදර වනිගරත්න චිත්‍ර ශිල්පියාගේ රේඛාමය චිත්‍ර යුගයෙන් යුගය අලුත් වන අතර එම චිත්‍ර තුළ අරුත් රැසක් තිබේ." 

ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා - එදත් අදත් හෙටත් මොටාගෙදර වනිගරත්න චිත්‍ර ශිල්පියාගේ සිතුවම් තුළ සජීවී නැවුම් චමත්කාරයක් පවතී. 

හෙළයේ මහා සාහිත්‍යධර වූ අරිසෙන් අහුබුදු - පන්හිඳ තුළින් යන රේඛාව මත චිත්‍රය සිතුවම් වේ. මොටාගෙදර ආර දේශීයත්වය මනාව පෙන්වන ඔහුගේම චිත්‍ර කලා සම්ප්‍රදායකි. මෙවැනි කලාකරුවකු ලක්දෙරණේ පහළවීම ගැන  අප කවුරුත් ආඩම්බර විය යුතුය.