ආදරණීය නන්දා මිස්!

ඔබ තුමිය ගේ වියෝව මා තුළ ඇති කළේ, එක්තරා ආකාරයක කම්පනයකි.මට මේ මොහොතේ ඔබ කළ සමාජීය හා සංස්කෘතික මෙහෙවර සඳහා අප ඔබට උණුසුම් ලෙස සන්සුන්ව නික්මයාමට ඉඩදී අපගේ හදවත්වලින් ඔබට පිරිනැමිය යුතු උපරිම ආදරය ගෞරවය  පිරිනමා සන්සුන්ව නිදන්නට ඉඩදිය යුතුය. එහෙත් එක් යුගයක් නිමවෙමින් තිබෙන මෙවන් කාලයකදී,  මට දැනෙන්නේ වසර මිලියන ගණනක් ඉපැරණි මහා ගස් මා ඉදිරිපිට කඩා වැටෙන්නා සේය.ඒ නිසා ඒ බිය සහිත හිස්කම විසින් ඔබට යාමට ඉඩ නොදී මම නුඹේ දෑත තවමත් තදින් වැළඳ ගෙන සිටිමි.

වෘත්තීය ගායිකාවක ලෙස මා නැවත නැවත ද කල්පනා කරන ප්‍රධානතම අදහස වන්නේ, ගායිකාවක ලෙස මගේ ආත්මය එළියට ගෙනැවිත් අතහරින මගේ අනෙකා ලෙස, ඔබේ ගැයුම් මගේ වන්නේ කොතැනින්ද යන්නය.සංස්කෘතික ජීවියෙක් ලෙස , ඔබ නොමැතිව මා සම්පූර්ණ නොවන්නේ කෙසේද යන්න ගැනය. එනිසා මගේ සටහන හැඟීම් බරව ලියනවාට වඩා මගේත් , අපේත් ප්‍රශ්නය විසඳා ගැනීම වෙත හැරවීමට කැමැත්තෙන් මෙතැන් සිට ලියමි. 

අපගේ කියැවීමට අනුව, නන්දා මාලනී යනු,කුමණ හෝ ශාස්ත්‍රීය  සංගීතයකට අනුව යමින්, ගායනයේ ශිල්ප ක්‍රම හදාරමින් ශික්ෂණය කළ ස්ත්‍රී හඬකට වඩා, සිංහල සංස්කෘතිය තුළ බසත්,සංස්කෘතියත් අතර මුල් ඇදගත් ජීවන අරගලය තුළින් හික්මවන ලද හඬක් හිමි,වෘත්තීය ගායන ශිල්පිනියකට වඩා  සංගීතඥයා ගේත් ගේය පද රචකයාගේත් කලාත්මක අද්දැකීමක් සිංහල සංස්කෘතියෙහි කොටසක් බවට පත් කළ සංස්කෘතිය නැවත නැවත කියවන්නියකි. ඊට මැදිහත් වන්නියකි.
සිංහල සංගීතයේ උන්නතිය සඳහා ඉන්දියාවට ගොස් හින්දුස්ථානී ශාස්ත්‍රීය සංගීතය හදාරා පැමිණීම එකල රැල්ලක්ව පැවතුණු යුගයක කවි ගායනා තරගයකින්, ජයග්‍රහණය කළ ළමා නන්දා මාලනියට ද ඉන්දියාව බලා යාමට ශිෂ්‍යත්වයක් පිරිනැමූ බව අපි අසා ඇත්තෙමු.එහෙත් ඇය එය ප්‍රතික්ෂේප  කරමින් එම මුදලින් සිය පියාණන්ට විදුලි ඉස්තිරික්කයක් මිලදී ගන්නීය. ඒ නිසා ඇගේ හඬ තව දුරටත් ඉන්දියානු ආභාසය නොගත්තේය. ඇය රාගධාරී සංගීතය හේවුඩ් ආයතනයෙන්  ඉගෙනුම ලැබූවත් ඇගේ හඬ සංගීතයේ ස්වරස්ථාන අතර සුසර කළ හඬකට වඩා භාෂාව මඟින් සුසර වූ හැඟීමක් ලෙස අපට දැනේ.

   ඔබට ගයන මා කෝකිලාවක නොවේ
   මඟ තොටේ ඔබ දකින ගැහැණියයි 
                                     නන්දා මාලනී

Peire ගේ  සංඥාර්ථවේදයට අනුව බැලීමේදී නන්දා මාලනිය ගේ හඬ සාමාන්‍ය ගායකයකුගේ හඬකට වඩා icon - හෙවත් සංකේතාත්මක වටිනාකමකින් යුක්ත වූවකි. ඇයගේ හඬෙහි තානියතාව, උච්චාරණය, සහ යම් තනුවක් මත හඬ පතිත කොට ගලා යෑමට සැලස්වීමේදී සිංහල සමාජය සතු කථන සංස්කෘතියෙහි හඬ සමඟ සමානාත්වයක් ඇති කරන බැවිත් එය සිංහල අනන්‍යතාවක් සහිත , මඟ තොටේ ඔබ දකින ගැහැනු ආත්මයක හඬක් ලෙස අපි සමීපව හඳුනා ගනිමු.
Index- සංස්කෘතික සලකුණ
 සාමාන්‍ය වෘත්තීය ගායකයන්ට වඩා ඇගේ හඬ යම් සමාජ, සංස්කෘතික පරිසරයකට අප යොමු කරයි. රුවන් වලා දුහුල් කඬින් පෙරී සඳේ රිදී කැළුම් ගයමින්, සිංහල දරුවන් සුව නින්දක තබන ඇය විසින්ම, බාලොලී ලොලී කියා එරන් තොටිල්ලෙ බාවලා නැළෙවුවත් නිදන් නොපා අවදියෙන් හිඳින් කියමින් තොටිල්ල සොලවා දරුවන් ඇහැරවයි. සුදු වත හැඳි වැන්ඳඹු ස්ත්‍රියක ලෙසින් නූතන යසෝදරාවක වෙමින් සියලු පිරිපත දරා ගැන්මට උගන්වන ආත්මීය විලාපය ඇගේ හඬින් ගයන අතර,සමාජීය දේශපාලනය තුළ රළු ප්‍රකාශයන් බවට පත් වෙමින් සාමුහික අද්දැකීම් වෙත පොදු සමාජය කූද්දන සමාජ ක්‍රියාකාරිනියකි.
 ඒ නිසා පොදු සම්මුතියෙන් ඇතිවන අර්ථය කාලයත් සමඟ සමාජය විසින් නන්දාමාලනියගේ හඬෙහි ගැඹුරු සංවේදී භාවය මඟින් දේශීයත්වය අර්ථ ගන්වමින් එය සමාජ - සංස්කෘතික සම්මුතියක් හරහා ගොඩ නැඟෙන symbolic  meaning  එකක් එනම් සංකේතීය අර්ථයක් බවට පතකර ගනී. 

හඬෙහි අර්ථය වචනයට පෙර පැමිණෙයි.

නන්දා මාලිනිය ගේ හඬෙහි ලාක්ෂණික ධ්වනිය කන වැකුණු පමණින් ශ්‍රාවකයා තුළ යම් සංවේදී ප්‍රතිචාරයක් ඇතිවිය හැකිය. එනම් වචනයක් කියා අවසානයෙහි පැමිණෙන හැඟීමට පෙරම ඇගේ හඬෙහි භාවාත්මක අර්ථය ඊට පෙර ක්‍රියාත්මක වෙයි.එබැවිත් ඇගේ හඬ වචනවල අර්ථ ප්‍රකාශ කරන මාධ්‍යක් පමණක් නොවේ වචන ගැයුමට පෙරද අර්ථයක් නිර්මාණය කරන  සංඥාවක්  බවට පත්වේ. 
එබැවිත් දැන් ඇයගේ ⁣භෞතික හඬ අප අතැර ගොස් තිබුණද සිංහල සමාජයේ භාෂාමය, සංගීතමය සහ සංස්කෘතිකමය මතකය ශ්‍රව්‍ය  සංඥාවක්   ලෙස එනම් voice as sing ලෙස අපේ අනෙකා වී තව දුරටත් පවතී. ඊට අනුව ඇගේ හඬ
ශබ්දයක්- හඬක්- සංකේතයක්- සංස්කෘතික ස්මරණයක්- පිළිඹද අර්ථයක් ගෙන එයි. ඉපැරණි ගල් වඩුවන් අතින් නිමැවූ සංස්කෘතික උරුමයන් ලෙස නන්දා මාලනී නම් කෝකිලාවිය නොවූ ගැහැනු ආත්මයේ හඬ සංස්කෘතික උරුමයක් සේ පිළිගැනීම මගේ ආශාවයි.
 භාෂාව සහ නන්දා මාලනියගේ හඬෙහි වූ සුසංයෝගය නිසාම දෝ සිංහල සංගීතයේදී නන්දා මාලනියේ හඬ බස ඉක්මවා නොගිය අතර බසත් සමඟම පැවතුණි. 
මාලගිරා වැනි ගීයක භාෂාව ඉක්මවා සංගීත භාණ්ඩයක් ලෙස ලතා වල්පොළ ගායන වේදිනියගේ හඬ දිගු කළ දෑතක් සේ ඉහළ ස්වර පරාසයක උස්ව ගැයෙද්දි, නන්දා මාලිනියෙගේ මන්ද්‍ර ස්වර ගැයුම ම්ධය සප්තකය ඉක්මවා නොගොසින් ආපසු හැරී පොළොව දෙසටම මුල් අදී .නන්දා මාලනිය ගේ හඬෙහි තානීය ගුණය අවබෝධ කර ගැනීමට ඇයගේ අනෙකා වන ලතා වල්පොළ ගායන ශිල්පිනිය ගේ හඬද අවැසි වේ. කෙසේ වෙතත් ජීවිතේ සැඳෑසමයට ළං වෙද්දි වෘත්තීය ගායකයන් විශ්‍රාම ගැනීම නොදන්වාම ජීවිතයට පැමිණෙන්නක් වුවද, නන්දා මාලනිය විශ්‍රාම ගත්තේ ද නැත. ඊට හේතුව ලෙස මා දකින්නේ ඇය ගෙ හඬ පැවතියේ සංස්කෘතික උරුමයක් ලෙස වීමය.

ආදරණීය නන්දා මිස්!
ඔබ ගේ ඉල්ලීම පරිදි අපි ඔබට සුවසේ නිදන්නට ඉඩ දී කඳුළු සඟවා ගෙන ඈතට වී බලා හිදිමු.