ශ්‍රී ලාංකික නිර්මාණශීලී ලේඛකයකු, කවියකු, සාහිත්‍ය විචාරකයකු මෙන්ම ආසියානු සිනමාව සහ ආසියානු සන්නිවේදන සිද්ධාන්ත පිළිබඳ ප්‍රමුඛ පෙළේ විද්වතකු වූ මහාචාර්ය විමල් දිසානායකයන් අගෝස්තු 6 දින ජීවිතයෙන් සමුගත්තේය. මිය යන විට ඔහු 87 වැනි වියේ පසුවිය.
ආසියානු සන්නිවේදන සිද්ධාන්ත ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන ඔහු ආසියානු කලාපය තුළ බටහිර සන්නිවේදන සිද්ධාන්ත සහ පර්යේෂණ ක්‍රමවේදයන් එලෙසින්ම වැළඳ ගැනීම දැඩි ලෙස විවේචනය කළේය. ඔහු ආසියානු සම්භාව්‍ය ඉගැන්වීම් අධ්‍යයනය කළ අතර, ආසියානු වත්පිළිවෙත්, විශ්වාස සහ සම්මත පරීක්ෂා කරමින් ආසියානු සන්නිවේදන සිද්ධාන්ත ගොඩනැගුවේය. එමෙන්ම, ඔහු 1990 ගණන්වල සිංහල පුවත්පත්වල පශ්චාත් නූතනවාදී චින්තනය පිළිබඳ තීරු ලිපි පළ කිරීම ආරම්භ කරමින්, සිංහල පාඨකයන්ට පශ්චාත් නූතනවාදය (Postmodernism) හඳුන්වා දුන් ප්‍රගතිශීලී බුද්ධිමතකු ලෙස ද සැලකේ.
හවායි හි 'ඊස්ට්-වෙස්ට් සෙන්ටර්' හි සංස්කෘතික හා සන්නිවේදන ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයකු සහ සහකාර අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ ඔහු 'ඊස්ට්-වෙස්ට් ෆිල්ම් ජර්නල්' හි නිර්මාතෘවරයා සහ ප්‍රධාන සංස්කාරකවරයා ද විය.
පසුව ඔහු හොංකොං හි චීන විශ්වවිද්‍යාලයේ බාහිර මහාචාර්යවරයකු ලෙසත්, හොංකොං විශ්වවිද්‍යාලයේ සංස්කෘතික අධ්‍යයනය පිළිබඳ මහාචාර්යවරයකු ලෙසත් කටයුතු කළේය. නැවත හවායි වෙත පැමිණි ඔහු, 2008 සිට 2011 දක්වා 'ඊස්ට්-වෙස්ට් සෙන්ටර්' සහ හවායි විශ්වවිද්‍යාලය ඒකාබද්ධව අනුග්‍රහය දැක්වූ ජාත්‍යන්තර සංස්කෘතික අධ්‍යයන පශ්චාත් උපාධි සහතික පත්‍ර වැඩසටහනේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළේය. කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ මහාචාර්යවරයා ලෙසද කලක් කටයුතු කළේය. මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට ජනසන්නිවේදනය විෂයක් ලෙස එක් කිරීමට පුරෝගාමී වූයේ මහාචාර් විමල් දිසානායකය.
මහාචාර්ය දිසානායක නිකවැව ප්‍රදේශයෙන් පැමිණි අයෙකි. ඔහුගේ මවුපියෝ දෙදෙනාම පාසල් ගුරුවරු වූහ. ඔහු අධ්‍යාපනය ලැබුවේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙනි.ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තේය.පසුව ඔහු පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති (M.A.) උපාධිය ද, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද (Ph.D.) හිමිකර ගත්තේය. ඔහු ෆුල්බ්‍රයිට් සහ රොකෆෙලර් පර්යේෂණ ශිෂ්‍යත්ව දිනාගත් විද්වතෙකි.
ග්‍රන්ථ රැසක් එළිදක්වා ඇති මෙම විද්වතා ඉන්දියානු සිනමාවේ දශක නවයක ඉතිහාසය විශ්ලේෂණය කරමින් Indian Popular Cinema: A Narrative of Cultural Change නමැති කෘතිය ප්‍රකාශයට පත් කළේය. එම ග්‍රන්ථය මඟින් ඉන්දියානු ජනප්‍රිය සිනමාව මහාද්වීපයේ වෙසෙන ඉන්දියානුවන්ට සහ ඩයස්පෝරාවට (විදේශගත ඉන්දියානුවන්ට) බලපෑ අයුරු සමීක්ෂණය කළ අතර, ඉන්දියානු සිනමාව ඉන්දියානු ප්‍රේක්ෂකයින්ගෙන් ඔබ්බට ගොස් ජාත්‍යන්තර අවධානය දිනාගත් ආකාරය පිළිබඳව සාකච්ඡා කළේය. මෙම කෘතිය ඉන්දියානු ජනප්‍රිය සිනමාව හැඩගැස්වීමට බලපෑ ප්‍රධාන සාධක හයක් පෙන්වා දුන්නේය.
Melodrama and Asian cinema., Colonialism and nationalism in Asian cinema. Narratives of agency: Self-making in China, India, and Japan , Communication theory: The Asian perspective , Communications research and cultural values. Asian Mass Communication, Self and deception: A cross-cultural philosophical enquiry. Self as person in Asian theory and practice, Self as image in Asian theory and practice, The news media in national and international conflict. ගිරිකුළ සහ සඳමඬල, කල්ප විනාශය, ඉන්ද්‍රචාපය, අකල් වැස්ස, නර රකුසා, දුර රට සිට, නව කවි සරණිය වැනි කෘති රැසක කතුවරයා විය.
පසුකාලීනව, ඔහු ආසියානු සන්නිවේදන සිද්ධාන්ත ක්ෂේත්‍රයට ප්‍රවේශ වීමේ මාර්ගයක් ලෙස ආසියානු රූපවාහිනී නාට්‍ය (ටෙලිනාට්‍ය) පිළිබඳව ගවේෂණයක යෙදුණු අතර, විශේෂයෙන්ම සංසන්දනාත්මක සෞන්දර්යවේදය සහ චිත්තවේගීය ගතිකත්වයන් හැදෑරීම සඳහා එය උපයෝගී කරගත්තේය.
දිසානායක මහතා 2012 රාජ්‍ය සාහිත්‍ය උළෙලේදී ශ්‍රී ලංකා රජය විසින් පිරිනමනු ලබන 'සාහිත්‍ය රත්න' සම්මානයෙන් ද, කැලණිය විශ්වවිද්‍යාලයෙන් සම්මානනීය සාහිත්‍ය සූරී උපාධියෙන් ද පිදුම් ලැබුවේය. 2019 වසරේ පැවැති ශ්‍රී ලංකා ජාතික ස්වර්ණ සම්මාන උළෙලේදී ඔහු වෙත කීර්තිමත් 'දේශබන්දු' සම්මානය පිරිනමන ලදී. 2021 දෙසැම්බර් 4 වන දින, ආසියානු මාධ්‍ය තොරතුරු සහ සන්නිවේදන මධ්‍යස්ථානය විසින් පිරිනමනු ලබන 'විප්ලවීය ගවේෂණය සඳහා වන ආසියානු සන්නිවේදන සම්මානයෙන්' (Asian Communication Award for Disruptive Inquiry) දිසානායක මහතා පිදුම් ලැබීය.
ඔහු විසින් රචිත කාව්‍ය රචනා අතර ඉතා කෙටි එහෙත් ගැඹුරු අරුතක් දෙන "මියගිය උවැසිය" කාව්‍ය නිර්මාණය, උපාසිකාවකගේ වියෝව පරිසරයේ වෙනස්කම් සහ ආගමික වස්තූන්ගේ නිශ්චලතාවය ව්‍යංගාර්ථවත්ව නිරූපණය කරන කවි පන්තියකි.
මියගිය උවැසිය
පිරුවානා පොත් වහන්සෙ
කනප්පුවෙහි පෙරළී ඇත.
මිදුල පුරා වියලුන කොළ
ඒ මේ අත විසිර තිබේ.
මිදුලෙ පහන් පැලේ නිතර
සැලුණු දැල්ල නිවී ගොස්ය.
ඉඳ හිට ගේ පිළිකන්නේ
බල්ලෙකු උඩු බුරනු ඇසේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd