IMG-LOGO

2024 මැයි මස 29 වන බදාදා


අද මෙි රටෙි ප්‍රේක්ෂකාගාරයට හෙණ ගහලා

 

 

 

 

සමාජයේ සාම්ප්‍රදායික බැඳීම්වල මායිම් රේඛා ප්‍රසාරණය කර ගැනීමෙහිලා නාට්‍යකරුවකු ලෙස වෙසෙසි අධ්‍යාශයක නිරත වන ධර්මසිරි බණ්ඩාරනායකයෝ ස්වකීය වේදිකා නාට්‍ය නිමැවුම් සහ සිනමා නිමැවුම් කෙරෙන් පේක්ෂකයා බුද්ධිවාදී එළැඹුමකට රැගෙන යෑමට ප්‍රමුඛ වූ කලාකරුවෙක් වෙති. ධර්මසිරි ඔහුගේ වේදිකා නාට්‍ය තුළ අඳින ලද සිතියම ගැඹුරුය.දේශපාලන ආඛ්‍යානයක් වූ ඔහුගේ වෙිදිකා නාට්‍යය එක පෙළට කියවා බැලිය යුත්තේ නිශ්චිත සන්දර්භයක පිහිටුවා තබාය.සිනමා නිර්මාණ ඔස්සේ ද සිය ප්‍රතිභාව සුවිශද කළ ධර්මසිරි බණ්ඩාරනායකයෝ අද තරමක් නිහඬ පිළිවෙතක් අනුගමනය කරති.

ධර්මසිරි විසින් නිර්මාණය කළ වෙිදිකා නාට්‍යය අතුරින් මකරාක්ෂයා,ධවල භීෂණ,යක්ෂාගමනය,ඒකාධිපති,ට්‍රෝජන් කාන්තවෝ වැනි නාට්‍යය සියල්ල විරෝධාකල්ප නාට්‍යය ලෙස ගිණිය හැකිය.ඔවුහු සිනමාවෙි ද උඩුගම් බලා පිහිනු නිර්මාණශීලී අධ්‍යක්ෂවරයෙක් ද වෙති.හංස විලක්,සුද්දීලාගේ කතාව,තුන්වෙනි යාමය,භවදුක,භවකර්ම යන සිනමා කෘති තුළින් ද ධර්මසිරි බණ්ඩාරනායකයෝ ඉගැඹුරු සංචින්තාවක් මතු කරති.මෙනයින් බණ්ඩාරනායකයන් ලාංකේය වෙිදිකාවෙිත් සිනමාවෙිත් එක්තරා කැරැලිකාර නිර්මාණකරුවකු යැයි කීම අතිශයෝක්තියක් නොවෙි.ධර්මසිරිගේ කිසිදු නිර්මාණයක් පිළිබඳ දේශපාලනයෙන් විතැන් කොට කතා කළ නොහැකිය.ඔහුගේ කුළුඳුල් සිනමා සිත්තම වන හංස විලක් වූව ද සිංහල සිනමවෙි එතෙක් මෙතෙක් බිහිවුණු අතිශය සිනමාරූපී රොමැන්තික සලරුවකි.වත්මන් වෙිදිකාව සහ ප්‍රේක්ෂකාගාරයේ හැසිරීම පිළිබඳ බණ්ඩාරනායකයන් සමග කළ කතාබහකි මෙි.

 

මම

මේ රටේ පැවතුණු දේශපාලන ක්‍රමයට විරෝධය පළ කරමින් ඔබ විසින් 1976 දී කරලියට රැගෙන ආ "ඒකාධිපති" නමැති වේදිකා නාට්‍ය දේශපාලන ප්‍රහසනයක්. 1971 කැරැල්ල පැවැති යුගයේ දී මේ රටේ බිහිවෙමින් තිබුණු ෆැසිස්ට්වාදී පාලන තන්ත්‍රයට මුහුණ දෙන ජනයාගේ ඉරණම මේ නාට්‍ය කෙරෙන් විද්‍යමාන වෙනවා. එහෙත් අද්‍යතන සමාජයේ විවිධ දේශපාලන විපරිතයන් සිදුවූවත් එදා ඔබ සංවාදයට බඳුන් කළ ආකාරයේ බිහිසුණු දේශපාලන වටපිටාවක් අද දකින්නට නැහැ.ඔබ නිර්මාණකරණයෙන් ඈත්වී සිටින්නේ ප්‍රබල අනුභූති හිඟකම නිසා ද?

ධර්මසිරි

යුද ජයග්‍රහණයෙන් උන්මාදයට පත් වූ ව්‍යාජ ජාතික දෘෂ්ටිවාදීන්ගේ ළතෝනිය අද අපට එතරම් නොඇසුණත් ඡන්දයක් කිට්ටු වෙද්දී එය නැවතත් ඇසෙනවා.ඒ අනුව වත්මන් සමාජය වැටී තිබෙන අාස්ථානය හොඳට පැහැදිලි වෙනවා.මේ වෛරී සහගත ජුගුප්සා ජනක දේශපාලන ක්‍රියාදාමය අප හෙළා දැකිය යුතුයි.ඒකාධිපති 1976 නිෂ්පාදනය කළ වෙිදිකා නාට්‍යයක්.මේ නාට්‍යයට පසුබිම් වුණේ 1971 කැරැල්ලයි.සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සභාග රජයට සමගාමීව රටේ සිදුවුණු දේශපාලන ඝාතන දූෂණ හා භීෂණවලින් ඇති කළ කලබලකාරී වටපිටාව මේ නාට්‍ය නිර්මාණය කිරීමට කිසියම් උත්තේජනයක් දුන්නා. ෆැසිස්ට්වාදී පාලන තන්ත්‍රයක ගතිකයන් අවබෝධ කොට ගැනීමට මේ නාට්‍යයෙන් පුළුවන්.1976 නොවැම්බර් මාසයේ මේ නාට්‍ය කරලියට ගෙන එන විට අපට නොසිතූ විරූ ආකාරයක ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. එදා ඒකාධිපති නාට්‍යය වෙනුවෙන් ප්‍රශස්ත විචාරයක් ද ගොඩනැගුණා. ප්‍රේක්ෂක විචාරක උභය පාර්ශ්වයේ තියුණු ප්‍රතිචාරවල ප්‍රතිඵලයක් වශයෙන් 1996 දක්වා දර්ශන වාර 1400 කට අධික සංඛ්‍යාවක් මෙි නාට්‍ය පෙන්වන්න අපට හැකිවුණා.එදා අපි මෙි නාට්‍ය පළමු වරට ප්‍රදර්ශනය කොට අවසන් වූ පසු බණ්ඩාරනායක මැතිනියගේ රජය බිඳ වැටිලා මැතිවරණයක් ප්‍රකාශයට පත්වී තිබුණා.මෙි ආණ්ඩුව තාම බිඳ නොවැටුණත් නියමිත කාල රාමුවට අනුව දැන් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්වෙලා තියෙනවා.රටෙි දේශපාලන වටපිටාව ඉලක්ක කරගෙන මම නාට්‍ය හදන්නේ නැහැ.දේශපාලනය විසින් ජනවිඥානය විනශ කළ රටක නාට්‍ය හෝ සිනමාව කිරීම වෙහෙසකර කටයුත්තක්.


 

මම

ලෝකයේ විශිෂ්ට නාට්‍යකරුවන්ගේ උසස් නාට්‍ය කෘති මේ රටට සරිලන ආකාරයට පරිවර්තනය කරමින් ඔබ එදා රටෙි පවතින ක්‍රමයට විකල්ප අවශ්‍ය බව මතුකළා.ඔබ විසින් නිර්මාණය කළ මකරාක්ෂයා,ධවල භීෂණ,යක්ෂාගමනය,ඒකාධිපති,ට්‍රෝජන් කාන්තවෝ වැනි වෙිදිකා සියල්ලක්ම විරෝධාකල්ප නාට්‍යය හැටියටයි මට පෙනෙන්නේ.එහෙත් ඔබ එදා ඉල්ලු සිස්ටම් චෙින්ජ් එක තවමත් සිදුවී නැහැ.පහුගිය කාලේ තරුණ පිරිසක් ඒ වෙනුවෙන් අරගලයක් පවා කළා.පවතින ක්‍රමයට එරෙහිව කෙතරම් විරෝධතා මතුවූවත් සමාජය මෙි ක්‍රමයටම අනුගතවන බවක් දක්නට ලැබෙනවා.මෙි කෙරෙන් ගම්‍ය වන්නේ පවතින ක්‍රමය ස්වාභාවික බවද?

ධර්මසිරි

පවතින ක්‍රමයට විකල්ප සෙවීම නාට්‍යකරුවාගේ කාර්යභාරය නෙවෙයි. එහෙත් 70-80 හා 90 දශකයේ මුල් භාගය දක්වා වේදිකාවට අවතීර්ණ වූ විරෝධා කල්ප නාට්‍යය කෙරෙන් විකල්පයක අවශ්‍යතාව ප්‍රබලව මතු වුණා. මේ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ පරමාර්ථයෙන් කලාකරුවකුට අමතරව රටේ පුරවැසියකු විදියට ද මා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය බලයට ගෙන ඒමේ ව්‍යාපෘතියට දායක වුණා.1994 දී එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමේ කාර්යයේදී කලාකරුවකු විදියට මා සන්ධාන ආණ්ඩුවට සහයෝගය පළ කළා. ඒත් සිදුවේ කුමක්ද?1994 දී අපි මහත් පරිශ්‍රමයෙන් ගොඩනැගීමට දායක වූ ආණ්ඩුව පෙරළා යුද මාවතම තෝරා ගත්තා.මේ රටේ පුරවැසියාගේ සංස්කෘතික ජීවිතයේ ආධ්‍යාත්මය ඇතුළු හරපද්ධති සියල්ල උඩුයටිකුරු කරමින් ඉදිරියට ගිය මේ යුද්ධය කෙරෙහි ඇති වූ කලකිරීම හේතුවෙන් මා පක්ෂ දේශපාලන ව්‍යාපෘතිවලින් සම්පූර්ණයෙන්ම ඉවත් වුණා. මට මේ රටේ ඇතැම් දීන කලාකරුවන් මෙන් අවස්ථාවාදී දේශපාලනයක නියැළීමේ අවශ්‍යතාවක් නැහැ.අපි බොහොම බියසුලු පාරාධීන ජාතියක්.එහෙම ජාතිකකට පුළුවන් ද සිස්ටම් චෙින්ජ් කරන්න.මට භෞතික ජීවිතයේ ඕනෑ එපාකම් හරිම අල්පයි. අද පක්ෂ දේශපාලනයට බද්ධ වී සිටින ඇතැම් කලාකරුවන්ගේ මූලික අරමුණ වනුයේ සුඛෝපභෝගී නිවෙසක්, වාහනයක් වැනි දේවල් ගැනීමට උත්සාහ කිරීමයි. එහෙත් මට ඒ සියල්ල දේශපාලන පක්ෂයකට පන්දම් අල්ලලා ලබාගන්න වුවමනා නැහැ. මා මේ හැම භෞතික සම්පතක්ම භුක්ති විඳිනවා. මේ නිසා මා නිර්මාණ කරුවකු හැටියට ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා කිසියම් දායකත්වයක් ලබාදීමට නිතරම උත්සාහ කරනවා. පසුගිය වකවානුව තුළ මේ ජනවාර්ගික අර්බුද තේමා කොටගත් කෙටි චිත්‍රපට පහළොවක් පමණ නිර්මාණය කළා. කලාකරුවකු හැටියට සංස්කෘතික ක්ෂේත්‍රයේදී දිය හැකි උපරිම දායකත්වය මේ වන විට ලබාදී තිබෙනවා. මේ රටේ පැවති ජනවාරික යුද්ධය හේතුවෙන් ඇතිවූ බරපතළ සමාජ විපරිවර්තනයන් මා මේ සියලු කෙටි චිත්‍රපටය ඔස්සේ සංවාදයට බඳුන් කළා.


 

මම

අද ඇතැම් කලාකරුවන් දේශපාලන නළාකරුවන් පිරිසක් බවට පත්වෙලා. සමහරු තම ප්‍රතිභාව වෙන්දේසි කරමින් දේශපාලන අතකොලු වී මුදලට විකිණෙනවා.මෙි නිසා කලාකරුවාගේ ගෞරවය පිළිබඳ දෙවරක් හිත්නන වෙලා තියෙනවා?

ධර්මසිරි

මේ මොහොත වන විට අපේ රටේ කලාකරුවන් බොහෝ දෙනෙක් දේශපාලනය උදෙසා කැපවූ මනුස්ස කොට්ඨාසයක් බවට පත්වෙලා මේ හේතුවෙන් කලාකරුවා පිළිබඳ ජනතාව අතර තිබෙන ගෞරවාන්විත භාවය අහෝසි වී තිබෙනවා තිබෙනවා. ඒත් රටේ ඉහළම ප්‍රභූවරයා ආරාධනා කළත් දේශපාලන වාසි ලබා ගැනීමේ පරමාර්ථයෙන් මට එවැනි ප්‍රාථමික තලයකට වැටෙන්න බැහැ මේ රටේ පැවැති ප්‍රධාන පෙරළා දේශපාලනයට පිවිසීමට ආරාධනා කළා. එහෙත් පක්ෂ දේශපාලනයට මා තුළ තිබූ අකමැත්ත නිසාම ඒ සියලු ඇරියුම් ප්‍රතික්ෂේප කළා.


 

මම

එහෙත් ඔබ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ඔඩොක්කුවට වැටුණා?

ධර්මසිරි

මම කාගෙවත් ඔඩොක්කු කුක්කෙක් නෙවෙයි.ඒ ගැන අපි කතා නොකර ඉමු.


 

මම

අද අපි අවතීර්ණ වී සිටින්නේ පශ්චාත් ධනවාදී යුගයකට.ගෝලීය ප්‍රාග්ධනයේ වෙිරම්භවාතයෙන් සුනුවිසිනු වී ගිය රටක ජනතාවට තවදුරටත් සංස්කෘතික ජීවිතයක් විඳීමට අවකාශය නැහැ.වාණිජ ධනවාදයෙන් පෝෂණය වන විනෝද සමාජයකට උසස් කලාකෘති නිෂ්පාදනය කිරීමෙන් පලක් තිබෙනවාද?

ධර්මසිරි

මේ ධනවාදී අර්ථක්‍රමයේ අවසාන ස්වරූපය නෙවෙයි. ආසියාතික රටවල සංස්කෘතික හරපද්ධති විනාශ කරමින් හමා එන මේ වේරම්භවාතයට අප නොබියව මුහුණ දිය යුතුයි. සමාජයක අප යම් අනතුරක සිටින බව කියාපෑම කලාකරුවකුගේ වගකීමක් කියා මා හිතනවා. මෙහිදී අවර ගණයේ කලාකෘති නිර්මාණය කිරීමට වඩා කලාකරුවා උත්තම ගණයේ නිමැවුම් හැම විටම සමාජගත කිරීමට වග බලා ගත යුතුයි.සමාජ බලවේගයන්ගේ විපරිණාමයට සහ අභියෝගයට බියේ අපි පලා යා යුතු නැහැ. විනෝදය මූලික කරගත් සමාජයක අතළොස්සක් තරම් වූ ප්‍රේක්ෂකයා හෝ මේ යුගයේ නාට්‍ය ශාලාවට පැමිණීම වැදගත්.ජීවත්වීම පිළිබඳ මිනිසුන් තුළ පවතින වේදනාව අද ඇතැම් දේශපාලන බලවේග විසින් ගසා කනවා. මේක මහා ඛේදවාචකයක්. පසුගිය කාලයේ මේ සමාජය අමතන්න ප්‍රබල නාට්‍යකරුවකු ඉදිරිපත් වුණේ නැහැ. රාජිත දිසානායක වැනි නාට්‍යකරුවකු දෙන්නෙකු හැරෙන්නට අන් සියල්ලන්ම පුද්ගල හා අතිසරල ආකාරයට මේ ක්ෂේත්‍රය සමග ව්‍යාජ ගනුදෙනුවක නිරත වෙනවා. 

 

මම

අද ඇතැම් පුද්ගලයන් පොත් නොකියවා විචාර ලියනවා.නාට්‍යය නොබලා විවෙිචන කරනවා.කිසියම් කලාකෘතියක්  ගැඹුරින් පරිශීලනය නොකර නිර්ණායක ඉදිරිපත් කිරීම  සදාචාරාත්මක ද?

ධර්මසිරි

කලාකෘති අඳුරේ අතපත ගාලා විචාරය කරන පිරිසක් කවදත් හිටියා.මෙි අය කරන්නේ විචාර නෙවෙයි ප්‍රචාර.අද විශ්වවිද්‍යාලවල බොහෝ විද්‍යර්ථයින් ඔවුන්ගේ උපාධි නිබන්ධනවලට  මගේ වේදිකා නාට්‍ය තෝරගන්නවා. ඒත් ඒ එකුදු ශිෂ්‍යාවක හෝ ශිෂ්‍යයෙක් මගේ කිසිම නාට්‍යයක් නරඹා නෑ. මේගොල්ලෝ මා සොයාගෙන ඇවිත් මගේ හැම නාට්‍යයකම මුල් පිටපත ෆොටෝ කොපි කරගෙන යනවා. ඔවුන් උපාධි නිබන්ධනය සම්පූර්ණ කරන්නේ එමගින්. ඒත් මෙය අධ්‍යාපනයට කරන තක්කඩිකමක්. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ උපදෙස් මත ඔවුන් මා සොයා පැමිණෙන්නේ මගේ නාට්‍යවලින් ලබාගත් වින්දනයෙන් පරිපූර්ණ වූ රසිකත්වයකින් නෙවෙයි. ඔවුන් මෙි තක්කඩි වැඩෙි කරන්නේ විභාගය ගොඩදාගන්න විතරයි.

 

මම

ප්‍රේක්ෂකයා කියන්නේ මේ රටේ පුරවැසියායි. එහෙත් එදා වේදිකා නාට්‍යයක් නැරඹීමට පැමිණි ඒ ප්‍රේක්ෂක පුරවැසියා අද රඟහලෙන් දුරස්වෙලා?

ධර්මසිරි

ඔබ කියන එක ඇත්ත. අද මේ රටේ ප්‍රේක්ෂකාගාරයට හෙණ ගහලා. එදා උසස් වේදිකා නාට්‍යයක් නැරඹීමට පැමිණි විදග්ධ ප්‍රේක්ෂක ප්‍රජාව පවා මේ වන විට වඳ වී ගිහින්.මේ තත්වය උද්ගත වීම කෙරෙහි සමාජ,ආර්ථික, දේශපාලන ආදී කාරණා රාශියක් බලපා තිබෙනවා.එදා සහ අද වකවානු දෙකක්. ප්‍රේක්ෂකයාගේ පාර්ශ්වයෙන් බැලුවොත් එදාට වඩා අද අග හිඟකම් බොහොමයි. ඒත් 1976 සිට 80 දක්වා ප්‍රේක්ෂකාගාර පිරී ගියේ රජයේ විවිධ වෘත්තිකයන්ගෙන්. ඔවුන් බොහෝ දෙනෙක් උගත් බුද්ධිමත් පිරිසක්. මේ නාට්‍ය නැරඹූ දැවැන්තම පරම්පරාව වනුයේ කම්කරු පන්තියයි.එහෙත් 1980 ජූලි වැඩ වර්ජනයෙන් පසු මේ පරම්පරාවේ සංස්කෘතික ජීවිතය ඇල්මැරුණු ස්වාභාවයකට පත්වෙනවා. එදා හෙන්රි ජයසේනගේ "මකරා" සුගතපාල ද සිල්වාගේ "දුන්න දුනුගමුවේ" සයිමන් නවගත්තේගමයන්ගේ "සුබ සහ යස" ආදී දැවැන්ත නාට්‍ය නැරඹීම සඳහා පැමිණි පේක්ෂකයාගෙන් රංගශාලා අතුරු සිදුරු නැතිව පිරී ගියා. එහෙත් වත්මන් තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. මේ රටේ පැවතුණු දරුණු යුද්ධය විසින් මිනිසුන්ගේ සමස්තය විනාශය කොට තිබෙනවා. අද තිබෙන්නේ පුද්ගලයා කේන්ද්‍ර කොටගත් සමාජයක්. මේ සමාජයේ මිනිස්සු හැම විටම ජීවත් වන්නේ කෝපයෙන්. ඔවුන් එකිනෙකා කුලල් කා ගනිමින් මුදල් හම්බ කිරීමේ පොරපිටියට එකතු වී තිබෙනවා. මේ වාතාවරණය හමුවේ තවදුරටත් ඔවුනට සංස්කෘතික ජීවිතය විඳීමේ ඉඩප්‍රස්ථාව නැහැ. මේ තත්වය ඇති කළේ කවුරුන් විසින් ද?පවතින දේශපාලන ක්‍රමය මේ සියල්ලට වගකිව යුතුයි.අද මිනිස්සුන්ට නාට්‍යයක් බලන්න යන්න වෙලාවක් නැහැ. ඔවුන් දවසෙන් අඩක්ම ගත කරන්නේ මහ පාරේ.ප්‍රචණ්ඩත්වය සහ මර්දනය මූලික කරගත් සමාජයක සෞන්දර්යවාදී වුවමනාවන් යටපත් වීම පුදුමයක් නොවේ.

 

මම

මෑතකදී නැරඹු වෙිදිකා නාට්‍යවල දෙබස්වලට ප්‍රේක්ෂකයන් බඩ අල්ලගෙන හිනාවෙන ආකාරය මා දුටුවා.රංග ශාලාවක දී මිනිස්සු මේ විදියට පැල් බැඳගෙන හිනාවෙමින් විනෝද වන්නේ නාට්‍යයේ අවුලක් නිසාද?එසේත් නැත්නම් සමාජයේ අවුලක් හින්දද?

ධර්මසිරි

රාජිත දිසානායකගේ "ආපසු හැරෙන්න බෑ" නාට්‍යයෙන් නරඹන විට මමත් ඔය අත්දැකීමට මුහුණ දුන්නා. හැබැයි මට හිතෙන විදියට ඒක නාට්‍යයේ අවුලක් නෙවෙයි. සමාජයේ අවුලක්. නාට්‍යයක ගැබ් වූ හාස්‍යයක් තිබෙන්න පුළුවන්. එහෙත් නාට්‍ය නරඹන විටදී ප්‍රේක්ෂකයා අසීමිත ලෙස විනෝද වන්නේ ඇයි දැයි යන්න අප වහාම සොයා බැලිය යුතුයි. ප්‍රේක්ෂකයා කුමන කාරණයක් උදෙසා හිනාවෙනවා දැයි යන්න අපට එකවර හිතා ගන්න බැහැ. ප්‍රේක්ෂකයා මෙි විදියට හිනාවෙනවා කියන්නේ එක්තරා ආකාරයට තමන් තුළ තිබෙන තෙරපුම මුදාහැරීමක්. ඔවුන් සිනහව ඔස්සේ තමන්ගේ හැඟීම් පාලනය කරනවා වෙන්නත් පුළුවන්. මේ සමග ඔවුන් නාට්‍ය හා බද්ධවීමක් ද සිදුවෙනවා. එහෙත් පේක්ෂකයා නාට්‍ය ආරම්භයේ සිට අවසානය දක්වා සිනාවම ඉල්ලා සිටිනවා නම් ඒක විශාල ප්‍රශ්නයක්. මෙි සමාජය වැටී තිබෙන තැන අපට එයින් සිතා ගන්න පුළුවන්. වත්මන් සමාජය හැසිරෙන ආකාරය දිහා බැලුවම ඔහොම හිනාවෙලා නැවතුනොත් ඇති කියලත් මට හිතෙනවා.

 

මම

රංග කලාව කියන්නේ නිර්මාණශීලී මිනිසුන් අතර සිදුවන අභිමුඛවීමක්. රංග කලාව හා එහි භාවිතය ඒ අරුතින් අභිමුඛ වීමේ කලාවක් හැටියට ගිණිය හැකියි.රංගධරයා නාට්‍ය තුළත් ඉන් පිටතත් මේ මෙිඅභ්‍යාසයේ නියැළෙනවා.ඉයුජිනියෝ බර්බා නමැති නාට්‍යකරුවා පවසන්නේ නාට්‍ය කලාවේ නියැළෙන්නාට පර්සනල් මැලේරියාවක්( Personal Maleria) වැළඳී ඇති බවයි.කේෂ්ත්‍රයට එන්න කලින් ඔබටත් මෙි ⁣ලෙඩෙි තිබෙන්නට ඇතැයි මට හිතෙනවා.

ධර්මසිරි

එදා විතරක් නෙවෙයි අදත් මට ඒ උණ තියෙනවා.නිර්මාණකරුවකු කලාකරුවෙකු හැටියට මා මේ සමාජ මෙහෙවර තවදුරටත් කළ යුතු යැයි හැඟෙනවා. නාට්‍යකරුවෙකු සිනමාකරුවෙකු වීමට තිබුණු උණ නිසාම මට විශාල පාඩු සිදුවී තිබෙනවා. අපේ එකම ධනය වන්නේ මේ කලාවයි. නාට්‍ය හා සිනමා නිර්මාණවලින් ලැබුණු සියලු අත්දැකීම් මගේ මුළු ජීවිතය පුරාම හදවතේ ගැඹුරුම තැනක තැන්පත් කරගෙන ඉන්නවා. කලාවේදී මා නිතරම අව්‍යාජ චරිතයක්.මා නාට්‍ය කරන්නේ ඔබ අර කලින් කියූ පර්සනල් මැලේරියාව නිසාමයි.

 

මම

මේ කලාවේ ප්‍රගමනය සඳහා දායක වූ මහ පරම්පරාව දැන් මිය ගිහින්. හෙන්රි ජයසේනයන්ගේ වියෝවෙන් පසු ඒ පරම්පරාව සම්පූර්ණයෙන්ම අහෝසි වුණු බව පෙනෙනවා. නාට්‍යකරුවකු හැටියට මේ වියෝව ඔබට දැනෙන්නේ කොහොමද?

ධර්මසිරි

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ,දයානන්ද ගුණවර්ධන, හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා ආදීන් ඔබ සඳහන් කළ මහ පරම්පරාවේ නාට්‍යකරුවෝ. ඔවුන් මුළු මහත් සමාජයක් ඇමතූ කලාකරුවන්. ඔවුන්ගේ ඇතැම් නිර්මාණවලට දායක වීමෙන් අප ලබා ගත් ගුරුහරුකම් බෝමයි. එහෙත් ඔවුන් කිසිවකු තරුණ වියේදී අප අතරින් වියෝ වූයේ නැහැ. ඔවුන් සිය ජීවිත කාලයේදී හැකි පමණින් නිර්මාණ ක්‍රියාවලියේ යෙදුණා.නාට්‍ය කලාව පෝෂණය වෙන්න නම් ඒ වෙනුවෙන්ම ඇප කැපවුණු පිරිසක් සිටිය යුතුයි. නිදසුනක් හැටියට මෑතකදී අප අතරින් වියෝ වූ ගාමිණී හත්තෙට්ටුවේ ගම නාට්‍යවේදියා ගිණිය හැකියි. ඔහු මුළු ජීවිත කාලයම වීදි නාට්‍ය කලාවේ උන්නතිය වෙනුවෙන් කැප කළා. ඔහු තමා පටන් ගත්ත තැනින්ම ඉවර කළ කලාකරුවෙක්. නාට්‍ය කලාවේ පමණක් නෙවෙයි සෑම කලා ක්ෂේත්‍රයකම මේ මහ පරම්පරාව වඳවී ගිහින්. අපේ නාට්‍යවලට එදා හොඳ විචාර කලාවක් ගොඩනැගී තිබුණා. අපි ඒ කාලේ ප්‍රශස්ත නාට්‍යයක් නැරඹීමට රංගශාලාවට යන්නේ ඒ පිළිබඳ ලියැවුණු විචාර කියවලා.නිහාල් රත්නායක, රෙජී සිරිවර්ධන, අජිත් සමරනායක, බන්දුල ජයවර්ධන ආදී දැවැන්ත විචාරක පරපුරක් අපට හිටියා. ප්‍රේක්ෂකයා සහ නාට්‍ය අතර තිබෙන පරතරය බිඳ දැමීමට මේ විචාරකයන්ට හැකි වුණා.නාට්‍ය කලා විෂයට සීමා වුණු ඒ වෙනුවෙන්ම කැපවුණු පිරිසක් නොමැතිකම අද තිබෙන ප්‍රධාන ගැටලුවක්. අද තරුණ නළු නිළියන් ඔවුන් ප්‍රොෆිෂනල් කලාකරුවන් හැටියට සමාජය ඉදිරියේ පෙනී ඉන්නවා. ඒත් මේ විෂය සම්බන්ධයෙන් ඔවුන්ගේ දැනුම අල්පයි.ඔවුන් කිසිම අධ්‍යයනයක නියැළෙන්නේ නෑ.අප ජීවත් වන වටපිටාවේ තිබෙන දේවල් උකහා නොගෙන ඒවා තේරුම් නොගෙන රංගනය නියැළෙන නළු නිළියන්ට මේ වෘත්තියේ ආයුෂ ඉතාම කෙටියි. වේදිකාව පෝෂණය කිරීමට නම් වෙනත් මාධ්‍යවලට නොයා ඒ වෙනුවෙන්ම කැපවිය යුතුයි. එහෙත් අද සමහර නළු නිළියන් ප්‍රසිද්ධ නාට්‍යකරුවන්ගේ නිර්මාණවලට සම්බන්ධ වන්නේ තවත් තැනක වැඩක් අල්ලා ගැනීමෙි පරමාර්ථයෙන්.රංගන ශිල්පියා කියන රූපයේ හැඩය දැන් වෙනස් වෙලා.

 

මම

ඔබ ප්‍රශස්ත සිනමා කෘති කිහිපයක්ම නිර්මාණය කළ අධ්‍යක්ෂවරයෙක්. එහෙත් ඔබ මේ වන විට සිනමා ක්ෂේත්‍රයෙන් සම්පූර්ණයෙන්ම දුරස් වෙලා. මේ මොහොතේ සිනමාව පිළිබඳ ඔබට මොකද හිතෙන්නේ?

ධර්මසිරි

සිනමා නිර්මාණයක ගුණදොස් පිළිබඳ විචාරාත්මක ඇගයීම් කර ගැනීමට පුරවැසි සමාජයට සම්පූර්ණ අයිතිය තිබිය යුතුයි. එහි කිසිදු විවාදයක් නැහැ. මං හිතන්නේ අපේ සාම්ප්‍රදායික සමාජය වුණත් ඒ පිළිබඳ කිසිම දැනුවත් භාවයකින් ඉන්නවා.ඒත් අපට තවමත් තිබෙන්නේ නිවැරදිව පරිවර්තනය නොවූ සමාජයක්. අපේ මුළු සමාජම විපරිතයක්. අපේ සමාජයේ තිබෙන මේ විපරිත ලක්ෂණ නිසා තමයි අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර වැනි සිනමාකරුවන්ගේ ප්‍රශස්ත සිනමා කෘති වාරණයට ලක්වන්නේ. කලාකරුවකුගේ පරිකල්පනයට වැට බඳිමින් සමාජයක් කිසිම් හෝ දියුණුවක් බලාපොරොත්තු වෙනවා නම් ඒක සම්පූර්ණයෙන් ම මිත්‍යාවක්.

 



අදහස් (0)

අද මෙි රටෙි ප්‍රේක්ෂකාගාරයට හෙණ ගහලා

ඔබේ අදහස් එවන්න

සාමීචිය

සිංහල භාෂාව අංගවිකල කරන්නෝ විචාර විදූෂකයෝ
2024 මැයි මස 21 653 0

මහාචාර්ය ජේ.බී දිසානායකයෝ මෙරට සිටින කීර්තිමත් වාග්විද්‍යාඥයෙක් වෙති.භාෂා අධ්‍යයනය පිළිබඳ ඇමෙරිකානු හා බ්‍රිතාන්‍ය ගුරුකුල ද්වයෙන් ම ලත් ශික්‍ෂණයක


අද මෙි රටෙි ප්‍රේක්ෂකාගාරයට හෙණ ගහලා
2024 මැයි මස 14 589 0

සමාජයේ සාම්ප්‍රදායික බැඳීම්වල මායිම් රේඛා ප්‍රසාරණය කර ගැනීමෙහිලා නාට්‍යකරුවකු ලෙස වෙසෙසි අධ්‍යාශයක නිරත වන ධර්මසිරි බණ්ඩාරනායකයෝ ස්වකීය වේදිකා න


අද ඉන්න පඬිනැට්ටන්ට සිංහලත් බෑ ඉංග්‍රීසිත් බෑ
2024 මැයි මස 07 942 6

ස්වර්ණමය යුගයක් නිශ්චිතව ම අවසන් වී ඇත.එළැඹුණේ නව යුගයක් දැයි අපි නොදනිමු.මහාචාර්ය නලින්ද සිල්වා මිය ගොසිනි.ඔහු පිළිබඳ මේ සටහන ලිවීමට යෙදුණු මොහොත සංව


මෙි රටෙි ප්‍රබුද්ධයෝ ඩබල් ගේම්කාරයෝ
2024 අප්‍රේල් මස 30 554 0

කලක් ග්‍රන්ථ ප්‍රකාශකයකු හැටියට ද ජනප්‍රිය වු සන්නස්ගල සමග කලකට පෙර කරන ලද සම්මුඛ සාකච්ඡාවකි මෙි.


මම දෙඤ්ඤං බැටෙි විචාරකයෙක් නෙවෙයි
2024 අප්‍රේල් මස 23 204 0

නවකතාව ඔස්සේ නූතන මිනිසාගේ අධ්‍යාත්මික යථාව ගැඹුරින් නිරූපණය කළ ඔබ විචාර කලාවේත් කිසියම් පෙරළියක් කළා.එහෙත් ඇතැමුන්ට අනුව ඔබ දෙඤ්ඤං බැටෙි විචාරකයෙක


සයිමන් සාහිත්‍යකරුවෙක් ද දාර්ශනිකයෙක් ද?
2024 අප්‍රේල් මස 08 371 0

සයිමන් නවගත්තේගම සිංහල රසිකයා අපූර්ව රසයෙන් ප්‍රබුද්ධ කළ කලාකරුවෙකි. සාහිත්‍යකරුවකු ලෙස ඔහු නවගත්තේගම රීතිය යැයි වෙසෙසින් දැක්වීය හැකි ස්වීය හා ස්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 999 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2564 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2191 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site