IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


විජේවීර යාපනයේ දේශපාලනය ගොඩනැගූ හැටි


ධනපති ආණ්ඩු යටතේ සිදුවුණු අසාධාරණය, සුළු ජාතීන්ට කම්කරු පංති ආණ්ඩුවක් යටතේ වෙන්නෙ නැති නිසා ජාතික ප්‍රශ්නයට විසඳුම ලෙස වෙන්වී වෙනම රාජ්‍යයක් තැනීමට සපුරාම විරුද්ධ වන්නේය” යන පාඨය දෙමල භාෂාවෙන් පරිවර්තන කරන අවස්ථාවේ දී කිසියම් අන්තවාදී මත දරණ පුද්ගලයෙකු විසින් විජේවීරගේ හිසට ගලකින් පහර දෙන ලදී. 
ලේ ගලමින් සිටියදීත් උපතිස්ස ගමනායක ගේ උරහිසට වාරුවී එක් අතකින් ලේ ගලන තුවාලය අල්ලා ගෙන, අනික් අත දිගු කරමින් විජේවීර සිංහලෙන් කතාව සිදුකළ අතර, ඒ අයුරින්ම ෆොන්සේකා දෙමළ බසට පරිවර්තනය කළේය.


1977 නොවැම්බරයේ දී ආණ්ඩුව විසින් අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභාව අහෝසි කිරීමත් සමග - රෝහණ විජේවීර හිරෙන් නිදහස් විය. රෝහණ විජේවීර ගේ නිදහසින් පසුව සමුළු පවත්වමින් සංවිධානමය පැත්තෙන් ප්‍රබල හා ජයග්‍රාහී පියවර රැසක් තබද්දීම, ඊට සමගාමීව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් ලෙස පැති ගණනාවකින් ලාංකේය දේශපාලනය තුළ නව සළකුණු තැබීමට සමත් විය. ඒ අනුව පක්ෂය වේගවත් වර්ධනයක් අත්පත් කර ගත්තේය. මේ වන විටද රට තුළ ජාතිවාදී කෝලාහල ඇවිළී ගිය අතර, ජනතා විමුක්ති පෙරමුණ මාක්ස්වාදී ව්‍යාපාරයක් ලෙස ජාතිවාදයට එරෙහි මතවාදී භූමිකාවට පණ පෙවීය. 

ඒ අනුව උතුරු පළාතේ පක්ෂයේ සංවිධානාත්මක කටයුතු මෙහෙයවීම සඳහා තීරණය වූ අතර, එහි සංවිධායක ධුරය සඳහා පත් කරනු ලැබූවේ අශෝක ජයතිලක හෙවත් ජැෆ්න ජයා නමින් පක්ෂය හඳුන්වනු ලැබූ ක්‍රියාධරයාවය. එසේම පක්ෂයේ සංවිධාන කටයුතු සඳහා ලයනල් බෝපගේ ද සහභාගි වූයේය. 1978 ජූලි වන විට විජේවීර ලන්ඩනයේ තරුණ කොමියුනිස්ට් සංගමයේ ලන්ඩන් ශාඛාවේ ආරාධනාව මත සතියක කාලයකට ලන්ඩනයට ගොස් සිටියේය.

මේ වන විට යාපනයේ ජනතා විමුක්ති පෙරමුණේ සංවිධාන කටයුතු  සඳහා අශෝක ජයතිලක ප්‍රථම පියවර තබා තිබුණේය. උතුරු පළාතේ චුන්නාකම් සහ කිලිනොච්චි ප්‍රදේශ වල පළමු වරට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ඒකක ගොඩනගන ලදී.

ඒ අනුව උතුරට පත්කර ගත් දිස්ත්‍රික් කමිටුව - අශෝක ජයතිලක ගේ ප්‍රධානත්වයෙන් විජේසිංහ බාස් ගේ නිවසට කැඳවන ලදී. කිලිනොච්චියෙන් ගනේශලිංගම්, චුන්නාක්කම් වලින් සිංගමාපානර් සහ ශ්‍රී ස්කන්ධ රාජා, වඩුක්කෝඩෙයි වලින් ආනන්දන් සහ නවරත්නම්, තිරුනල්වේලි විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිවඥානම්, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ ඥානේන්ද්‍ර රාජා හෙවත් කුංජි සහ පරන්තන් රසායන සංයුක්ත මණ්ඩලයේ කම්කරුවෙකු ද කමිටුව සඳහා සහභාගි වූහ. ‍මෙම කතිකාවේ දී සාකච්ඡා කරනු ලැබූවේ, පවතින තත්ත්වය තුළ පක්ෂයට උතුරු පළාත තුළ පැහැදිළි දේශපාලන ස්ථාවරයක් ගොඩනැගී නොමැති නිසා ඉක්මනින්ම රැස්වීමක් සූදානම් කර ජනතා විමුක්ති පෙරමුණේ මතවාදය ගොඩනැගීම කළ යුතු බවත්, විශේෂයෙන් ජාතික ගැටලු‍ව සම්බන්ධයෙන් පක්ෂයේ මතය සඳහන් කිරීමත් තීරණය විය. ලන්ඩනයට ගොස් සිටි විජේවීර ලංකාවට පැමිණි වහාම මෙම රැස්වීම කැඳවීම සම්බන්ධයෙන් ද සියලු‍ දෙනා එකඟත්වය පළ කළහ.

තවද රැස්වීමට පෙර රෝහණ විජේවීර යනු කවරෙක් ද ඔහුගේ දේශපාලනය කුමක් ද යන්න යාපනය ජනතාව වෙත දැනුවත් කිරීමේ අත් පත්‍රිකාවක් මුද්‍රණය කර  නගයේ බෙදා හැරීම සම්බන්ධයෙන් ද අශෝක ජයතිලක ගෙන් යෝජනා විය. ඒ අනුව යාපනයේ ජනජීවිතය පිළිබඳව අධ්‍යයනයක් කර විජේවීර ගේ දේශපාලනය සමග එය සසඳන ආකාරයට අත් පත්‍රිකාවක් බෙදාහැරීමට තීරණය වූ අතර, එය අශෝක ජයතිලකට සහ පක්ෂයේ දෙමළ භාෂා පරිවර්තකයා වූ ෆොන්සේකා ට පැවරුණි. ෆොන්සේකා යනු කඳුකරයේ මිශ්‍ර පවුලකින් පැවත එන සාමාජිකයෙකි. මෙම සාකච්ඡාවේ දී අත් පත්‍රිකා පන්දහසක් මුද්‍රණය කිරීමට ද තීරණය විය. “රෝහණ විජේවීර යනු පැහැදිළිවම ශ්‍රී ලංකාවේ නිර්ධන පංතිය වෙනුවෙන් වැඩකරන්න ස්වභාවධර්මයා විසින්ම බිහිකළ ජන නායකයෙක්, ධනපති පංතියට විරුද්ධව ජාති - කුල ප්‍රශ්න නොමැතිව සකල ජනතාවම එකතු වව්, යන මාක්ස්වාදි දර්ශනය සමග යමින් නිර්ධන පංති සමාජවාදී විප්ලවයක් සිදුකර උත්තරීතර සමාජ ක්‍රමයක් බිහි කිරීමට උතුරේ සිටින පීඩිත පංතියේ ගොවි ජනතාව ඒකරාශි කිරීම රෝහණ විජේවීරගේ දර්ශනයයි” යන අදහස ඇතිව අත්පත්‍රිකාව මුද්‍රණය කරන ලදී. 

මේ වන විට නල්ලූර් කෝවිලේ උත්සවය ආරම්භ වී තිබුණි. මෙම උත්සවය සති කිහිපයක්ම පැවැත්වෙන අතර - මුළු උතුරටම පැවැත්වෙන ප්‍රධාන වාර්ෂික මංගල්‍යය මෙයයි. උත්සව කාලය තුළ නල්ලූර් කෝවිලට පිවිසෙන මාර්ගය දෙපස කුඩා වෙළඳ කුටි සාදා ඇති අතර, කෝවිල් පාලන කමිටුවෙන් වෙළෙන්දන්ට බදුදීම සිදු කෙරේ. උතුරේ පක්ෂ සංවිධායක අශෝක ජයතිලක විසින් ද මෙම වෙළඳ කුටියක් බද්දට ගනු ලැබූ අතර, එහි රෝහණ විජේවීර ගේ ඡායාරූපයක් එල්ලා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක අංශය යනුවෙන් බැනරයක් ද දමා අත්පත්‍රිකා බෙදීමේ කටයුතු ද මෙහි දී සිදු කරන ලදී. මෙය පක්ෂයට ඉතාමත් සාර්ථක වැඩපිළිවෙළක් විය. මෙයින් විජේවීර ගේ හඬ දෙමළ ජනයා අතරට මුදාහල හැකිවිය. මෙයින් සම්බන්ධ වූ පුද්ගලයන් හට යාපනය ජන ජීවිතයට ගැළපෙන ආකාරයේ අධ්‍යාපන කඳවුරක් ද ෆොන්සේකා ගේ මූලිකත්වයෙන් ගොඩනගන ලදී.

විජේවීර ලංකාවට පැමිණ සිටි අවස්ථාවේ දී 1978 සැප්තැම්බර් මාසයේ 24 දින රැස්වීම යාපනයේ පැවැත්වීමට දින වෙන් කර ගන්නා ලදී.  රැස්වීමට පෙර මුදල් සපයා ගැනීම සහ ප්‍රචාරක කටයුතු සඳහා සාකච්ඡා කර ගැනීමට අශෝක ජයතිලක ඇතුළු ක්‍රියාධරයන් එකතු වූහ. ඒ අනූව ගනු ලැබූ තීරණය වූයේ යාපනය දිස්ත්‍රික්කය පුරාම විජේවීර ගේ පිංතූරය රැගත් බයිසිකල් සවාරියක් යාමට කටයුතු කිරීමත්, චිත්‍රපටි ශාලාවල පක්ෂය හා රැස්වීම සඳහන් කර දැන්වීම් ප්‍රදර්ශනය කිරීමටත් ය. තවද රැස්වීම සඳහා යාපනය ඇල්ෆ්‍රඩ් දොරේ අප්පා ක්‍රීඩාංගණය මුදල් ගෙවා වෙන් කර ගන්නා ලද අතර, ශබ්දවාහිනී යන්ත්‍ර සඳහා ද පොලිස් අවසරය මත බලපත්‍රය ලබා ගැනීමට කටයුතු කරන ලදී. 

1978 සැප්තැම්බර් මස 24 වන දින ජනතා විමුක්ති පෙරමුණ ස්වකීය දේශපාලන ජීවිතයේ යාපනය දිස්ත්‍රික්කය පදනම් කරගත් මහා මංගල රැළිය යාපනය ඇල්ෆ්‍රඩ් දොරේ අප්පා ක්‍රීඩාංගණයේ දී පවත්වමින් සිටියේය. රැස්වීම් භූමියේ තැන තැන රොදබැඳ සිටි කොළඹින් ගිය ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ ද වූහ. මෙම රැස්වීමේ ප්‍රධාන කථිකයා වූ රෝහණ විජේවීර ට කතාව කිරීමට අවස්ථාව එළඹුණි. රෝහණ විජේවීර කතා කරන විට එහි දෙමළ පරිවර්තනය ෆොන්සේකා විසින් සිදුකළේය. කතාව කරන අතරතුර විජේවීර 1977 දී ජනගත කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළේය. එහිදී “ධනපති ආණ්ඩු යටතේ සිදුවුණු අසාධාරණය, සුළු ජාතීන්ට කම්කරු පංති ආණ්ඩුවක් යටතේ වෙන්නෙ නැති නිසා ජාතික ප්‍රශ්නයට විසඳුම ලෙස වෙන්වී වෙනම රාජ්‍යයක් තැනීමට සපුරාම විරුද්ධ වන්නේය” යන පාඨය දෙමළ භාෂාවෙන් පරිවර්තන කරන අවස්ථාවේ දී කිසියම් අන්තවාදී මත දරන පුද්ගලයෙකු විසින් විජේවීර ගේ හිසට ගලකින් පහර දෙන ලදී. ලේ ගලමින් සිටියදීත් උපතිස්ස ගමනායක ගේ උරහිසට වාරුවී එක් අතකින් ලේ ගලන තුවාලය අල්ලා ගෙන, අනික් අත දිගු කරමින් විජේවීර සිංහලෙන් කතාව සිදුකළ අතර, ඒ අයුරින්ම ෆොන්සේකා දෙමළ බසට පරිවර්තනය කළේය. විජේවීර ගේ පළමු ඉල්ලීම වූයේ, තමාට ගලකින් පහරදුන් දේශපාලන අඥානයාට හිරිහැර නොකරන ලෙසය. ඉන් අනතුරුව දිගටම තම කතාව විජේවීර පවත්වාගෙන යමින් ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් පුළුල් දේශපාලන විග්‍රහයක් සිදු කළේය.

කෙසේ වුවද රැස්වීමෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණ ගැන විශාල පිබිදීමක් ඇතිව තිබුණි. පසුව යාපනයේ සංවිධාන ශක්තිය බොහෝ ප්‍රබල වූ අතර, යාපනය නගරයේ පමණක් පක්ෂයට සම්බන්ධව පූර්ණ කාලීන තරුණයන් හැට අට දෙනෙක් පමණ සම්බන්ධ වී සිටියහ. මෙම තරුණයන්ගේ කැපවීම සහ මැදිහත්වීම හේතුවෙන් ඩෙල්ෆ් දූපත, නාගදීපය, මන්ඩතීව් හා එලු‍මතීව් යන දූපත්වලද අධ්‍යාපන හා දේශපාලන කඳවුරු පවත්වන ලදී. දෙමළ තරුණ තරුණියන් බොහෝ දෙනෙකු ජාතිවාදයෙන් තොරව නිර්ධන පංතිහැඟීමෙන් පක්ෂය වටා එකතු වූහ. සාකච්ඡා, කතාබහ, පංති සහ රැස්වීම්වල ස්වභාවය ගත් පෞද්ගලික සහ පොදු හමුවීම් බොහෝ ප්‍රමාණයක් පවත්වන ලද්දේ ඒ ඒ පුද්ගලයන්ගේ නිවෙස්වල, පුස්තකාලවල සහ පොදු උද්‍යානවලය.  

මේ අනුව පක්ෂ සම්බන්ධතා ජාලය උතුරේ බොහෝ ප්‍රදේශවල පැතිරි ගිය නමුදු, නැගෙනහිර පළාතේ දී පක්ෂය එතරම් සාර්ථකත්වයක් ලැබුවේ නැත. එහෙත් අක්කරෙයිපත්තුව සහ කාත්තාන්කුඩි වැනි සැලකිය යුතු මුස්ලිම් ජනගහනයක් සිටි ප්‍රදේශ වල නම් පක්ෂයේ සංවිධාන කටයුතු යම් පමණකට සාර්ථක විය. ත්‍රිකුණාමලය, අම්පාර, කලවංචිකුඩි සහ මඩකලපුව වැනි ප්‍රදේශ වල ද යම් පමණක බලයක් ජනතා විමුක්ති පෙරමුණට තිබුණ බව කිව යුතුය. කෙසේ වුවද  1982 ජනාධිපතිවරණය සමයේ අවසන් වරට ප්‍රසිද්ධ රැස්වීමක් ඇමතීම සඳහා විජේවීර යාපනයට ගියේය. ඒ වන විට තරුණයන් ඊළාම්වාදී සිහිනයකින්, ඉන්දියානු ආයුධ වලින් සන්නද්ධව සිටියහ. ඓතිහාසික සිදුවීම් පෙළගැසෙමින් තිබුණු අතර, එහි ප්‍රතිඵලය 1983 අවසානය වනවිට ශ්‍රී ලංකාව සිවිල් යුද්ධයක් කරා අනුක්‍රමයෙන් යොමුවෙමින් පැවතීමය.


එම්. තාරික්


 



අදහස් (0)

විජේවීර යාපනයේ දේශපාලනය ගොඩනැගූ හැටි

ඔබේ අදහස් එවන්න

 

 
 

Recommended News

බෙරගල කන්දේ වැඩසිටින රහතන් වහන්සේලා
2025 මැයි මස 08 18 0

ඒ උතුම් පංච අභිඤ්ඤාලාභී උතුමන් පස්නමම වැඩ සිටින්නේ එකට. උන්වහන්සේලාගෙන් දෙනමක් ලංකාවාසි වන අතර, තුන් නමක් ඉන්දියාවේ වාසය කරන අයයි.


ඉදිරි දහ අට මාසයේ පෙරළි බහුලයි
2025 මැයි මස 08 12 0

ලෝකය සහ සොබා දහමේ හට ගන්නා වෙනස්වීම් පුරෝකථනය කිරීම සඳහා වූ පැරණිතම විද්‍යාව වන්නේ Mundane Astrology හෙවත් ලෝකායන නක්ෂත්‍ර විද්‍යාව ය. යටත් පිරිසෙයින් එහි භාවිත


සූර්යවංශි, ක්‍රිකට් වංශකතාවේ යෝධයෙක් වෙයිද
2025 මැයි මස 08 15 0

මේ දිනවල ක්‍රිකට් හිතැති හැමදෙනාම කතා කරන්නේ වෛභව් සූර්යවංශි ඉන්දියානු යෞවනයා ගැන. ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වේගවත්ම ශතක ලැයිස්තුවේ දෙවැනි තැ


ගාල්ලේ ත්‍රෛභෂික ලිපිය හා පාණදුරා වාද ලේඛනය ලෝක උරුමයක් වෙයි
2025 මැයි මස 08 14 0

ශ්‍රී ලංකාව භූමි ප්‍රමාණයෙන් කුඩා රටක් වුවද, ලංකාව සතුව ඇති ජාතික උරුමයන් හා සංස්කෘතික අනන්‍යතාවන් සුළුපටු නොවේ. එම උරුමයන් බොහොමයක් අපට උරුම වී ඇත්ත


වෙසක් මස ග්‍රහ ගමන ඔබේ ලග්නයට කෙරෙන බලපෑම
2025 මැයි මස 08 18 0

මෙම මස ග්‍රහ ගමන් සිදුවෙන ආකාරය අනුව ඔබ උපන් ලග්නයට අදාළව ඔබේ අධ්‍යාපන - ආර්ථික - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය පිළිබඳව කෙරෙන විග්‍රහය


රජෝදර්ශන කාලයේදී ස්නානය සුදුසු ද
2025 මැයි මස 08 16 0

ගැහැනු ළමයකු ගේ දෙවන උපත ලෙස මල්වර වීම හඳුන්වන්න පුළුවන්. එය නව දිවියකට පා තබන සංක්‍රමණික අවධියක් වන්නා සේම, එහිදී දරුවකු ශාරීරිකව මෙන්ම මානසිකව ද යම් ය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1243 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 315 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1341 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site