IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ක්‍රීඩා ඇමතිගේ අමුතු තීරණ

‘වැටත් නියරත් ගොයම් කා නම්, කාට කියන්නද ඒ අමාරුව’ ලෙස කියමනක් මෙරට ගැමි වහරේ තිබේ. වර්තමානයේ මෙරට ක්‍රීඩාව සම්බන්ධයෙන් ද එම කියමනට වඩාත් ගැළපෙන සිද්ධීන් රැසක් පසුගිය සති කීපයේ දකින්නට, අසන්නට ලැබුණි.

ක්‍රීඩා හා තරුණ අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රමුඛ ක්‍රීඩා අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් ගත් අමුතු තීරණ සමස්ත ක්‍රීඩාවටම හානියක් ගෙනදුන් බව අමුතුවෙන් කිවයුතු නොවේ. 

මෙරට ආර්ථිකය ඇතුළු සමස්ත රටම අගාධයෙන් ගොඩගැනීමට මෙරට ජනතාව එක මිටට පත්කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුවෙන් ජනතාව මෙවැනි තීරණයන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූහ. 

ක්‍රීඩා අමාත්‍යංශය මෑතකදී ගත් අමුතු තීරණ අතර ජාතික ක්‍රීඩා සභාවට පත්කළ ඇතැම් නිලධාරීන් සහ රග්බි ක්‍රීඩාව සම්බන්ධයෙන් එළඹි සහ එළඹෙමින් තිබෙන තීරණ වඩාත් කැපීපෙනුණි.  

මෙරට ජනප්‍රියම ක්‍රීඩා අතර ක්‍රිකට් සහ රග්බි යන ක්‍රීඩා දෙකට ප්‍රමුඛතාවක් හිමිවේ. ක්‍රිකට් සහ රග්බි යන ක්‍රීඩාවල පරිපාලනයට මීට පෙර ක්‍රීඩා ඇමතිවරු ලෙස පත්වූ බොහෝ අය ද ‘කුඩම්මාගේ’ සැලකිල්ල දැක්වූහ. ඒ අතරින් රග්බි පරිපාලනය වසර තුනකට අධික කාලයක සිට ක්‍රීඩා ඇමතිවරුන්ගේ සහ ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරීන්ගේ උදහසට ලක්ව තිබේ. 

ශ්‍රී ලංකා රග්බි නිලවරණය පැවැත්වීමට ඔන්න මෙන්න තිබියදී හිටපු සභාපතිවරයෙක් ප්‍රමුඛ පිරිසක් එකතුව අධිකරණයට කළ කරුණු දැක්වීමක් හේතුවෙන් නිලවරණය නතර විය. ක්‍රීඩා අමාත්‍යංශයේ වඩාත් බලවත් නිලධාරියකුගේ ඇතැම් ක්‍රියාකාරකම් රග්බි නිලවරණයට වාරණයක් වැටීමට හේතු වූ බව රග්බි ක්ෂේත්‍රයේ කතා බහට ලක්ව තිබේ.

රග්බි පරිපාලනයේ තමන් ඇතුළු කීපදෙනෙක් අනිවාර්යෙන්ම සිටිය යුතු යැයි සිතන කීපදෙනා පාලනය නොකළ හොත් මෙරට රග්බි ක්‍රීඩාවට දෙවියන්ගේම පිහිට යැයි රග්බි ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ දෙනා පවසති.  

හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ කාලයේ සිට රග්බි පරිපාලනයට කණකොකා හැඬීය. රග්බි සභාපතිවරයා ලෙස කටයුතු කළ රිස්වි ඉල්ලියාස් මහතාට පහර ගැසීමට ඇතැම්හු සමස්ත රග්බි ක්‍රීඩාවම විනාශ කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළහ. 

රග්බි නිලවරණය අවසන් මොහොතේ නතරවීමත් සමඟ පණ ගන්වමින් තිබූ මෙරට රග්බි ක්‍රීඩාව නැවතත් අකර්මණ්‍ය විය. රග්බි නිලවරණය සම්බන්ධයෙන් ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ෂෙමාල් ප්‍රනාන්දු මහතා කටයුතු කරන ආකාරය පිළිබඳව පළාත් රග්බි සංගම් දැඩි විරෝධයක් දක්වයි. 

ෂෙමාල් ප්‍රනාන්දු මහතා පසුගිය සතියේ කැඳවා තිබූ රැස්වීමක් වර්ජනය කිරීමට පළාත් රග්බි සංගම් පහක් කටයුතු කළ අතර ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙම සතියේ ද පළාත් රග්බි සංගම් කැඳවීමට කටයුතු කර තිබූ බව ද වාර්තා විය. එම රැස්වීම පළාත් රග්බි සංගම් හතක් වර්ජනය කිරීමට සූදානමින් සිටි බව වාර්තා විය. 

මෙරට වඩාත් ජනප්‍රියම සහ දස්කම් දැක්වූ ක්‍රීඩාවක් වන රග්බි ක්‍රීඩාව විනාශ කිරීමට වර්තමාන ආණ්ඩුව යටතේ පරිසරය නිර්මාණය කිරීම ජාතික අපරාධයකි. 

තිරය පිටුපස සහ විවෘතව ද රග්බි ක්‍රීඩාව විනාශ කිරීමට පිරිසක් කටයුතු කරමින් සිටියදී රග්බි ක්‍රීඩාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු රග්බි නායකයෙක් ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා පියවර ගත්තේය. ඉන් නොනැවතුණු ක්‍රීඩා අමාත්‍යවරයා රටේ සමස්ත ක්‍රීඩාවේම නියමුවා වන ජාතික ක්‍රීඩා සභාවට රග්බි ක්‍රීඩාවට සම්බන්ධ නීත්‍යනුකූලව එම සභාවට පත්විය නොහැකි චරිත දෙකක් ද ඇතුළත් කළේය. 

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට නීති විරෝධී ලෙස ෆීජි ජාතික ක්‍රීඩකයන් තිදෙනෙක් ඇතුළත් කිරීමේ සිද්ධිය මෙරට රග්බි ක්‍රීඩාව මූල්‍යමය වශයෙන් මෙන්ම සියලුම අංශවලින් අඩපණ වීමට බලපෑ ප්‍රධාන හේතුව කිවහොත් එහි වරදක් නැත. එම වරදට ශ්‍රී ලංකාව පවුම්වලින් ලෝක රග්බි සංගමයට දඩ මුදල් ගෙවීය. එම සිද්ධිය රග්බි ක්‍රීඩාවේ පමණක් නොව ශ්‍රී ලංකාවේ සමස්ත ක්‍රීඩාවටම කළු පැල්ලමක් එක්කළ සිද්ධියකි. 

ජාතික ක්‍රීඩා සභාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ ප්‍රියන්ත ඒකනායක මහතා දක්‍ෂ රග්බි ක්‍රීඩකයෙක් යැයි අමුතුවෙන් කිවයුතු නැත. එය එසේ වුවද ඒ මහතා ශ්‍රී ලංකා රග්බි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ කාලයේ ෆීජි ජාතික ක්‍රීඩකයන්ට මෙරට පුරවැසිභාවය ව්‍යාජ ලෙස දී ජාතික රග්බි කණ්ඩායමට ඇතුළත් කළ බව අමතක නොකළ යුතුය. 

එවැනි නිලධාරියෙක් ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස පත්කිරීමෙන් රග්බි ක්‍රීඩා පරිපාලනයට සාධාරණය ඉටුකළ හැකි වේ යැයි විශ්වාස කළ හැකි ද? රිස්වි ඉල්ලියාස් මහතා ප්‍රමුඛ හිටපු රග්බි පරිපාලනය ෆීජි ක්‍රීඩකයන්ට ව්‍යාජ පුරවැසිභාවය දීමට විරුද්ධ පිරිස වීම නිසා වර්තමාන ආණ්ඩුව යටතේ ද එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් ලැබේ යැයි විශ්වාස කළ නොහැක. 

රොෂාන් මහනාම සහ සිදත් වෙත්තමුණි වැනි මෙරට කීර්තිමත් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුළත්ව සිටින ජාතික ක්‍රීඩා සභාවට ක්‍රීඩා උපකරණ සහ ඇඳුම් අළෙවි කරන සමාගම්වල හිමිකරුවන් වන රග්බිවලට සම්බන්ධ පුද්ගලයන් පත්කිරීම අනුමත කළ නොහැකිය.

නාමල් රාජපක්‍ෂ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ ආරම්භ වූ ඉල්ලියාස් භීතිකාව වර්තමාන ආණ්ඩුව යටතේ හෝ අවසන් වනු ඇතැයි මෙරට රග්බි ලෝලීන් තුළ බලාපොරොත්තු තිබුණ ද එය යථාර්ථයක් වන සේයාවක් හෝ නොමැත.  


සස්මින් ගමගේ


 



අදහස් (0)

ක්‍රීඩා ඇමතිගේ අමුතු තීරණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site